Print this Article


අතරමඟදී හමුවුණ කෙනෙක්

අතරමඟදී හමුවුණ කෙනෙක්

මම පාසල් ගියේ පා ගමනින්. ඊට හේතුව වූයේ පාසල ගෙදර සමීපයේ වීමයි. පාසලේ දෙවන වසරේ දී පමණ මගේ දත් හැලෙන කාලයේ එක් දවසක එක් අයියා කෙනෙක් එක්ක මම ගෙදර එන විට මේ අයියා මට කියනවා මල්ලී දත් හැලෙන කොට දිව ගාන්න. එතකොට දත් ලස්සන වෙනවා.

මම නිකමට වගේ මේ අයියාගේ කට දිහා බැලුවා. මෙයාගේ දත් හරි විශාලයි. ඒ වගේම කටපුරාම අපිළිවෙලකට දත්. මෙයා පොඩි කාලේ එහෙම දිවගාල වෙන්න ඇති එහෙම කැත විදියට දත් පිහිටලා තියෙන්නේ.

මම එහෙම හිතුවේ අපේ අම්මා මට නිතරම කිව්වේ දත් එනකොට දිව ගාන්න එපා කැත වෙනවා කියලා. මේ අයියා මට අම්මා තරම් ලෙන්ගතු නෑ කියලා පුංචි වයසේදීම මේ කරුණ නිසා මට හොඳටම තේරුම් ගියා. අපි හැමෝටම එහෙමයි.

න පරේසං විලෝමානි
න පරේසං කතාකතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච

අනුන්ගේ වචනවල ඇදකුද හොයන්න ඕනෙ නෑ. අනුන් කළ - නොකළ දේ් ගැන සොයන්නට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන හොයන්න.

කවුරු මොනවා කිව්වත් ළමා කාලයේ දී ඒ සියල්ල මව්පියන්ට පැවසිය යුතුයි. එමෙන්ම කොතරම් රස කෑමක් වුවත්, ඒ පිළිබඳ දෙවරක් සිතිය යුතුයි. ඒ මව්පියන් තරම් අතරමඟදී හමුවන අය අපිට ආදරය නොකරන නිසායි.