Print this Article


පෙරනිමිත්ත සැබෑ වෙයි

පෙරනිමිත්ත සැබෑ වෙයි

සිරිත් පරිදි එක් නිවෙසකට පැමිණෙන හිමිනමක් දන් වැළඳීමේ අදහසින් ම එහි පැමිණ අස්නෙක වැඩ සිටියේ ය. එහෙත් එම නිවසේ සිටි ස්ත්‍රිය දන් දීමට එතරම් ශ්‍රද්ධාවක් නැත. “දානය පිළියෙළ කිරීමට අවශ්‍ය සහල් ආදී කිසිවක් ගෙදර හරියේ නැතැයි “ කියමින් සහල් ටිකක්වත් සපයා ගෙන ඒමට ළඟ නිවෙසකට යන බව අඟවා ගෙයින් පිටත් වූවා ය.

මේ හිමියන් ද පහසුවෙන් රැවටිය නොහැකිය. ගෙය හිමි ස්ත්‍රිය ගෙයින් බැහැර ගිය පසු හිමියෝ ගේ ඇතුළට ගොස් වට පිට සොයා බැලූහ. දානය පිළියෙළ කිරීමට අවශ්‍ය සියලු උපකරණ එහි විය. උග් ගසක් දොර මුල්ලේ විය. සැලියක සහල් ද, තවත් බඳුනක හකුරු ද, පැසෙක ලුණු මාලු පිටක් ද තිබුණේ ය.

මේ සියල්ල තිබෙන තැන් බලාගත් හිමියෝ ගබඩාවෙන් පිට වී කලින් වැඩ සිටි අසුනේ ම වාඩි වූවෝ ය. ටික වේලාවකින් කාන්තාව පෙරළා පැමිණියා ය.

“ස්වාමින්වහන්ස, අපට යමක් අවශ්‍ය වුවොත් කිසිම තැනකින් කිසිවක් ලබා ගත නොහැකියි” කීවා ය

“උපාසිකාවෙනි, අද දානයට කිසිවක් නොලැබෙන බව මා දුටු පෙර නිමිත්තෙන්ම සිතා ගතිමි”.

“ස්වාමින් වහන්ස, කුමක්ද? ඒ පෙර නිමිත්ත”.

“උපාසිකාවෙනි, මා මහ මඟට බහින විට ම මහා නාගයෙක් පෙනය පුප්පාගෙන ඉදිරියට ඇදී ආයේ ය.

“ස්වාමීනි ලොකු නයෙක්ද?”

“ලොකුද කියලත් අහනවා. හරියටම කියනවා නම් දොර මුල්ලේ තිබෙන උග් ගසටත් වඩා ලොකුයි. පෙනය අර තිබෙන ලුණු මාලු පිටටත් වඩා ලොකුයි. පෙනය පිප්පු විට පෙනුණු දත්ටික හැලියේ තිබුණ හාල් ඇට වාගෙයි. නයාගේ මුඛයෙන් නික්මුණු සෙම භාජනයේ තිබෙන ගිතෙල් වාගෙයි”.

“ඒ මුඩු මහණා රැවටීම පහසු කාර්යයක් නොවේ” යයි සිතමින් පළමු කොට උග්ගස කපා පිළිගන්වා බත උයා ගිතෙල් හකුරු සමඟ පිළිගැන්වූවා ය.