Print this Article


සැට නමකට දන් දුන් මෙහෙකාරියක්

සැට නමකට දන් දුන් මෙහෙකාරියක්

නාගදීපයෙහි දුර්භික්ෂයක් ඇති වූ කල්හි අඹුසැමි දෙදෙනෙක් ද දුව ද ජීවත් විය නොහැකිව දුව උකසට තබා කෙළෙඹියකුගෙන් කහවණු සතළිසක් ගත්හ. මාතුදේවිකා නාගී නමැති ඒ දුව නිසා මව්පිය දෙදෙන සුවසේ විසූහ.

ඈ ඒ ගෙයි බැලමෙහ කරමින් සිටින කාලයෙහි ඒ ගමට සැටනමක් භික්ෂුහු පිඬු පිණිස ඇතුල් වූහ. ඒ වේලෙහි නාගිනිය පැන් ගෙන ඒම සඳහා වැවකට යන්නී, ගමේ ඇවිද කිසිවක් නොලැබ අවුත් පාත්‍ර පසුම්බිම දමා ඒ භික්ෂූන් සිටී. ඈ එහි අවුත් කරුණු විචාළ විට ඒ භික්ෂුහු ඇත්ත කීහ. ඒ දැරිය “රෑ වැඩ කිරීමට පොරොන්දු වී තවත් කහවණු සැටක් ගෙන මේ භික්ෂූන්ට දන් දෙන්නෙමි” යි සිතක් උපණි. එසේ සිතා කළය භික්ෂූන් වෙත තබා “මා හැරී එනකල් නැවතී සිටිය මැනවැ” යි කියා තමා වසන තැනට ගොස් “ස්වාමිවරුනි මට කහවණු සැටක් ණයට දුන මැනැවැ” යි කීහ.

ගෙහිමියා “තී අනුන්ගේ මෙහෙකාරියක් ව සිට ගෙන ටිකෙන් ටික ණය ගෙවන ගමන් තවත් ණය ගන්නේ කුමක් හෙයින්දැයි “ විචාළේ ය.

“ඔබ මේ ගැන නො සිතනු මැනවි. රාත්‍රි දාසියක් වී රෑ වැඩ කොට ඒ කහවණු සැට ගෙවන්නෙමි “ යි ඕි කීය. හෙතෙම ලියවිල්ලක් ලියා ඈට කහවණු සැටක් දුණි. ඕ “එක් එක් ගෙයකට කහවණුව බැගින් දී එක් එක් භික්ෂු නමට කහවණුව බැගින් වටිනා දානය සම්පාදනය කළ මැනැවයි” කියා ඒ භික්ෂූන් අසුන් හලකට පමුණුවා මේ සියලු ප්‍රවෘත්ති භික්ෂූන්හට කීය.

සංවේගයට පත් භික්ෂූහු ඒ පිණ්ඩපාතය පිළිගෙන පිටත ගොස් විලක් සමීපයට පැමිණ පාත්‍ර පැත්තකින් තබා භාවනා කරන්නට පටන් ගත්හ. “ඉදින් රහත්ඵලයට පැමිණිය හැකිනම්, අනුභව කරන්නෙමු. නොහැකි වී නම් අනුභව නොකරන්නෙමු”. යි අධිෂ්ඨාන කොට භාවනා වැඩූ ඒ භික්ෂූහු නොබෝ වේලාවක දී රහත්බවට පැමිණ ආහාර අනුභව කළහ. එදා රෑ හෙළදිව හැම දෙවියෝ සාධුකාර දුන්හ. ඇය මරණින් මතු සුගතියේ ඉපදුණි.

ඉතා පැරණි සිංහල බණ කථා ග්‍රන්ථයෙනි