Print this Article


පූජාච පූජනීයානං

පත්බේරියේ ශ්‍රී ධම්මාලෝක නාහිමි

20 වන සියවසේ දී සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද බෞද්ධ අධ්‍යාපනයේ සංවර්ධනයට ද ඉමහත් සේවාවක් සැලසූ මහා සංඝ පීතෘන් වහන්සේ නමකි, වසර 62 කට පෙර එනම් 1959 ජූලි මස 21 දා අපවත් වූ, මංගල ධර්මකීර්ති ශ්‍රී ධීරානන්ද පත්බේරියේ ධම්මාලෝකාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී වූහ.

පරකඩුව “පත්බේරිය” ග්‍රාමවරයේ “අලුත් වලව්වේ” දී විජේකෝන් මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර සහ ජයසිංහ මුදියන්සේලාගේ ලොකු මැණිකේ යන දම්පතීන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වශයෙන් 1893 ක් වූ මැයි මස 22 වැනි දින මෙම වාසනාවන්ත කුල කුමරුවා ජන්මලාභය ලැබීය.

මව්පිය සෙනෙහස මැද වැඩුණු මෙම දරුවා පරකඩුව තලාවිටියේ සිරි විමලාරාමාධිපති ගෞරවාර්හ ගොඩිගමුවේ විමලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට බාර දෙන ලදුව, තත් සහෝදර කිරුළපණ ශ්‍රී පූර්වාරාමාධිපති ගෞරවාර්හ උන්දුරුගොඩ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පමුණුවන ලදුව ඒ දෙනමගේ ශිෂ්‍යයා වශයෙන් 1905 වර්ෂයේ දී කෝට්ටේ රාජමහා විහාරීය සිරි මංගල උපෝෂථාගාරයේ දී “පත්බේරියේ ධම්මාලෝක” නමින් සසුන් ගත කරනු ලැබී ය.

එවකට ප්‍රාචීන ප්‍රතිචීන භාෂාවන්හි මෙන්ම ධර්ම ශාස්ත්‍ර විෂයෙහි පාණ්ඩිත්‍යයක් දැරූ පානදුරේ වලාණේ සිරි සිද්ධත්ථාරාමාධිපති ගෞරවාර්හ කිරුළපණේ ශ්‍රී විමලාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පා සෙවණේ හිඳිමින් බණ දහම් දක්ෂ ලෙස ඉගෙනීමට ‘පත්බේරියේ ධම්මාලෝක’ සාමණේරයෝ වාසනාව ලැබූහ. 1914 වර්ෂයේ දී කෝට්ටේ රාජමහා විහාරීය සිරි මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබුහ.

දේශනයට මෙන්ම ලේඛනයට ද හපන්කම් දැක් වූ තරුණ ධම්මාලෝක යතිවරයන්ගේ සිත් යොමු වූයේ ග්‍රන්ථකරණයට ය. ගෞරවාර්හ මහඅරුග්ගොඩ ධම්මරක්ඛිත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ගෞරවාර්හ කහතුඩුවේ විමලතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේද සහාය කරගෙන එතෙක් මුද්‍රණය කර නොතිබූ “මංගලත්ථ දීපනී” නම් ධර්ම ග්‍රන්ථය පුස්කොළ පොත්වලින් පිටපත්කර අක්ෂර ලිපි දෝෂාදිය පහකර 1927 වර්ෂයේ දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරවීම විශිෂ්ට වූ ධර්ම ශාස්ත්‍රීය සේවාවකි. “මංගලත්ථදීපනී” යනු මහාමංගලසූත්‍ර දේශනාව විස්තරාත්මකව වර්ණනා කළ සියම් රටේ (අද තායිලන්තයේ) “නවපුර” නගරයේ විසූ ත්‍රිපිටකධාරී “සිරිමංගල” ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 2068 (ව්‍ය.ව. 1524) දී සම්පාදනය කළ ග්‍රන්ථයකි.

ධර්ම විනය දෙක්හි මනා පටුත්වය ලබාගත් පත්බේරියේ ධම්මාලෝක යතිවරයාණෝ 1932 වර්ෂයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝසභාව මඟින් පැවැත් වූ විනය විභාගයේ ප්‍රථමයාව සමත්වීම විශිෂ්ට වූ ශාසන සේවයක් සඳහා දොර විවෘත කිරීමක් විය. සංඝ සභාවේ යාවජීව කාරක සභික ධූරයට පත්ව කැපවීමෙන් සිය සේවාව ලබා දුන් උන්වහන්සේ 1949 වර්ෂයේ දී උප ලේඛක තනතුර ද කිරුළපණ ශ්‍රී විමල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1955 වර්ෂයේ දී මහනායක පදවියට පත්වීම නිසා පුරප්පාඩු වූ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට පත් කරනු ලැබූහ. උන්වහන්සේ මෙම භාර ධූර තනතුරේ වගකීම මැනවින් ඉටුකරමින් ගිහි පැවිදි සැමගේ සම්භාවනාවට ලක් වූහ. එමෙන්ම දීර්ඝ සේවය අගය කළ සංඝ සභාව කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය හා ප්‍රධාන සංඝනායක ධූරයට පත් කරනු ලැබිණ.

සිය ගුරු හිමි අවසරය ලබා ධම්මාලෝක හිමියෝ 1937 වර්ෂයේ දී තලාවිටියේ සිරි විමලාරාම විහාරස්ථ ශ්‍රී ධර්මාර්ථ සාධක සමිතිය පිහිටුවා, එමඟින් සුවිසල් ධර්ම ශාලාවක් කරවීමෙන් හා ගල්පඩි 165කින් යුත් ප්‍රවේශ මාර්ගය ගොඩනැංවීමෙන් ද තරුණවියේ සිටම විහාරාරාම සංවර්ධනයෙහිලා දැක් වූ සුවිශේෂ ප්‍රාගුණ්‍යය ප්‍රකට කළහ. එමෙන්ම 1927 අගෝස්තු 07 වැනි දින කළුබෝවිල දේවානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇවෑමෙන් රාජගිරියේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ ආධිපත්‍යයට පත්ව 1947 වර්ෂය දක්වා එහි වැඩ වෙසෙමින් අභිනවයෙන් සංඝාවාසය, ධර්මශාලා, විහාර මන්දිරය නිමකරවා දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළහ.

දුර දක්නා සංඝපීතෘන් වහන්සේ නමක් වශයෙන් සසුනට වැඩඇති ශිෂ්‍ය පිරිසක් ඇතිකළ පත්බේරියේ ධම්මාලෝක නාහිමියන්ගෙන් සිය ගුරුකුලය වූ විද්‍යොදය පිරිවෙන ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන්ගෙන් ධර්ම ශාස්ත්‍රාදිය ප්‍රගුණ කළ ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කෙරුණි. එම ශිෂ්‍යයන් අතර අතිජාත ශිෂ්‍යවරයා වූයේ කෝට්ටේ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී (1959 - 1984) හා අනුනායක (1968 - 1994) ධූරයන්ට පත් වූ උපාධ්‍යාය රාජකීය පණ්ඩිත විද්‍යාවිශාරද, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක (1909 - 1994) ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. සෙසු ශිෂ්‍යයන් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක තලාවිටියේ ශ්‍රී පේමාලෝක (1914 - 1998) සපරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවිශාරද සද්ධර්මවාගීශ්වර ඉඹුල්පිටියේ නන්දාලෝක (1916 - 1989) කිරිගම්පමුණුවේ ශ්‍රී සුධර්මරත්නාරාම රාජමහා විහාරාධිකාරී අමුහේන්කන්දේ පුඤ්ඤාලෝක යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ය.

මෙලෙසින් අනූපම සසුන් මෙහෙවරක් ඉටුකළ නාහිමිපාණෝ 1959 ජූලි 21 වැනි දින සිහිනුවණින් අපවත් වී වදාළහ. පූජ්‍ය පත්බේරියේ ශ්‍රී ධම්මාලෝක නාහිමියන්ට අමාමහ නිවන් සුව ලැබේවා.

****

හග්ගමුවේ සිරි රතනාලංකාර මාහිමි

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යටිකහ කෝරළේ, කුලියාපිටියට නුදුරු ඉහළ හග්ගමුවේ, හේරත් මුදියන්සේලාගේ උක්කු බණ්ඩා හා ඉලංකෝන් මුදියන්සේලාගේ ජොහානාහාමි යන දම්පතින්ට දාව පවුලේ සයවන දරුවා ලෙස හේරත් මුදියන්සේලාගේ ධර්මසේන යන ගිහි නාමයෙන් ක්‍රිස්තු වර්ෂ 1927 ක් වූ දෙසැම්බර් මස 30 දින, ජන්ම ලාභය ලදහ.

කුඩා කල සිටම තමන්ගේ පූර්වකෘත පුණ්‍යමහිමය ප්‍රකට කළ ධර්මසේන කුල කුමරුන්, 1942 නොවැම්බර් 13 වන දින ප්‍රවෘජ්‍යා භූමියට පත් විය.

මූලික බණ දහම් ඇදුරු පා සෙවණේ ලත් රතනාලංකාර සාමණේරයන් වහන්සේ, ස්වකීය ඇදුරු පරපුරේ විද්‍යාස්ථානය වූ ලක්දිව සුපතළ කීර්තිමත් පරිවෙණස්ථානයක් වන, සඳලංකාව, ශ්‍රාස්ත්‍රොදය මහපිරිවෙනෙනුත්, අනතුරුව වැඩිදුර අධ්‍යාපනය ලබනු වස් හැරමිටිගල ශ්‍රාස්ත්‍රාලංකාර මහ පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී, හැරමිටිගල ශ්‍රී ධීරානන්දාභිධාන අනුනායක මාහිමියන් සෙවනේ හිඳිමින් සිංහල, පාලි, සංස්කෘත ආදී විෂයයන් මනාව උගත් හ.

අනතුරුව උන්වහන්සේ උගතමනා බණ දහම් සපුරා 1950 ජූනි මස 14 වන දින, මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී, “වාහල නාග“ යන නාමයෙන් සුපරිශුද්ධ වූ උපසම්පදා සීලයට පත්වූහ. එහිදී, හැරමිටිගල අනුනා සමිඳුන්ගේ ඇරයුමෙන්, රචනා කරන්න යෙදුනා වූ “මහාවිහාර වංශය” නම් වූ ග්‍රන්ථය, මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සානුනායක විංශත්වර්ගික කාරක සංඝ සභාවේත් රැස්ව සිටි සියල් දනගේත් පැසසුමට බඳුන් විය.

අනතුරුව උසස් අධ්‍යාපනය ලබනු වස් පෑලියගොඩ ශ්‍රී විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව, කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර, යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම ආදී යතිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ තම වියත් කම් විදහා නිසි අයුරින් උසස් අධ්‍යාපන කටයුතු සිදුකළහ. උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව, රතනාලංකාර හිමියෝ පරිවේණාචාර්යවරයකු ලෙස වසර 33 ක පමණ කාලයක් සඳලංකා ශාස්ත්‍රෝදය හැරමිටිගල ශාස්ත්‍රාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාර, දෙමටගොඩ විද්‍යාලංකාර, හබරාදුව විද්‍යාරත්න, කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය හා දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප ආදි පරිවෙණස්ථානයන්හි දිවයිනේ නොයෙක් දෙස, බොහෝ ගිහි පැවිදි සිසුන්ගේ උන්නතිය උදෙසා සිදු කළ මෙහෙය අතිමහත් ය. උන්වහන්සේගේ ධර්ම, ශාස්ත්‍ර හදාළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතර, මාදුලුවාවේ සෝභිත, බෙංගමුවේ නාලක ආදී හිමිවරුන් ප්‍රධාන ය.

උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුනා වූ ග්‍රන්ථයන් අතර, මහාවිහාරවංශය, මංගල නාදය,, සිංහල සාහිත්‍ය විචාරය, මහණකම 1, 2, 3 සැබෑ මිනිස්කම 1, 2, 3 පාලි නාම පදමාලා කම්මවාචා, උදාන ථෙර, ථෙරීගාථා, ධම්පදට්ඨ කථා ව්‍යාඛ්‍යා, සුබෝධිනී පාලි භාෂා 1 භික්ඛු පාතීමෝක්ඛය අපේ ජනකවි විචාර, ස්‍යාමෝපසම්පදාවත( සංස්කරණය) ආදී ග්‍රන්ථ කැපී පෙනෙන ග්‍රන්ථයන් වෙති.

මේ සියලු වැඩ කටයුතු අතර, තම අරම වූ මැටිකොටුව සුදස්සනාරාමය, අටමුනි සෑය, බෝධි ප්‍රාකාර ආදී නවාංග එකතු කරමින් ප්‍රදේශයේ පිහිටි දැකුම්කළු අරමක් බවට පත් කළහ. එපමණක් නොව මැටිකොටුව සිරි ගුණානන්ද දහම් පියස පිහිටුවීමට උන්වහන්සේගේ අවවාද අනුශාසනා නිතැතින් ලැබුණි. මෙසේ රටට, දැයට, සසුනට නිහඬ සේවයක් කළ උන්වහන්සේ දිවියේ අනියත බව ප්‍රකට කරමින් 2012 අප්‍රේල් 15 දින අපවත් වී වදාළහ. උන්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා.