Print this Article


අනුන්ට කැපූ වළේ තමන් වැටුණු හැටි

සාලිය ජාතකය:

අනුන්ට කැපූ වළේ තමන් වැටුණු හැටි

නයා, පොළගා හෝ එවැනි සර්පයින් විෂ සහිත ය. සිංහයා, වළහා, ව්‍යාඝ්‍රයා, දිවියා වැනි සතුන් මාංශ භක්ෂක ය. එබැවින් ඔවුගෙන් ආරක්ෂා විය යුතු ය. මෙලෙස දිය ගොඩ සැම තැන වාසය කරන තිරිසන් සතුන්ගේ ආවේණික ලක්ෂණ වටහා ගත හැකි වෙයි. එහෙත් මනුෂ්‍යයා කිසිදු අයුරකින් විශ්වාස කිරීමටත්, අවබෝධකර ගැනීමටත් නො හැකි ය. ඔවුහු තම සිතුවිලි වාසියටම පෙරළා ගනිති.

අයෙක් විශාල මන්දිර ඉදිකර ගනිති. තවත් අයෙක් ආරක්ෂිත බැමි ඉදිකර ගනිති. කවර ආරක්ෂක උපක්‍රමයක් යෙදුවත්, කො පමණ සැප සම්පත් ලැබුවත් ජීවිතයෙන් සමුගත යුතු ය. ශරීරය පොළොවට පස්වීමට දැමිය යුතු ය. මෙම සත්‍ය තත්ත්වය අවබෝධ කර නො ගැනීම මිනිස් සිතිවිලි විෂ සහිතවීමට බලපා ඇත.

ඇතැම්හු සත්‍යය අවබෝධ කර ගත්තත් වැරදි මාර්ගයේම ගමන් කරති. එයට හේතුව අධික තෘෂ්ණාව යි. එබැවින් සත්‍ය නිවැරැදිව සිහියෙන් යුක්තව අවබෝධ කර ගනිමින් අනුගමනය කළ යුතු ය.

මහරහත් උතුමන් වහන්සේලා හැරුණු විට ලොව උපන් මනුෂ්‍යයාගේ සිතෙහි ව්‍යාජය, කපටි, ක්‍රෝධජනක සහ වෛරී සිතිවිලි පහළ විය හැකි ය. ස්ථානෝචිත ප්‍රඥාව සහ සිහිබුද්ධියෙන් කටයුතු කිරීම එයින් වැළකී සිටීමට ඇති මාර්ගයයි. එබැවින් ජීවිතය පවතින තෙක් සිහියෙන් සහ බුද්ධියෙන් ජීවත් විය යුතු ය. එවැනි අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ‘‘සාලිය” ජාතකයේ දී දේශනා කොට වදාළහ. එම කථා පුවත මෙසේ ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමා විසින් ඉදිකර දුන් වේළුවනාරාමයේ වැඩවාසය කරන්න පටන් ගත් කාලයක් උදා වුණා. බුදුරජාණන් වහන්සේ යම් විහාරයක වැඩ සිටිනවාද එම විහාරයට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණීමේ පුරුද්දක් එකල තිබුණා. ධර්ම දේශනාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරවන වේලාව උදාවන විට සියලු දෙනාම ධර්ම මණ්ඩපයට පැමිණ ධර්මය ගැන සාකච්ඡා කරමින් කාලය ගත කරන්න පුරුදුව සිටියා. නිරර්ථක කථාවලින් වැළකී සිටීමට බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ද ලැබී තිබුණා.

දිනක් දම් සභාවට එකතු වූ පිරිස දෙව්දත් තෙරුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මරණයට පත් කිරීමට යෙදූ විවිධ උපක්‍රම පිළිබඳවත්, ඒ තෙරුන්ගේ දුෂ්ටකම් ආදියත් සාකච්ඡා කරන්න පටන් ගත්තා.

ධර්ම දේශනාවට කාලය පැමිණ ඇති නිසා බුදුරජාණන් වහන්සේ පිරිවර සංඝයා සමඟ දම් සභාවට පැමිණ පණවා තිබූ අලංකාර ධර්මාසනයේ වැඩ හිඳ තමන් වහන්සේ වැඩම කිරීමට පෙර දම්සභාවේ සාකච්ඡා වූයේ කවර කරුණක් දැයි විමසා සිටියා. රැස්ව සිටි පිරිසත් ගෞරවයෙන් යුක්තව සියලු පුවත් සැල කර සිටියා. එම පුවත් අසා බුදුරජාණන් වහන්සේ පිරිස අමතා මෙහෙම දේශනා කළා.

‘පින්වත් මහණෙනි, දේවදත්ත තෙරුන්වහන්සේ මේ ආත්මයේ පමණක් නොවෙයි, පෙර ආත්මයකත් මාගේ දිවි තොර කිරීමට කටයුතු කළා. එහෙත් මාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ජීවිතය රැක ගත්තා යැයි දේශනා කළා. රැස්ව සිටි පිරිස කුතුහළයෙන් පිරී ගියා. අතීත කථාව දැනගන්න තෙක් ඔවුන්ගේ සිත ශාන්ත බවින් තොර වුණා. බුදුරජාණන් වහන්සේට නමස්කාර කර අතීත කථාව දේශනා කිරීමට ආරාධනා කළා.

‘‘මහණෙනි, මම අතීතයේ එක් ආත්ම භාවයක කෙළෙඹි පුත්‍රයකුගේ පුතෙක් ලෙස උපන්නා. එකල රට පාලනය කළේ බ්‍රහ්මදත්ත රාජ පරපුරේ රජ කෙනෙක්.

මවගේ ඇකයෙන් බසිමින් මමත් වෙන දරුවන් වගේම ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මගේ ළමා කාලය උදා වුණා. සෙල්ලම් කිරීමට මම බොහොම පි‍්‍රය කළා. ඒ නිසාම යහළුවන් සමඟ නිතර කී‍්‍රඩා කිරීමට සෙල්ලම් පිට්ටනිවල සැරිසැරුවා.

දවසක් විශාල නුග ගසක් සමීපයේ යහළුවන් සමඟ සෙල්ලම් කරමින් සිටියා.

එදා එක් වෙදෙක් වෙද භාණ්ඩ සහ බෙහෙත් ආදිය පුරවාගත් විශාල මල්ලකුත් කර තබාගෙන එතැනට පැමිණ අපත් සමඟ කථා කරමින් විහිළු කරමින් පැය ගණනක් වාසය කළා.

ඔහු එක් වරම අපට සෙල්ලම් කිරීමට, හුරතල් කිරීමට පුංචි සැලළිහිණි පැටියෙක් දෙන්නදැයි ඇසුවා. මමත්, මගේ යහළුවනුත් එයට කැමැති වුණා. ඔහු විශාල නුග ගසේ බෙනයක් පෙන්වා කිව්වා මම මේ දැන් දැක්කා පුංචි සැළලිහිණි පැටියෙක්. සමහර විට උගේ අම්මා නැතිව ඇති බෙනයෙන් එළියට ඔළුව දාගෙන ඉදලා දැන් ආපසු ඇතුළට වැටුණා. ගිහින් කවුරුහරි ඌට පිහිට වෙන්න යැයි ප්‍රකාශ කළා.

මමත් පුංචි සතාට පිහිටවීමේ අදහසින් විශාල නුග ගහට අමාරුවෙන් නැග ගත්තා. බෙනය ඉතා සියුම් එකක්. අමාරුවෙන් අත එයට දමා සතාව අල්ලා ගත්තා. උගේ හිසම අල්ලා ගැනීමට මට පුලුවන් වුණා. ඌ අල්ලන කොටම මම දැන ගත්තා ඒ විෂ සහිත නාගයෙක් බව.

දැන් ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නෑ. අතහැරලා බෑ. ඌ මට දෂ්ට කරනවා ඒ නිසා මම වහාම ඌ එළියට අරගෙන විසි කළා. ඒ වේගයෙන්ම සර්පයා විසි වී ගොස් වෙදාගේ කර මතට වැටුණා. බෙල්ලේ එතෙන්න පටන් ගත්තා. ඉවත් කරන්න උත්සාහ ගත්තත් වෙදාට එය කර ගන්න බැරි වුණා. සර්පයා දිගින් දිගටම ඔහුට දෂ්ට කළා. තමා බේරා ගැනීමට ළමයින්ට කෑගැහුවා.

ඒත් අපි වෙදකම ගැන දැනගෙන හිටියේ නෑ. වැඩිහිටියන් කවුරුත් හිටියෙත් නෑ. වෙදා නාග විෂෙන්ම මරණයට පත් වුණා. මොහු මෙහෙම අපරාදයක් අපට කරලා තිබුණේ කුඩා දරුවකුට සර්පයා ලවා දෂ්ට කරවාගෙන ඒ විෂ ඉවත් කර විශාල ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන්.

එහෙත් අවසානයට සිදු වුණේ අන් අයට යෙදූ දැලේම තමන්ට පැටලීමට සිදු වීමයි. අනුන්ට කැපූ වළේම තමන්ට වැටීමට සිදුවීමයි.

බලන්න මහණෙනි, කපටි සිතිවිලිවලින් කටයුතු කිරීමට ගොස් සිදු වූ විපත. මහණෙනි, එබැවින් නිතර අන් අය ගැන සිතන්න. කපටි හෝ ව්‍යාජ හෝ වංචනික සිතිවිලිවලින් තොරව කටයුතු කරන්න. එවිට මෙලොවත් පරලොවත් සැප සේ ජීවත්වීමට හැකි වෙනවා යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ ජාතක කථාවේ පූර්වාපර සන්ධි ගළපා දේශනාව අවසන් කළා.

එකල වෙදා ලෙස උපන්නේ දෙව්දත් තෙරුන්වහන්සේ බවත්, සර්පයා ගැනීමට නුග ගසට නැගි කොලුවා සම්මා සම්බුදු වූ තමන්වහන්සේ ම බවත් ප්‍රකාශ කළා.