Print this Article


මව්පිය දූදරු ගැටලු අනවබෝධය නිසයි

මව්පිය දූදරු ගැටලු අනවබෝධය නිසයි

වත්මන් තරුණ පරපුර ගැන මැසිවිලි නඟන මව්පියන්ගේ ප්‍රධාන පැමිණිල්ලක් නම් තම දරුවන් අනිසි සබඳතා ඇති කර ගෙන සිටීම ය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මානසික මට්ටම බලපායි.

ඇතැම් තරුණ අය තමාගේ සම්බන්ධතාව සමාජයේ ජීවත්වීමට අවශ්‍ය දෙයකැයි සලකති. නොඑසේ නම් තරුණකමේ ලක්ෂණයකැයි සලකති. තරුණ වයස යනු විවිධ පරිවර්තන ඇති වන යුගයකි. එහිදී “ආදරය” පිළිබඳ ව අදහස් බහුල වශයෙන් ඉස්මතු වේ. එබඳු අවස්ථාවක දී දෙමාපියන්ගේ අවධානය බෙහෙවින් අවශ්‍ය වේ. නැතිනම් නම් වහා තමන්ගේ අදහස තහවුරු කිරීමට තරුණයා හෝ තරුණිය උත්සුක වේ.

එසේ නම් අදහස තහවුරු කර ගත් පසු දෙමාපියන් කෙ තරම් අවවාද කළත් දඬුවම් කළත්, විරෝධය ප්‍රකාශ කළත් එය නවතාලිය නොහැකි ය. එසේ අනිසි සබඳතා ඇතිකර ගන්නේ බොහෝ විට අසීමිත නිදහසක් ලත් අය යි. එමෙන්ම ඉතා සීමිත වූ නිදහසක් ඇති අය යි.

අසීමිත නිදහස ඇති අය පීඩිත ස්වභාවයෙන් මිදුණු විගස ම එබඳු ක්‍රියාවන්හි පැටලෙති. දරුවනට නිදහස ලබා දිය යුතු අතරම ඔවුන් සමාජයේ කරනුයේ කුමක්දැයි සොයා බැලීමටත් දෙමාපියන් විමැසිලිමත් වියයුතු ය. ගුණ ගරුක දූ දරුවන් එබඳු අදහසක් සිත තුළ ඇති වූ විට දෙමාපියනට දැන්විය යුතු ය. තමන්ට කීමට අපහසු නම් ඒ සඳහා වෙනකෙකු යොදවා ගත හැකිය. දෙමාපියන් අකැමැති වුවහොත් ඒ අදහස් සිතින් ඉවත් කළ යුතු ය.

ඉගෙන ගන්නා වයසේ දී විවිධ සබඳතා ඇති කර ගැනීම අනාගත දියුණුවට විශාල බාධාවකි. එබඳු ඇත්තන් ඉගෙනීමට වඩා කාලය යොදවන්නේ වෙනත් ක්‍රියාවන්ට ය. එමනිසා ගුණගරුක දූ දරුවන් ඉගෙන ගන්නා කාලය ඒ සඳහා ම කැප කරන්නට උත්සාහවත් වුවහොත් එය මාපිය සිත් සතුටු කිරීමකි.

දූ දරුවන් විවිධ සම්බන්ධතා ඇති කර ගත්තාට පසුව ඒ ගැන සිතමින් ළතවනවාට වඩා එබඳු දෙයක් නොසිදුවන්නට වගබලා ගත යුතුය. ඔවුන් පිළිබඳව අවධානය නිතර යොමු කළ යුතුය. දරුවන්ට සමාජය පිළිබඳ නිවැරැදි අවබෝධයක් සහ ඔවුන් කෙරෙහි තමන් දක්වන ආදර කරුණාව අවබෝධ කර දුනහොත් ඔවුහු ලෙහෙසියෙන් එබඳු සබඳතා ඇති කර නොගනිති. ඔවුහු දෙමාපියන්ගේ සිත් දුකට පමුණුවන්නට උත්සුක නොවෙති. තමන්ගේ අභිවෘද්ධිය සඳහා දෙමාපියන් වෙහෙසෙන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ඔවුන් සතුව පවතින බැවිනි.

බොහෝ මව්වරු දරුවන් තමන්ගෙන් වෙන්ව ගිය පසු බොහෝ කම්පාවට පත්වෙති. තම දරුවා ගැන හිතමින් විවිධ පුද පූජා තබමින් දෙවියන්ට ද කන්නලව් කෙරෙති. දරුවා සිටින විට විවිධ අපහසුතා ඇති කළත් නැති වූ පසු හදවතින් ම දුක් වෙති. එහෙත් වඩාත් වටිනුයේ කල් ඇතිව තම දරුවන් පිළිබඳ නිසි ආකාරයෙන් පිළිපැදීම යි.

දරුවන් සුමගට යොමු කිරීම යි. දරුවන් නොමඟ ගිය පසු ඔවුන් ආගමට නැඹුරු කරවන දෙමව්පියවරු සමාජයේ අප්‍රමාණව සිටිති. කෙනෙකු නොමඟ ගිය පසු සුමඟට ගැනීම ද පහසු කරුණක් නොවේ. දරුවන් ආගම දහමට නැඹුරු කළ යුත්තේ නොමඟ ගිය පසු නොව ඉතා කුඩා අවධියේ සිට ය. කුඩා කල සිට ආගමික පරිසරයක හැදුණු වැඩුණු දරුවෝ සුමගට යති. එහෙයින් දරුවන්ට ආගමානුකූල පරිසරයක් හදා දීම මවුපියන්ගේ වටිනා යුතුකමකි.

දරුවන් දහම් පාසලට එවන මව්පියවරු පන්සල් නො එති. ධර්මකාමී නො වෙති. දරුවන් දහම් පාසල් යැවීම ආදි ආගමික ක්‍රියාවන්හි යොදවා දෙමාපියන් විවිධ නොමනා ක්‍රියා කරන්නේ නම් එය එම දරුවන්ට කරන විශාලම අසාධාරණයකි.

දරුවන් ආගමානුකූලව හැඩගස්වනවා සේ ම තමන් ද එසේ හැඩ ගැසිය යුතු ය. එසේ කළහොත් හොඳ ප්‍රතිඵල ලැබෙනු නො අනුමාන ය.

දරුවන් හදන වඩන දෙමාපියන් තම දූ දරුවන්ට ආගමික හැදියාවක් ලබා දියයුත්තේ ඔවුන් හොඳ පුරවසියන් කරන අදහසින් මිස අධ්‍යයන ඉලක්ක සපුරා ගැනීමට නොවේ. දහම් පාසල ළමයින්ගේ සුචරිත වර්ධනය සඳහා කැප වූ එකකි. එහිදී කල්‍යාණ මිත්‍ර සේවනය ඉතා ඉහළින් ලැබිය හැකි ය. පාප මිත්‍රයන් බහුල සමාජයක කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබීම ද ජීවිතය සාර්ථක කර ගන්නට මහෝපකාරි වන්නකි.

පවුලක් යනු ලොව ඇති කුඩා ම සමාජ ඒකකය යි. සමාජයක රඳා පැවතීම, දියුණුව සිදුවන්නේ එහි සිටින සාමාජිකයන්ගේ සහයෝගය මත ය. එමනිසා පවුල් සමාජයේ සිටින සාමාජිකයන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුනොවුන් කෙරෙහි පවත්නා විශ්වාසය මෙහිදී අතිශය වැදගත් වේ. සෑම මවක ම පියෙකු ම තම දරුවන්ට සිටින විශ්වාසී වූ තැනැත්තිය, තැනැත්තා විය යුතුය. ඒ සඳහා දරුවන් සමඟ යහළු විය යුතුය. තමන්ගේ ළඟ කිසිදු රහසක් නැති බව දරුවන්ට ඒත්තු ගැන්විය යුතුය. දරුවන්ගේ දුකෙහිදීත් සැපෙහිදීත් නොවෙනස් ව සිටින්නේ තමන් බව ඔවුන්ට අවබෝධ වන අයුරින් කටයුතු කළ විට දරුවෝ දෙමාපියනට හොරෙන් කිසිම දෙයක් කරන්නට නො පෙළඹෙති.

තමන් සිතට ආ සියල්ල දෙමාපියන්ට හෙළි කිරීමට එම දරුවා මැළි නොවේ.

පවුලේ සිටින එක සාමාජිකයෙක් හෝ තම යුතුකම් පැහැර හැරියහොත් නිවසේ සාමය සහජීවනය බිඳී යාමට එය ඉවහල් වේ. නිවසේ භාවිත වන වචන, ඔවුන්නොවුන්ගෙන් චින්තන රටාවන්, ක්‍රියාවන් සියල්ල නිවසේ සාමය සඳහා බෙහෙවින් උපාකරි වේ. දෙමාපියන් දරුවන්ට කථා කළයුත්තේ මෛත්‍රියෙන්, කරුණාවෙන් , සුවඳ කැවුණු වදන් ය. දරුවන් දෙමාපියන්ට කථා කළයුත්තේ ගෞරව මිශි‍්‍රත වදන් ය. එය දූ දරු දෙමාපිය සබැඳියාවට බෙහෙවින් උපාකර වේ. බොහෝ නිවෙස්වල මව පියා හා අමනාපය, පියා මව හා අමනාප ය දරුවනුත් දෙමාපියන් හා අමනාප ය. දරුවන් ඔවුනොවුන් හා අමනාප ය මේ තත්ත්වය යටතේ එබඳු නිවෙසක සතුටක් සහනයක් පවතී ද? මේ පසුබිම යටතේ කිසිම නිවසක සාමයක් සතුටක් රඳා පැවතිය නොහැකි ය. එය බිඳුණු විසිරුණු පවුල් ඒකකයක් බවට පත්වේ. කායිකව ජීවත් වුවත් මානසිකව සිය දහස් වරක් මැරි මැරි උපදින සාමාජිකයන්ගේ සභාවක් බවට එම නිවස පත්වේ.