Print this Article


භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමාගේ ආගමික පුනරුද ව්‍යාපාරය - 03: හින්දු ආගම අතහැර ලක්ෂ ගණනින් ජනයා එකම ස්ථානයක දී බුදු දහම වැළඳ ගනී

හින්දු ආගම අතහැර ලක්ෂ ගණනින් ජනයා එකම ස්ථානයක දී බුදු දහම වැළඳ ගනී

ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ බුද්ධ ශාසනයේ භෞතික සම්පත් වැඩි කරනවා වෙනුවට මානව සම්පත, සාරධර්ම, ගුණධර්ම ආදියෙන් පරිපූර්ණ ව පෝෂණය කිරීම ය. එහිදී බොහෝ කුලපීඩිත ජනයා තෝරාගෙන ඔවුන්ට නිදහසේ ජීවත්වීමට නිදහසේ මාවත පෙන්වා දෙන ලදී. මෙම තත්ත්වය වඩාත් තහවුරු වූයේ භාරතීය ජන සංඛ්‍යා ලේඛන බැලීමෙන් ය. ක්‍රි.ව. 1891 දී භාරතයේ බෞද්ධයන් 50000වූ අතර එය ක්‍රි.ව. 2000 වන විට ලක්ෂ 70 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වයට ප්‍රධානතම වගකිවයුත්තා අම්බෙඩ්කාර්තුමා ය

උගත් බුද්ධිමත් පාණ්ඩිත්‍යයෙන් හෙබි පිරිස් ඇසුරු කිරීමට ද මෙතුමා හුරුපුරුදුව සිටීම නව මාවතකට අවතීරණ වීමේ දී ඔහුට ආශිර්වාදයක් විය. එහිදී ඔහු තම මාර්ගය වෙනස් කිරීමට පිටිවහලක් සැපයූ තිදෙනෙක් පිළිබඳව නිතර නිතර සඳහන් කළේ ය.

එනම්, කබීර්තුමා, ඡ්‍යොතිබා පූලේ හා බුදුරජාණන් වහන්සේ ය. මෙමඟින් ලද ආලෝකය තම ගමන් මාර්ගයට ආලෝකය සපයා සුපැහැදිලි කළ බව අම්බෙඩ්කාර්තුමාගේ පිළිගැනීම ය.

ඔහු බෞද්ධ දර්ශනය උගත්තා පමණක් නොව එය ක්‍රියාවෙන් ද තම ජීවිතයට උපයෝගී කර ගත්තේ ය. ඒ බව බොම්බායේ මන්දිරයක් ඉදිකරවා ඒ සඳහා රාජ් ගෘහ යන බෞද්ධ නාමය යෙදීමෙන් විශද වේ.

එසේ ම කුලහීන දරුවන්ට බොම්බායේ පිහිට වූ අධ්‍යාපන ආයතනය සිද්ධාර්ථ විද්‍යාලය යන නමින් නම් කළේ ය. තම කුලහීන ජනයා නිදහස් කර ගැනීමේ දියත් කළ ව්‍යාපාරය “භාරතීය බෞද්ධ සමිතිය” ලෙස ද නම් කර ගත්තේ ය.

මේ සියලු සාධකවලට අනුව විද්‍යමාන වන්නේ අම්බෙඩ්කාර්තුමා බුදුදහම කෙරෙහි මහත් ඕනෑකමින් සහ ලැදියාවෙන් කටයුතු කර ඇති දලිත් කුලයේ උප කුලයක් වූ මහාර් කුල ඇත්තෙක් බවයි.

කුලහීන ජනයා වෙනුවෙන් ගෙන ගිය ව්‍යාපාරය දෙමඟක ගමන් කරන්නට විය. එක් මාර්ගයක් වූයේ කුලහීන ජනයා මේවන විට පත්ව තිබූ සමාජ තත්ත්වයෙන් මුදවා ගැනීම ය.

එහිදී ඔහුට බොහෝ බාධකවලට අභියෝග කිරීමට සිදුවිය. එනම්, මුස්ලිම්වරුන්ට පාකිස්ථානය වෙන් කර දීමටත්, බංගලාදේශය දීමටත් කැමැති වූ මහත්මා ගාන්ධි හරිජනයා වෙනුවෙන් අම්බෙඩ්කාර්තුමා ගෙන ගිය සටනට සම්පූර්ණයෙන් ම විරුද්ධ විය. ඉංගී‍්‍රසීන් රටින් නෙරපා හැරීමට සත්‍යයග්‍රහ දියත් කළ මහත්මා ගාන්ධිතුමා හරිජනයාට නිදහස ලැබෙන කිසිදු පණතකට පක්ෂපාතී නොවී ය.එහෙත් අම්බෙඩ්කාර් තම උත්සාහය අත් නොහැරි ශ්‍රේෂ්ඨ නායකයෙක් ය. ඔහු කෙසේ හෝ හරිජනයා වෙනුවෙන් ඉන්දීය සමාජයේ අයිතිවාසිකම් වෙන් කිරීමට කැප වූයේ ය.

දෙවැන්න වූයේ හින්දු දහම අත්හැර බුදුදහම වැළඳ ගැනීම ය. මේ සඳහා මොහු අප්‍රතිහත ධෛර්යයකින් වෙහෙසකින් ක්‍රියා කරන්නට විය. පුරා වසර විස්සක් ම ඒ වෙනුවෙන් ම කාලය කැප කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව. 1956 දී ‘ආගමාවතරණය’ නමින් උත්සවයක දී බුරුම ජාතික චන්ද්‍රමානි මහාස්ථවිරයන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී බෞද්ධයන් බවට පත් විය. එහිදී මොහුගේ දෙවැනි ගමන් මඟෙහි සාඵල්‍යයක් දැක ගත හැකි විය.

බෞද්ධ ඉතිහාසයේ මෑත කාලයේ දී විශාල පිරිසක් එක් ස්ථානයක දී බුදුදහම වැළඳගත් අවස්ථාව ලෙස අම්බෙඩ්කාර්තුමාගේ මෙම ආගමාවතරණය පෙන්වා දිය හැකි ය. මෙහි දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදුදහම වැළැඳ ගත්තේ ය. කෙසේ නමුත් මෙතුමා ක්‍රි.ව. 1956 දී පරලොව සැපත් වූයේ ය. එසේ වුවද මෙතුමාගේ අනුගාමික පිරිසෙහි කිසිදු අඩුවක් නොවී ය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ බුද්ධ ශාසනයේ භෞතික සම්පත් වැඩි කරනවා වෙනුවට මානව සම්පත, සාරධර්ම, ගුණධර්ම ආදියෙන් පරිපූර්ණ ව පෝෂණය කිරීම ය. එහිදී බොහෝ කුලපීඩිත ජනයා තෝරාගෙන ඔවුන්ට නිදහසේ ජීවත්වීමට නිදහසේ මාවත පෙන්වා දෙන ලදී. මෙම තත්ත්වය වඩාත් තහවුරු වූයේ භාරතීය ජන සංඛ්‍යා ලේඛන බැලීමෙන් ය. ක්‍රි.ව. 1891 දී භාරතයේ බෞද්ධයන් 50000වූ අතර එය ක්‍රි.ව. 2000 වන විට ලක්ෂ 70 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වයට ප්‍රධානතම වගකිවයුත්තා අම්බෙඩ්කාර්තුමා ය. ඒ ඔහුගේ ව්‍යාපාරයේ උසස් ප්‍රතිඵලයක් නිසාම ය.

නූතන භාරතීය බෞද්ධ පුනරුදයේ ප්‍රධාන නියමුවා වශයෙන් අම්බෙඩ්කාර්තුමා පෙන්වාදිය හැකි ය. ‘වියානා සම්ප්‍රදාය’ ලෙස අම්බෙඩ්කාර් හඳුන්වා දුන් බුදු සමයේ නව ප්‍රබෝධයත් සමඟ එසේ ඔහුව හැඳින්වීම වරදක් නොවේ.

බුදු දහමේ පෙන්වා දෙන ආචාර ධර්මයන් උපයෝගී කරගෙන ඒ සඳහා මාර්ගය පාදා ගැනීමට ඔහු සමතෙක් විය.