Print this Article


සිත දුර්වල කරන ද්වේෂය දුරු කරමු

සිත දුර්වල කරන ද්වේෂය දුරු කරමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්ත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසා යි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය ගැන. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සසර දුකෙන් නිදහස් වී සැපත ළඟා කරගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේ දී අපේ ජීවිතයට පුරුදු කළ යුතු බොහෝ ගුණාංග ධර්මයේ සඳහන් වෙනවා. ඒ ගුණාංග අතරින් එක් ගුණයක් වන්නේ ඉවසීම යි. නැතිනම් හට ගත් තරහා නැවත මෙනෙහි නොකර සිටීම යි.

ඇයි මෙතරම් කෝපයක්. . .

අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහා තරහා ගන්නවා. ඇයි ඔබට මෙ තරම් කේන්ති යන්නේ? කියා ඇසුවොත් බොහෝ විට විවිධ හේතු කියන්න පුළුවන්. අන් අය වෙත දෑත දිගු වෙන්නත් පුළුවන්. එහෙත් හේතු සියල්ලම හොඳීන් විමසා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා යි. ඒ තමා කැමැති දේ තමන්ට නොලැබීමත්, අකමැති දේ ලැබීමත්.

ලොකු, කුඩා, මහලු අපි සියලු දෙනාම කැමැතියි අන් කෙනෙක් අප වර්ණනා කරනවා නම්. මම ගැන මේ අය හොඳ කියයි කියා නිතරම අපි හිතනවා. එහෙම අවස්ථාවක අප බලාපොරොත්තු වූ වර්ණනාව ලැබුණේ නැතිනම් අපට තරහා යනවා. ඇයි ඒ අප බලාපොරොත්තුවෙන් සිටි දේ නො ලැබීම නිසා. එවිට අපට සිතෙනවා මේ පුද්ගලයාට මම මෙතරම් උපකාර කරලත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ කියා එසේ සිතා දොම්නසට පත් කර ගන්නවා . ඒ කැමැති දේ නොලැබීමේ දුක.

ඊළඟ කරුණ අප අකමැති දේ ලැබීම. මිනිස් සතා වේවා තිරිසන් සතා වේවා පීඩා විඳීන්න කැමැති නැහැ. වචනයෙන් හෝ කායිකාව වන පීඩාවලට විවිධ ආකාරයෙන් අපට මුහුණ දෙන්න සිදුවෙනවා. එවිටත් සිතට දොම්නස ඇතිවෙනවා. ඒ වගේම කෙනෙක් අපගේ මුහුණට හෝ නැති තැන අපට දොස් කියනවා. එවිටත් අපට තරහා යනවා. ඉවසීම ඉක්මවා යනවා. කෙනෙක් අප සතු දේ බලෙන් ගන්නවා. එවිටත් අපට තරහා යනවා. මේ සියලු දේ අකමැති දේ ලැබීම නිසා ඇතිවන දුක් පීඩා.

සමහර පුද්ගලයන් සිටිනවා තමාට දොස් කිව්වත් ඉවසනවා. අම්මා, තාත්තා , රට, ජාතිය, ආගමට දොස් කිව්වත් ඉවසනවා. නමුත් තමා අමනාප, තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණයක් අසන්න ලැබුණොත් කිපෙනවා. අසතුටට පත්වෙනවා. අමනාප පුද්ගලයාගේ ගුණ අසන්න අපේ සිත එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිව්වොත් ඇත්ත තමා මමත් දැක්කා, එයා එහෙම තමා කියමින් නැති අඩුපාඩුත් එකතු කරලා පවසනවා. ගුණයක් කිව්වත්, ගුණයක් දුටුවත් අකමැති පුද්ගලයෙක් නම් එය අනුමෝදන් නොවීම අපේ සිතේ සාමාන්‍ය ස්වභාවයක්. නිතර ම අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණීය කරලා ඒක හරියි කියා ලෝකයාට ඒත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක හොඳක් අසන්නට හෝ දකින්නට ලැබුණොත් අපට තරහා යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී සිදුවුණේ අප කැමැති දේ නො ලැබීමේ දුක ලැබීම යි. අකමැති දේ ලැබුණ නිසා අපි ගැටුණා.

භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳ ව ආඝාතපටිවිනය සූත්‍රයේ ද දේශනා කොට වදාළා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් මෙම දේශනාවෙන් තරහා යාම ගැන අපට සරලව තේරුම් ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් තැනැත්තෙක් , මේ පුද්ගලයා මට අතීතයේ දී අනර්ථයක් සිදු කළා යැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් හා සිතින් කළ හැකියි. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහා පෝෂණය කරමින් ජීවත් වෙනවා.

ඊළඟ ට සිතනවා අනාගතයේදීත් මට මේ අය ඊර්ෂ්‍යා කරයි. මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇති කර ගන්නවා. වර්තමානයේදීත්, අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගළපමින් තරහ සිතක් ඇතිකර ගන්නවා.

මේ විවිධාකාරයෙන් තරහා යාම නැතිනම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. කුමන අසාධාරණයකට තරහා ගත්තත් පාපී අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙලෙසන, සිතේ වටිනාකම නැති කරන, ප්‍රභාශ්වරය නැතිකරන, දුර්වර්ණ කරන, අපවිත්‍ර කරන සිතිවිල්ලක්.

සිතිවිලිවලට වටිනාකමක්

සිතට එන නරක සිතිවිලි නවතාගන්න මඟ බුදු දහමේ උගන්වනවා. ඒ තමා සිතට එන පාපී අකුසලයට වටිනාකමක් නොදී සිටීම. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන් විට එය සිතේ ස්ථාවර වෙනවා.

සිතිවිලිවලට වටිනාකමක් ලැබෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාව එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අපකරා පැමිණෙන සිතිවිල්ල යි. සිතිවිල්‌ලේ වේගය වැඩිවූ විට තමාට තමා පාලනය කරගත නොහැකි වෙනවා. සිතිවිවිලිවල පාලනයක් නැති වූ විට වචන පරුෂ වචන වී පවසනවා . සිතිවිලිවල පාලනයක් නැති වූ විට කරන ක්‍රියා වැරැදි ක්‍රියා බවට පත්‌ වෙනවා. එනිසා පාලනය කරන්න බැරි ආකාරයට සිතිවිලිවලට වටිනාකමක් දියයුතු වන්නේ නැහැ. එහි ආදීනවය නුවණින් දකින්න ශ්‍රාවකයා දක්ෂ විය යුතුයි. තමාගේ සිතිවිලි පාලනය කරගත් විට තමාටත්, තමා අවට සිටින අයටත්, සමාජයටත් වන හානිය අවම කර ගත හැකි යි.

ඉවසීම පාලනය කරන ක්‍රම

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා මේ ආකාරයට අපට තරහා යනවානම්, ඉවසන්නට බැරිනම් එය පාලනය කර ගැනීමට ක්‍රම පහක්. ඒ තමා

* මෛත්‍රිය උපදවා ගැනීම

මෙහිදී මෛත්‍රිය ලෙස වදාළේ මිතුරුකම යි. හිතවත්කම යි. කෙනකුගේ නරක සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම් තරහ සිතිවිලි අඩු වෙනවා. යම් පුද්ගලයකු ගැන අපට නිතර තරහ සිතිවිලි එනවා නම් ඔහුගේ හෝ ඇයගේ හොඳක් දකින්නට පුරුදුවීම වැදගත් වෙනවා.

* කරුණාව පුරුදු කිරීම

කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වූ විට අපේ සිතේ ඇතිවන තෙතමනයට යි. අනුකම්පාව උපදවා ඔහුට පිහිට වීමයි. කෙනෙක් අපට දොස් කියන විට අපට කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගෙන ඔහු කෙරෙහි කරුණාව උපදවාගෙන සසර බිය දකිද්දී අපගේ තරහා අඩු වෙනවා.

* සිතේ උපේක්ෂාව ඇතිකර ගැනීම

අප හිතවත් කෙනෙක් වේවා අහිතවත් කෙනෙක් වේවා තරහා සිතිවිල්ලක් ආ විට සිතේ උපේක්ෂාවක් ඇතිකර ගත යුතු වෙනවා. මම වගේම මේ කෙනාත් සසරේ යන කෙනෙක්. පොඩි පොඩි දේට මම ගැටිලා අකුසල් කර ගන්න හොඳ නැහැ කියා මධ්‍යස්ථ බවක් සිතේ ඇතිකර ගන්න ඔින. නමුත් බොහෝ විට අප සිතන්නේ අපටමයි හැමදාම කරදර. අපටමයි දුක කියලා. ඒත් පොදු ධර්මතාවට ආ විට අපි වගේම දුක් විඳීන අය තව ඉන්නවා කියා උපේක්ෂාවෙන් බලනකොට අපේ සිත මධ්‍යස්ථ වෙනවා.

* අරමුණ මාරු කිරීම

කෙනෙක් තමාට දොස් කිව්වා කියා තමාට අසන්න ලැබෙනවා. එවිට තමාගේ සිත ගැටෙනවා. එහෙම අවස්ථාවක ඒ දෙය මෙනෙහි නොකර අරමුණ මාරු කරනවා. පොතක් කියවීම, ගීතයක් ඇසීම වැනි සරල දෙයක් තමන්ට කරන්න පුළුවන්. අවධානය වෙනතකට යොමුකළ විට සිතේ කැළඹීම අඩුවෙනවා. ක්‍රමයෙන් සිත තැන්පත් වෙනවා. එනිසායි ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් දියයුතු නො වන්නේ.

* කර්මය දායාද කර ගැනීම

භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන් යම් කර්මයක් කළවිට එය තමා පසුපස එන බව සිතන්න කියා. කර්මය දායාදය ලෙස ලැබෙන බව විශ්වාස කළයුතු වෙනවා. මේ පුද්ගලයා නිකරුණේ මට දොස් කිව්වා. ඔහු කළ දේ ඔහු ගෙනයයි. මම එකට එක කළොත් මටත් විඳවීමට සිදුවෙයි කියා සිතීමෙන් කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කළ හැකියි.