Print this Article


වස් ආරාධනය සහ වස් කාලය

වස් ආරාධනය සහ වස් කාලය

" මෙහි දී ගිහි, පැවිදි යන දෙපිරිසම අතර අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවයක් ගොඩ නැඟෙනවා මෙන්ම සාමාන්‍ය කාලවලට වඩා මේ කාලය තුළ පින් පුරවා ගැනීමට ද නිරතුරුවම පුළුවනි. මෙසේ සීල, භාවනා දී ගුණධර්ම පිරීමෙන් නිතර කල් ගෙවන නිසා පුණ්‍ය කාලය ලෙස ද මෙම කාලය සම්මත වී තිබේ."

අවුරුද්දේ දොළොස් මාසය ප්‍රධාන වශයෙන් සෘතු තුනකට බෙදේ. එනම්,

හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව

වස්සාන සෘතුව යනුවෙනි.

මෙහි වස්සාන සෘතුව ලෙස දැක්වෙන්නේ ඇසළ මස අවපෑලවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරතය තුළ අදටත් ඉහත කී සෘතුවල ඒ ඒ කාර්යයන් ස්වභාවික වශයෙන් සිදුවෙනවා දැකගත හැකි ය.

වස්කාලය වනාහි වැසි වසින කාලයයි. අනෙකුත් සෘතු දෙකට වඩා වස්සාන සෘතුව තුළ එක දිගට වැසි ඇද හැලීම සිදුවේ.

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලැබ, පළමු මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනය බරණැස ඉසිපතනයේ දී පස්වග මහණුන්හට දේශනා කරන්නට යෙදුණේ ද මෙකී වස්සාන සෘතුව ආරම්භ වන ඇසළ පුන් පොහෝ දිනකදීය. එසේ එම දේශනය සිදුකොට බුදුපියාණන් වහන්සේ පළමු වැසි සාර මස එහිම වැඩ විසූ සේක. මෙතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියක් උන්වහන්සේ පනවා තිබුණේ නැත. එහෙත් ආවේණික ධර්මයක් ලෙස බුදුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් මුලදී ස්වභාවික පුරුද්දක් ලෙස වස් කාලයෙහි චාරිකාවේ නොගොස් එකම තැන වැඩ වාසය කළහ.

මෙසේ කල් ගතවත්ම ක්‍රමයෙන් භික්‍ෂු පිරිස වර්ධනය වීමෙන් අනතුරුව භික්‍ෂු පිරිසේ ගති පැවතුම්, සිරිත් විරිත් ආදිය ද වෙනස් වන්නට විය. ඒ අනුව වැසි කාලය තුළදී ද ගම්, නියම්ගම් සැරිසරමින් ධර්මය ප්‍රචාරණය කරන්නට ද උන්වහන්සේලා කටයුතු කළ අතර, එය විවිධ ජනයාගේ දෝෂයට ලක්වන්නට විය.

ඒ හුදෙක් නිඝණ්ඨනාථ ආදී ශාස්තෘවරුන් මුල් කරගත් භක්තිකයන්ගෙනි. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ආගම සීමාන්තික අවිහිංසාවාදී දහමක් වීමයි. වැසිකාලය තුළ ඇවිදීමෙන් දලු ලා වැඩෙන කුඩා, කුඩා තණකොල ආදී ශාක පත්‍ර විනාශ වීමත්, එය ප්‍රාණඝාතයක් හැටියටත් ඔවුන් අදහස් දැක්වූහ. තිරිසන් සතුන් පවා වැසි කාලයේ තම කූඩුවල, කැදලිවල සිටින නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තුළ එබන්දක් දක්නට නැත යයි විවිධ චෝදනා එල්ල කළහ.

බුදුදහම තුළ ගස්, කොළන් ආදියට පණ ඇතැයි පිළිගැනෙතත් සත්ත්වයන්ට මෙන් හිතක් ඇති බව නොපිළිගනියි. එසේ හෙයින් තණකොළ ආදී ගස්, පැළෑටි වර්ග පෑගීම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ඒ මතය නොපිළිගනිතත් වස් කාලයෙහි එක් තැනකට වී වාසය කිරීම යහපත් බව පවසා ශික්‍ෂා පදයක් පනවන්නට යෙදුණි. මෙය උපසම්පන්න භික්‍ෂුන් හා සම්බන්ධ වූ ශික්‍ෂා පදයකි.

මෙම ශික්‍ෂා පදය පැනවීමෙන් පසුව මතු වූ ගැටලුව නම් කුමන කාලයක වස් විසීම සිදු කළ යුතු ද යන්නයි.

“ අනුජානාමි භික්ඛවේ, වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹීමට මෙන්ම පෙර වස්, පසු වස් යනුවෙන් වස් විසීම් දෙකක් පෙන්වමින් අසවල් දිනයෙහි මෙසේ වස් සමාදන් විය හැකියැයි පෙන්වා වදාළහ.

වස් සමාදානය ඉතා වටිනා මෙන්ම අගනා උතුම් වූ විනය කර්මයකි.

වස් සමාදානය තුළ, වස් ආරාධනාව සුවිශේෂී වූවකි. දායක කාරකාදීන්ගේ ආරාධනාවක් ලැබුණත්, නොලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම් ආදී බාධාවක් නැතොත් භික්‍ෂූන් විසින් වස් විසිය යුතු ය. වස් ආරාධනා කරනු ලබන්නේ හුදෙක් දායක පින්වතුන්ගේ ප්‍රයෝජනය පිණිස ය.

මෙකල මෙන් නොව පෙර භික්‍ෂූන් වහන්සේ නිතර එක තැනක වාසය නොකළහ. අවුරුද්දේ වැඩි කාලයක් ධර්ම චාරිකාවට යෙදවූහ. එයින් දායක ඇත්තන්ට අවශ්‍ය වෙලාවට බණක් ඇසීමට, දනක් පූජා කිරීම ආදි ගැටලු ද මතුවිය. යම් ප්‍රදේශයක භික්‍ෂූන් වහන්සේලා වස් වසවා ගන්නට ලැබුණොත් සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් දායක පක්‍ෂයට පින් සලසා ගැනීමටත්, යහපත සලසා ගැනීමටත් හැකි වන්නේ ය.

මෙහි දී ගිහි, පැවිදි යන දෙපිරිසම අතර අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවයක් ගොඩ නැඟෙනවා, මෙන්ම සාමාන්‍ය කාලවලට වඩා මේ කාලය තුළ පින් පුරවා ගැනීමට ද නිරතුරුවම පුළුවනි. මෙසේ සීල, භාවනා දී ගුණධර්ම පිරීමෙන් නිතර කල් ගෙවන නිසා පුණ්‍ය කාලය ලෙස ද මෙම කාලය සම්මත වී තිබේ.

ඉහත කී වස් ආරාධනාව සඳහා පූජා කරනු ලබන පිරිකර අතරින් වැදගත් මෙන්ම ප්‍රධාන තැනක් හිමිවන්නේ වැසි සළුවටයි. අද වන විට වැසි සළුව වෙනුවට තුන් සිවුරට අයත් “අඳන සිවුර” බොහෝ තැන්වල භාවිත කරන බවක් දක්නට ලැබේ. එය වැරදි ක්‍රියා පිළිවෙතකි.

වැසි කාලයෙහි භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ නොයෙදුණු නමුත්, පිණ්ඩපාත ගමනාදියෙහි යෙදුනු භික්‍ෂූන් අතර නොතබා වැටෙන වැස්සෙන් තෙමී පීඩා විඳීන්නට වූහ. මේ දුටු විශාඛා මහෝපාසිකාව බුදු රජාණන් වහන්සේ වෙත ගොස් ස්වාමීනී, මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සලු පුදන්නට කැමැත්තෙමි'යි කීය.

ඊට අවසර දී මහණෙනි, වැසි සලු අනුදනිමි යැයි වැසි සලු නියම කළහ. මේ වැසි සලුව ද හැඳීන්වෙන්නේ සිවුරක් ලෙස ය. නමුත් සඟල, දෙපොට සිවුරුවලට වඩා දිග පළලින් වැඩි ය. භාවිත කළ හැක්කේ වැසි සාර මස තුළ පමණ ය. මේ සිවුර කැපකරුවනට තමන්ම කියා හෝ පිළියෙල කරගත යුතු ය. එහෙත් සෑම කාලයක දී ම එය සෙවිය නොහැකි ය.

පුරාණයේ වස් ආරාධනාවක් සඳහා උපයෝගී කරගන්නා ලද්දේ වස් ගොටුවයි. වස්ගොටුව සකසනු ලබන්නේ විශාල ව සැදුණු පොල් ගෙඩියක් ගෙන බිඳ ඉන් ප්‍රමාණයෙක් විශාල පොල් බෑය ගෙන ඇතුළතින් නටුව පොල් බෑය ඇතුළට තැබෙන පරිදි දළුමුර නැතහොත් බුලත්කොළ වටේට අතුරා ගොටුවක් ආකාරයටයි.

මෙම ගොටුව පෙරළී නොයන සේ පට්ටල කර තැබීම සඳහා දරනුවක් ද සකස් කර ගනියි. එය ගොප් කොළ භාවිත කර සකස් කරනු ලබන අතර, අලංකාරය සඳහා දරනුව වටේට පිටතට විහිදෙන පරිදි ගොප් කොළ ඉතිරි කරයි.

එකී වස්ගොටුව මත වැසි සලුව තබා ආරාධනා කිරීම සිදු කරනු ලබයි. මෙම චාරිත්‍රය දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි, ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික පරිදි සිදුකරනු ලබයි. වර්තමානය වන විට මෙම සාම්ප්‍රදායික ක්‍රමයන් තරමක් වෙනස් වී ඇති බව ද දක්නට ලැබේ.

මෙම ආරාධනාවේ දී භික්ෂූන් හට විහාරස්ථානයේ වස් සමාදන් වීම සඳහා ආරාධනා කරමින් වස් කාලය තුළ උන්වහන්සේලාට දානය පිළියෙළ කර දීම, අවශ්‍ය බෙහෙත් හේත් ආදී වෛද්‍ය ප්‍රතිකාරද, සෙනසුන් ද, අවශ්‍ය සිවුරු පිරිකර ද ලබා දෙමින් සුඛවිහරණයට අවැසි වටපිටාව සකස් කර දීම දායක කාරක ආදීන්ගේ පරම යුතුකමකි.

භික්ෂූන් වහන්සේ විසින් ද එකී සිවුපසයෙන් උවටැන් කරන දායක පින්වතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වරදෙන් මුදවා ගැනීම ද පරම යුතුකමක් වන්නේ ය. මෙලෙසින් ගිහි, පැවිදි දෙපිරිසම අවබෝධයෙන් වස්සාන කාලය තුළ කටයුතු කරන්නේ නම්, පින් සිතුවිලි මනා කොට වර්ධනය වී සසර කෙළවර උතුම් වූ අමා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම දුෂ්කර නොවන්නේ ම ය.