Print this Article


විහිළුව

විහිළුව

තිස්නමක් පමණ භික්ෂූන් වහන්සේ කැලණි මහ සෑය වැඳ අතුරු මඟකින් මහ මඟට පිවිසෙමින් සිටියහ.

ඒ අවස්ථාවේ ගිනි තැබූ හේනක දවස තිස්සේ වැඩ කොට වෙහෙස වී, දා ගිය දරමිටියක් හිස තබා ගෙන, දැලි වැකුණු වැරහැලි රෙදි කඩක් ඉන ඔතාගෙන වැහැරුණු සිරුරක් ඇති වයසක මිනිසෙක් ද ඒ මඟට පිවිසියේ ය.

මේ අසරණ මිනිසා දුටු සාමණේර හිමිවරු එකිනෙකා අමතා අර ඔබගේ පියා ය, සුළු පියා ය, මහප්පාය, සීයා ය කියා විහිළු කරන්නට වූහ. අවසන ඔබගේ නම කුමක්දැයි කියාත් ඇසූහ.

මේ කතා ඇසීමෙන් දොම්නස් වූ මහලු මිනිසා දර මිටිය බිම දැම්මේ ය. එහි සිටි වැඩිමහලු හිමි නමට ටිකක් නතරවනු මැනවැයි කීයේ ය. රෙදි කඩමල්ල හොඳට ඇඳගෙන තෙරණුවන්ට පසඟ පිහිටුවා වැන්දේ ය. සාමණේරවරු ඒ අවස්ථාවේ දී වට වී විහිළු කළහ.

වයස්ගත මහල්ලා මෙසේ ද කීයේ ය.

මට විහිළු කරන ඔබවහන්සේලා මෙපමණකින් සිවුර පෙරවූ තරමින් මහණ කම සම්පූර්ණ යැයි නො සිතනු මැනවි. ඔබ වහන්සේලා කළ යුතු කටයුතු මෙතෙක් අසම්පූර්ණ ය.

හිමිවරුනි, මම මුල දී ඔබවහන්සේලා වැනි ශ්‍රමණයෙක් වීමි. ඔබ වහන්සේලාට සිත එකඟ කිරීම් මාත්‍රයකුදු නැත.එකල මම මහර්ධි ඇත්තෙක් වීමි. අහස පොළොව කෙළෙමි. පොළොව අහස කෙළෙමි. දුර තැන ළං කළෙමි. ළඟ දුර කළෙමි. ක්ෂණයකින් සක්වල දහසක් විනිවිද ගියෙමි.

දැන් වඳුරකුගේ වැනි මේ අත්වලින් එදා සඳ හිරු පිරි මැදීමි. සඳ හිරු පා පුටුව කොට හුන්නෙමි. එවැනි වූ මා‌ගේ සෘද්ධිය ප්‍රමාදය නිසා විනාශ විය. අන්‍යයෝ ද මා මෙන් පමාවෙන් ව්‍යසනයට පත්වෙති. හිමිවරුනි මා අරමුණු කොට අප්‍රමාද වෙත්වායි අවවාද කළේ ය.

ඒ කතාව ඇසීමෙන් සංවේගයට පත් තිස් නමක් භික්ෂුහු විදසුන් වඩා රහත් වූහ. (විභංග අටුවාව)

(අටුවා රසකතා ග්‍රන්ථයෙනි)