Print this Article


දානය අර්ථසම්පන්න වීමට නම්...

දානය අර්ථසම්පන්න වීමට නම්...

" අපිරිසුදු අප්‍රසන්න දෙයක් දීම කිසි විටෙකත් නොගැළපෙන්නකි. තිරිසන් ගත සත්ත්වයෙකුට වුව ආහාර වේලක් ලබා දුන්න ද එය පිරිසුදු ලෙසින් ලබා දීම සත්පුරුෂ ක්‍රියාවකි."

සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අංගීරස අමාමෑණී තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශිත වටිනා දහම් කරුණු කිහිපයක් පහදා දීම සඳහා යි බලාපොරොත්තු වන්නේ.

දානය පිළිබඳ කියැවෙන ඉතා අගනා කරුණු අටක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ “සප්පුරිස දාන” සූත්‍රයෙහි දැක්වේ. දානය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ අත්හැරීම යි. මේ සඳහා පරිත්‍යාගය, දීම ආදී අර්ථ ද සපයනු ලැබේ.

ඒ අනුව ඉහත සූත්‍ර පාඨයෙන් කියැවෙන්නේ බුදුරදුන් භික්ෂූන් අමතා දන්දීමේ දී දන් දිය යුතු ආකාරයත් එය තව දුරටත් අර්ථ සම්පන්නවීම උදෙසා සප්පුරිස දාන දේශනා කරනු ලබයි. එකී කරුණු පිළිවෙලින් මෙසේ ය.

* සුචිං දේති (පිරිසුදු දෙය දන්දෙයි)

* පණීතං දේති (ප්‍රණීත දෙය දන් දෙයි)

* කාලේන දේති (සුදුසු කාලයෙහි දන් දෙයි)

* කප්පියං දේති (කැප වූ දෙයක් දෙයි)

* විචෙය්‍ය දේති (පරීක්ෂා කර දන් දෙයි)

* අභිණ්හං දේති (නිතර දන් දෙයි)

* දදං චිත්තං පසාදෙති

(සිත පහදවාගෙන දන් දෙයි)

* දවා අත්තමනෝ හෝති

(දන් දී සතුටු සිත් ඇත්තෙක් වෙයි)

මෙම කරුණු අට දන් දීමේ දී අතිශයින් වැදගත් වනු ඇත. මෙයින් පළමුවැනි කරුණ මගින් කියැවෙන්නේ පිරිසුදු දේ පමණක් දන් දීම යි. අපිරිසුදු අප්‍රසන්න දෙයක් දීම කිසි විටෙකත් නොගැළපෙන්නකි. තිරිසන් ගත සත්ත්වයෙකුට වුව ආහාර වේලක් ලබා දුන්න ද එය පිරිසුදු ලෙසින් ලබා දීම සත්පුරුෂ ක්‍රියාවකි. දෙවැනි කරුණ වනුයේ ප්‍රණීත දෙයක් දන් දීම යි. ප්‍රණීත ප්‍රසන්න යම් දෙයක් ලබාදීම තුළින් එය ලබන තැනැත්තා ද අතිශය සතුටට පත් වේ. දන් දීමේ දී මෙකී කරුණූ ඉතා වැදගත් වනු ඇත.

සුදුසු කල දන් දීම බුදු හිමියන් තෙවැනි කරුණ වශයෙන් පෙන්වා වදාරනු ලබයි. එයින් අර්ථ ගන්වන්නේ තමා ධනයෙන් පෝෂණය වීම හා සිල්වත් ගුණවත් උතුමන් ලොව පහළ වීම දන් දීමට සුදුසු කාලය යි. එමගින් මහත්ඵල මහානිශංස ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.

කැප වූ දෙයක් දීම යනුවෙන් අදහස් කරන්නේ ප්‍රයෝජනයට ගත හැකි කැමති දෙයක් දීම යි. එමඟින් දෙන කෙනා මෙන්ම එය ලබන කෙනා ද ඉතා සතුටු වනු ලබයි.

පස්වැනි කරුණ වනුයේ පරීක්ෂා කර දන් දීම යි. දෙන දේ පිළිබඳ සොයා බලා එහි හොඳ නරක පරීක්ෂා කර දන් දීමයි. දෙන දේ පිළිබඳ මනාව සොයා බලා එහි හොඳ නරක පරීක්ෂා කිරීම බෙහෙවින් වැදගත් වනු ඇත. නොමැති නම් එකී දීමෙන් ඵලක් නොවේ. ලබන අය ද ප්‍රසාදයට පත් නොවේ.

“අභිණ්හං දේති” යනුවෙන් අදහස් කරන්නේ නිතර දන්දීම යි. එසේ දන් දෙන තැනැත්තා “දදං චිත්තං පසාදේති” සිත පහදවා ගන්නා බව සත් වැන්න තුළින් බුදුරදුන් අර්ථ දක්වයි.

එලෙස දන් දෙන්නා අවසානයේ දී ද සතුටු සිත් ඇති කර ගන්නා බව “දත්වා අත්තමනෝ හෝති” යනුවෙන් අටවෙනි කරුණ මඟින් පෙන්වා දෙනු ලබයි.

දන් දීමේ දී ඉහත සඳහන් කරුණු බෙහෙවින් වැදගත් වේ. මන් ද ඒවා සත් පුරුෂ කරුණු වන හෙයිනි. අතීතයෙහි බෞද්ධයා තුළ මෙකී ලක්ෂණ තිබුණ ද නූතනයෙහි ඇති වී තිබෙන පරිහානිය නිසා ඒවා ගිලිහී ගොස් ඇති බව නොරහසකි.

මේ නිසා සත්පුරුෂ ගුණ ධර්මයන් අපගේ දිවි මඟට බෙහෙවින් වැදගත් ඒවා ය. දන් දීමේ දී ද එකී ලක්ෂණ පුද්ගලයා තුළින් දැක ගැනීමට හැකි නම් එය දියුණුවේ ලක්ෂණයකි. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මුලයන් ප්‍රහාණය කර ගැනීමට උත්සාහ දරන අප දන්දීම මනා අවබෝධයෙන්ම කළ යුතු ක්‍රියාවකි.

විශේෂයෙන් සප්පුරිසදාන සූත්‍ර දේශනාවෙහි සඳහන් කරුණු අපගේ දිවි මඟට බෙහෙවින් වැදගත් හා ආලෝකය සපයන ඒවා බව අමතක නොකළ යුතු ය.

තමා සතු දෙයක් අන් කෙනකුට දීම තරම් අපහසු දෙයක් නොමැතිය. “දානය” බුදු සමය ඉතා ඉහළින් අගය කරනු ලබනුයේ ඒ නිසා ය. විවිධ දාන පින්කම් සිදු කරන අප මෙකී කරුණු දෙස අවධානය යොමු කොට තථාගත බුදුරදුන් පෙන්වා දුන් ඉහත දහම් කරුණු ඔස්සේ ගමන් කොට සසර දුකින් එතෙර වීම උදෙසා සත් පුරුෂ කරුණු ඔස්සේ පින්කම් කිරීමට අදිටන් කර ගැනීම ඉතා වැදගත් වන බව මතකයෙහි තබා ගත යුතු ය. ඒ වෙනුවෙන් ඔබට ධර්මයේ ආශීර්වාදය ම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.