Print this Article


දෙලොව දියුණුව සලසා ගනිමු

දෙලොව දියුණුව සලසා ගනිමු

පුද්ගලයාගේ මෙලොව දියුණුව සලසන කරුණු 04ක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජිවකතා යනුවෙනි.

මෙලොව ජීවිතය කෙරෙහිත් විශේෂයෙන් ම තමන් පිළිබඳ සිතන තැනැත්තා තුළ නිසැකයෙන් ම තිබිය යුතු ගුණාංගයක් වන්නේ උත්සාහයයි. එයට හේතුව නම් තමන්ගේ සියලු කාරණා සඵල කරගැනීම පිණිස බෙහෙවින් ඉවහල් වන ප්‍රධාන සාධකය එය වන බැවිනි.

අධ්‍යාපනය ලද යුතු කල එය සාර්ථක ව කිරීමටත්, තරුණ වයසට පත් වූ කල්හි ආර්ථිකය සාරවත් කර ගැනීමට හොද පවුල් ජිවිතයක් ගත කිරිමට කුසල් දහම් රැස් කිරීම ආදී වූ අප සාමාන්‍යයෙන් කරන්නා වූ සෑම ක්‍රියාවක්ම අදිටන් කල පරිදි ඉටුවන්නේ උත්සාහය නිසාවෙනි.

අපේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට විශේෂයෙන්ම අපට බලපාන්නේ ආර්ථිකයයි. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ ධනය ඉපයීමේ දී කෙදිනකවත් අනුන්ට හිරිහැර වන පරිදි හෝ සමාජය පරිහානියට පත්වන විදියේ ක්‍රම මගින් ධනය ඉපැයීමෙන් වළකින ලෙසයි.

බුදුන් වහන්න්සේ දේශනා කළේ අලසකමින් සිටීම තුළින් තම ධනය බලා සිටියදීම පරිහානියට, විනාශයට යන බවයි. සමහ‍ර පිරිස් සාර්ථකත්වය සඳහා වෙහෙසීමෙන් තොරව තම ජීවිතය දෛවයට, අතීතයේ කළ කර්මයන්ට නතු කරයි. එය ඔහුගේ පරිහානිය පිණිසම හේතුවනු නිසැක ය.

උනන්දුව දියුණු කළ යුතු ය. බුදුරදුන් දවස පමණක් නොව මෑත යුගයේ ද බිහි වූ බොහෝ දෙනෙක් උත්සාහය නිසා තම ජීවිතය මෙන්ම මුළු ලෝකයම දියුණු කළහ.

උපයාගත් ධනය සොරුන්ගෙන්, ස්වභාවික ව්‍යසනයන්ගෙන්, කුමන හෝ අයුරකින් විනාශ වීමට ඉඩ නොදී මනා සිහියෙන් යුතුව ආරක්ෂා කළ යුතු වන්නේ ය. ධනය ආරක්ෂා කරගත යුතු සේ ම සුදුසු පරිදි යෙදවීමට ද මහන්සි ගත යුතු ය. ධනය ලෝභකමින්, ආශාවෙන් තබාගෙන සිටියාට ඇති පලයක් නැත.

මෙලොව ජීවිතය සාර්ථකත්වයට පත්කර ගන්නවා සේ ම. පරලොව ජීවිතය සුගතිගාමිත්වය උදෙසා ද ක්‍රියා කළ යුත්තේ ද මෙලොවදී ම ය. එහිදී ද වැදගත් වන කරුණු 04 ක් පෙන්වා දී ඇත. එනම් සද්ධා, සීල, වාග, පඤ්ඤා යනුවෙනි.

ශ්‍රද්ධාව යනුවෙන් පෙන්වා දී ඇත්තේ තෙරුවන් කෙරෙහි අචල වුත් ශ්‍රද්ධාවෙන් යුක්ත වීමය. බුදුන් වහන්සේ ගේ නව අරහා දී ගුණ පිළිගැනිම, සදහම් ගුණ විශ්වාස කිරීම හා සංඝරත්නය පිළිබඳ ගරු කිරීම ආදිය මෙයට අයත් ය.

ඒ ශ්‍රද්ධාව කිසි ලෙසකින්වත් වෙනස් නොවන්නකි. තමන්ගේ දුක්ඛදෝමනස්සයන් නිසා කිසිදිනෙක තෙරුවන් කෙරෙහි සැකයක් ඇතිකර නොගනී. තෙරුවන් කෙරෙහි අචළ ශ්‍රද්ධාවෙන් යුතුව තෙරුවන් ගුණ සජ්ඣායනා කිරීම නොව ගුණයන් පිළිබඳව නිසි වැටහීමෙන් යුතුව සරණ යෑමයි ශ්‍රද්ධාව උපදවා ගැනීමට වැදගත් වන්නේ.

දෙවැනි අංගය වන්නේ සීල සම්පදාවයි. පඤ්චශිලය ආරක්ෂා කිරීම මෙන්ම සිතින් කයින් වචනයෙන් දුෂ්චරිත සිදුකිරීමෙන් වැළකීම මේ සම්ප්‍රදාවට අයත් වන්නේ ය.

ගිහියකු නම් පඤ්චශිලය ආරක්ෂා කරමින් සත්පුරුෂයන් ආශ්‍රය කරමින් ජිවත් වීම වටී. තෙවැනිව පෙන්වා දෙන්නේ වාග සම්පදාවයි. එනම් පරිත්‍යගශිලිත්වයෙන් යුතුව දීමයි. දන්දීම යනු පාරමිතාවක් ද වන්නේය. එය නිසි පරිදි කුසල චේතනාවෙන්ම ඉටු කිරීමට මහන්සි ගත යුතු ය. සිව්වැනි කරුණ නම් පඤ්ඤ , සම්පදාවයි. එනම් ප්‍රඥාවෙන් සම්පුර්ණ වීමයි. මෙලොව ජීවිතය සාර්ථකත්වයටත් හොඳ නරක මනාව අවබෝධ කර ගැනීමටත් අවිද්‍යාව දුරලා නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමටත් ප්‍රඥාව ඉවහල් වෙනු නියත ය.

සම්බුදු හිමියන් දේශනා කළ අයුරින් මේ ක්‍රමවේදය මනාව පිළිපදින්නාට මෙලොව පරලොව අභිවෘද්ධිය සලසාගෙන අවසානයේ දී සියලු කෙලෙසුන් ප්‍රහීන කර නිවන් සම්පතිය සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේම ය.