Print this Article


නළමාලිකා ථේරී අපදානය

නළමාලිකා ථේරී අපදානය

* එක් කලෙක මම චන්ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. දිනක් නිකෙලෙස් වූ තමන් වහන්සේ විසින් ම සත්‍ය අවබෝධ කරගත් අපරාජිත (සිද්ධාර්ථ) බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

* පහන් සිතැති එහෙයින් ම සොම්නස් වූ හටගත් පී‍්‍රතිය ඇති මම ඇඳිලි බැඳ උණ මල් දමක් ගෙන බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් යුතුව පිදුවෙමි.

* ඒ කළ යහපත් කර්මයෙන් ද සිතිවිලි හා ප්‍රාර්ථනා හේතුවෙන් ද, කිඳුරු සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

* එහි තිස් හයක් දෙව්රජුන්ට (මම) මෙහෙසි තනතුර දැරුවෙමි. පසුව සක්විති රජුන් දස දෙනෙකුට මෙහෙසි තනතුර දැරුවෙමි. (මේ ජීවිතයෙහි) මාගේ සිත සංවේගයට පමුණුවා අනගාරික බුදුසසුනෙහි පැවිදි වීමි.

* මෙයින් අනු හතර වන කල්පයෙහි මම යම් මල් පූජාවක් කෙළෙම් ද, ඒ පිනෙන් මම දුගතිය නො දනිමි. මේ මල් පූජාවේ ආනිසංසය යි.

* මා විසින් කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. සියලු ආශ්‍රවයෝ ගෙවී ගියහ. දැන් මට නැවත උපතක් නැත.

සූත්‍ර පිටකයේ කුදුගත් සඟිය
සිංහල අපදාන පාළි - 2