Print this Article


විඳිය හැකි ජීවිතය විඳවන්නේ ඇයි

විඳිය හැකි ජීවිතය විඳවන්නේ ඇයි

ලෝක ඉතිහාසයේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තරම් සෞන්දර්යාත්මක ජීවිතයක් ගත කළ පුද්ගලයකු පිළිබඳ ව ලිඛිත සාක්‍ෂි දක්නා නො ලැබේ.

සිද්ධාර්ථ කුමරු ගණිත මිණිත ගාන්‍ධර්වාදී අෂ්ටාරස කලාවන්හි පාරප්‍රාප්ත, තුන් ඍතුන්ට අනුරූප ප්‍රාසාදයන්හි අවිවාහක තරුණියන් විසින් නිරතුරු වයන ලද පසඟතුරු නඳීන් යුතුව, යශෝධරා නම් සර්වාංග ශෝභා සම්පන්න ස්ත්‍රී රත්නයක සමඟ විවා පත්ව රජකුමර සිරි විඳී කෙනෙකි.

භවයෙන් භවයට භාවිත බුද්ධිය, රූපශෝභාව, කීර්තිය හා ප්‍රතිභා ශක්තියක් හිමි මෙම කුමරා සතුව අපූර්ව වින්දන ශක්තියක් මෙන්ම පුළුල් ජීවිත අත්දැකීමක් තිබූ බවට ද සැක නැත. මෙම ශක්ති විශේෂයන් බුදුවීමෙන් දියුණු තියුණු වීම නියත සංසිද්ධියකි.

බුද්ධත්වය වූකලි අවබෝධාත්මක මෙන්ම විධිමත් සංවේදනාත්මක ජීවිතයක උත්කෘෂ්ට සම්ප්‍රාප්තියකි. එහෙත් බුද්ධාදී ආර්යයන්ගේ අවබෝධය පිළිබඳ ඇගයීමත්, එය සාක්‍ෂාත් කිරීම පිණිස මඟ පෙන්වීමත් මිස එහි වින්දනීය පක්‍ෂය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමක් ථේරවාද සම්ප්‍රදාය තුළ සිදුවී නැත.

ධ්‍යාන සමාපත්ති අදිය සම්බන්‍ධ සුඛය පමණක් නොව ගිහි පැවිදි දෙපක්‍ෂය සම්බන්‍ධ සුඛ, සෝමනස්ස ආදිය පිළිබඳව ද ගැඹුරු සාකච්ඡාවන් සිදුවී ඇත්තේ අඩු වශයෙනි. වැඩි වශයෙන් සිදුව ඇත්තේ ගිහි ජීවිතයේ කර්කෂ බව හෙළි කිරීමත්, පැවිදි ජීවිතය අනිත්‍ය ධර්මතාව මෙනෙහි කිරීමටම සීමා වූවක් ලෙස අවධාරණය කිරීමත් ය.

මේ නිසා ජීවිත ආස්වාදය පිළිබඳ බෞද්ධ ආකල්පය වටහා ගත යුත්තේ ආගමික සාරධර්මයන්ට හානිකර නොවන ලෞකික ජීවිතයේ අරමුණු අභිප්‍රාය වින්දන ස්වභාවන් ද පිළිබඳ සියුම් හා යතාර්ථවාදී දැක්මකින් ද යුතුව ය.

ජීවිතය සම්බන්‍ධයෙන් බෞද්ධ දාර්ශනික යතාර්ථය නම් එය දුක පදනම් කොට ඇති එකක්ය යන්නයි. ලෝකය පිළිබඳ ඉන් පරිබාහිර වූ අර්ථකථනයක් නැත. මෙම යතාර්ථය බුද්ධිමය අත්දැකීමක් නොවන තරමට මිනිසා ජීවිතය හා අනුබද්ධ දුකෙහි ගිලී දුක්විඳී. එයින් අදහස් වන්නේ එය අවබෝධාත්මක අත්දැකීමක් වුවහොත් මිනිස් ජීවිතය සුඛාත්මක වන බව ය. අනෙක් අතින් ජීවිතය දුකක් ලෙස බුදුරදුන් වදාළ තැනක් පෙළෙහි දක්නට නැත.

මේ නිසා පඤ්චස්කන්ධය, පඤ්ච උපාදානස්කන්ධය, කය, ජීවිතය යන පද ආශ්‍රිත බුද්ධ දේශනා එකම පදනමක සිට අර්ථකථනය කිරීමත්, වටහා ගැනීමත් දෝෂ සහිත ය. ජීවිතය ශ්‍රේෂ්ඨ ලෙස බුදුරදුන් විසින්ම වදාළ අවස්ථා පෙළෙහි විද්‍යමාන වේ.

“යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග හා පඤ්ඤා යන ධනය ඇත්නම් ඔහුගේ ජීවිතය හිස් නැත.” යනු නිදසුනකි.

තවද ජීවිතයක ඇත්තේ දුක්ඛදායක අත්දැකීම් පමණක් නොවේ. බුද්ධ දේශනාවෙහි ලෞකික අපට උපරිම සතුටින් සන්තෘප්තියෙන් ජීවත්වීමට අවශ්‍ය උපදෙස් රාශියක් සොයා ගත හැකි ය.

මිනිස් වින්දනය සුඛ, සෝමනස්ස, දුක්ඛ,  දෝමනස්ස, උපේක්‍ෂා යනුවෙන් පස්වැදෑරුම් වේ. එය කෙටියෙන් සුඛ, දුක්ඛ, උපෙක්ඛා යනුවෙන් තෙවැදෑරුම් කොට දක්වා ඇත.

සාමාන්‍ය ජනයා ගිහි සුඛය වින්දනය කළ ආකාරය හා ඇතැම්විට එම සුඛය බුදුරදුන්ගේ පවා අවධානයට මෙන්ම ඇගයීමට ලක්වූ අවස්ථා ඇතැම් සූත්‍ර දේශනාවල සටහන් වී ඇත.

සංයුත්තනිකායේ පඤ්චකංග සූත්‍රයේ මේ පිළිබඳව විග්‍රහයක් ඇතුළත් වේ. සුඛය හා සොම්නස ප්‍රතිබද්ධ වින්දනය වූකලි අනුක්‍රමයෙන් දියුණු කළ යුත්තකි. කාමය දුක් සහිත යැයි අප විසින් අවධාරණය කරන නමුත් කාමය ආශ්‍රිත සුඛයක් ඇත.

එය කාමසුඛ නම් වේ. ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය, දූ දරුවන්, ධනය, දේපළ, කෙත්වතු, ධනධාන්‍ය, රන්රදී, මසු, කහවණු, දැසි දසුන්, කම්කරුවන් ආදිය ඇසුරෙන් උපදින වින්දනයක් පෘථග්ජන මිනිසාට ඇත. පෘථග්ජන තත්වයෙන් එහා ගිය අත්දැකීමක් ජීවිතයට ලැබෙන තෙක් එය පුහුදුන් මිනිසාට සැපකි. එසේම සොම්නසකි.

වරක් කාම සුඛයෙන් සමර්පිත වූ දෙවියෙක් පැමිණ යමෙක් තව්තිසාවේ නන්දන උයන නොදුටුවේ නම් ඔහු සුඛය නොහඳුනන්නෙක් යැයි පැවසූ බව බුදුන් වහන්සේ භික්‍ෂූන්ට වදාළහ. එපමණක් නොව අත්‍ථිසුඛ, භෝගසුඛ, අනණසුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් චතුර්විධ සුඛයක් ද පෙන්වා දුන්හ. මෙම විවිධ සුඛ ආශ්‍රිත නැතහොත් සුඛය හා සොම්නස සොයා යාම් පිළිබඳ පුවත් පෙළ සාහිත්‍යයෙහි අපමණ හමුවේ.

මේ නිසා ජීවිතය යනු දුක දොම්නස මෙන්ම සුඛය හා සොම්නස සමඟ නියත වශයෙන් බැඳී ඇති භවික අත්දැකීමක් වේ. එබැවින් ජීවිතයක වෑයම විය යුත්තේ අශූභවාදයකට එළඹීම නොව දුක විනිවිද දැක එයින් ලබන සුඛය ආත්මගත කිරීම ය.

ජීවිත ආස්වාදය විෂයෙහි අවශ්‍ය මූලික කාරණය වන්නේ මානසික සමබරතාවයයි. එය හදවතේ මෙන්ම බුද්ධියේ සමවායෙන් ලැබිය යුත්තකි. ලෝකයේ විසිතුරු වස්තූන්ගේ බිහිවීම ලෝකයට දායාදයකි. ලස්සන තුරුලතා සතා සිවුපාවා කඳුරැලි ස්ත්‍රීපුරුෂාදීන් එලෙස වීම එම වස්තුවේ වරදක් වේ ද? සංයුත්තනිකායේ න කාමකාම සූත්‍රයේ බුදුහු මෙසේ වදාරති. “ලොව ලස්සන දේවල් කාමයෝ නොවෙති. මිනිසා තුළ පවතින සංකල්ප රාගය කාමයයි. ලොව විසිතුරු දේ එසේම පවතී. නුවණැත්තෝ එහිලා තෘෂ්ණාව දුරු කරති.”

ලෝකයේ විසිතුරු දේ විසිතුරු ලෙස දැකිය යුතු ය. ඒවාට සංකල්පමය වශයෙන් මමය (අහංකාර) මගේ (මමිංකාර) යනාදී වශයෙන් ඇලීමක් ඇති කර ගැනීම කාමය ඇති කර ගැනීමකි. එම සංකල්ප රාගය හානිකර වන අතර එයින් වස්තුවක පවතින සුන්දරත්වය දැකීමට නො හැකි වේ. මේ නිසා ජීවිත ආස්වාදයක් ලැබීමට සංකල්පමය වශයෙන් අප තුළ ඇති වන රාගය පාලනය කිරීමට සිදුවේ. සත්වෝද්‍යානයක ජලාශයක කඳුහෙල්වල ගසක වැලක ගැහැනියක හෝ පුරුෂයකු තුළ පවතින රූපමය හෝ චර්යාමය සංසිද්ධියක සෞන්දර්යය වින්දනය කළ හැක්කේ එකී අනුපාදානාත්මක මනෝභාවයත් සමඟ ය.

මිනිසා තමා අවට පරසරය සමඟ මනා සිහියෙන් යුතුව (පච්චවෙක්ඛිත්වා) තමාටත් එයටත් හානිකර නොවන පරිදි ගනුදෙනු කරමින් වින්දනය කරයි නම් එයින් ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් යුතු ආස්වාදයක් ලැබෙන බව (පීතිපාමොජ්ජෙන විහරෙය්‍යාසි) බුදුන් වහන්සේ රාහුල හිමියන්ට වදාළහ.

එසේම යම් සැපයක් පාපයෙන් හා අකුසලයෙන් තොර නම් එබඳු සැපයට මම බිය නොවෙමියි වරක් බුදුන් වහන්සේ වදාළහ. පාපයක් නැත්නම් අකුසලයක් සිදුවන්නේ රාගය ද්වේෂය හෝ මෝහය පදනම් කරගෙන ය. එබැවින් රාගිකව හෝ මෝහය හො ද්වේෂය හෝ ඇති සිතකින් සුවදායී වින්දනයක් ලැබිය නො හැකි ය. මේ නිසා උසස් වින්දනය පාපයට අකුසලයට බර වූවක් නොවේ. එහෙයින්ම බෞද්ධයාට ආස්වාදනීය ජීවිතයක් උරුම කර ගැනීමේ මාවතක් අප සතුව ඇත.

මේ ලෝකයේ සෑම කෙනකුම ලස්සන දකිනුයේ තමාට ම ආවේණික වූ රස අනුව ය. ඒ රසය චරිත ලක්‍ෂණ අනුව හඳුනාගැනීමක් විසුද්ධිමග්ගයේ දැකිය හැකි ය. මිනිසා විසින් උසස් මනසකින් අත්පත් කරගත යුතු පුරුෂාර්ථ බොහෝ සංඛ්‍යාවක් ඇත. උසස් මිනිසුන් ආශ්‍රයෙන් අධ්‍යාපනයෙන්, දාර්ශනික සාකච්ඡා හා සම්මන්ත්‍රණ මගින් ශික්‍ෂිත කායික වාචසික සමාචාර තුළින් අපේක්‍ෂා කෙරෙනුයේ එකී පුරුෂාර්ථයන්ගේ ඵලප්‍රාප්තියයි. මේ සඳහා අවශ්‍ය මානසික පසුබිම සකසා ගැනීමට ඔහුට පාරිසරික හා ආධ්‍යාත්මික ශික්ෂණය නිසැකව ම උපකාරී වේ.

ගහ කොළ, ගිරි කඳුරු, නිම්න මිටියාවත්, සිහිල් සුළං ආදිය පමණක් නොව චිත්‍ර මූර්ති කැටයම් නාට්‍ය චිත්‍රපට ගීත සංගීත ආදී අනේකවිධ කලාංගයන් තුළ කිසියම් විචිත්‍රතාවක් දැකිය හැකි අවස්ථා තිබේ. පොදු ජනයා මේවා විචිත්‍ර නිර්මාණ ලෙස අගයන විට ඒවා සියල්ල විචිත්‍ර නොවේ යැයි කීමට හැමවිටම බුදුන් වහන්සේ උත්සුක නොවූහ. යමක් සමාජවිද්‍යාත්මක අවශ්‍යතාවක් වේ නම් එය යම් විධියකින් ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරන අවස්ථාවල එය සමාජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. වෙනත් විධියකින් කිවහොත් සමාජගත අවශ්‍යතාවට විරුද්ධවීම සමාජය විසින් බැහැරලනු ලැබේ.

බුදුන් වහන්සේ ලොව පහළ වූ අග්‍රගණ්‍ය සමාජ විද්‍යාඥයෙක් වේ. එබැවින් යමක් සමාජවිද්‍යාත්මක අවශ්‍යතාවක් නම් ඒ බව බුදුන් වහන්සේ පිළිගත්හ. එම ඇගයීම විධිමත් කිරීමට උපදෙස් සැපයූහ.

කාව්‍යය සාහිත්‍යය සංගීතය ලලිතකලාවන්හි මෙන්ම මිනිස් චින්තනයේත් වින්දනීය චර්යාවන්හිත් බුද්ධිමය හා හෘදය සංවාදී ආස්වාදය විෂයෙහි මෙකී බෞද්ධ පදනම නූතන ලෝකයට අතිශය ප්‍රයෝජනවත් වනු නිසැක ය. ගෝලීයකරණය නිසා වියුක්තව විසිය නොහැකි මිනිස් සමාජය තුළ ක්‍රියාත්මක වන විසංවාදී හා සංකීර්ණ චින්තන හා චර්යා පද්ධති නිසා මිනිසා දිනෙන් දින අසරණ වනු නියත ය. අසීමිත ආශාවන් පසුපස හඹා යාමෙන් අතෘප්තිකර ඔහුට සෞන්දර්ය ආස්වාදයක් ලෙස අත්විඳීිමට සිදුවනුයේ කාමයේ ස්වල්පමාත්‍ර ආස්වාදයන් හා එහි රුදුරු අත්දැකීම් පමණකි. සෞන්දර්යමය ආස්වාදය ලෝකයේ උපදින සෑම කෙනකුගේම ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවකි. එබඳු වින්දනයක් නොමැති තැන අපේක්‍ෂා භංගත්වයෙන් සකසන හිඩැසක් පවතී. ආතතිය උන්මාදය වැනි මානසික ව්‍යාබාධයන්ගෙන් සමාජ සංස්ථාව මුදවා ගැනීමට ආස්වාදය සම්බන්‍ධ බෞද්ධ ක්‍රමවේදය හඳුනා ගැනීම නූතන ලෝකයට අවශ්‍ය වේ.