Print this Article


මිගදායෙන් පෙරළුණ දහම්සක

මිගදායෙන් පෙරළුණ දහම්සක

" විසුද්ධිමාර්ග ඉද්ධිවිධ නිර්දේශයේ සඳහන් වන්නේ තලගුරු විහාරවාසී ධම්මදින්න තෙරුන් තිස්ස මහා විහාරයේ සෑ මලුවේ දී අපණ්ණක සූත්‍රයෙන් ධර්ම දේශනා කරන විට වටාපත යටිකුරු කොට බණ ඇසූ පිරිසට අවීචිය ද, උඩුකුරු කොට දෙව්ලොව ද පෙන්නූ බවයි."

පාලියෙහි අසාළ්හ යන්න සිංහලයෙහි ඇසළ විය. අසාළ්හ යන්න පුවසළ, උතුරුසළ නැකැත් සඳහා ද උතුරු සළ නැකතින් යුත් මාසය සඳහා ව්‍යවහාර වන්නකි. මේ අනුව නැකැත් සැණකෙළි පැවැත්වෙන පුණ්‍යවන්ත වූ මාසය ඇසළ මාසය යි.

භාරතයෙහි සෘතු විපර්යාසයන්ට අනුව සාර වූ වස්සාන සෘතුවෙහි මුලාරම්භය සිදුවන්නේ ද ඇසළ මාසයෙනි. ගහකොළ සතා සිවුපාවන්ගේ පමණක් නොව අජීවි පරිසරයේ ද නැවුම් ජීවමාන බවක් ඇතිවන සාර වූ මාසය ඇසළ මාසය යි. ඇසළ මාසය බුදුසිරිත ආශි‍්‍රත විශේෂ සිදුවීම් රාශියක මූලාරම්භය යි. ඒ අතර ඉසිපතන මිගදායේ දී පැවැත් වූ ප්‍රථම ධර්ම දේශනාව ප්‍රධාන වේ. මීට අමතරව මහාමායා දේවී කුස සිදුහත් බෝසතුන් පිළිසඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමාරෝත්පත්තිය, ගණ්ඩම්භ වෘක්ෂ මූලයේ දී තීර්ථක මානය බිඳහෙළමින් යමාමහ පෙළහර පෑම, බුද්ධත්වයෙන් සත්වෙනි මස තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘදිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම වැනි කරුණු ද වේ.

ඉසිපතන මිගදාය මුවන්ට අභය දානය වූ ස්ථානයකි. අප මහ බෝසතාණෝ පෙර එක් භවයක න්‍යග්‍රෝධ නමින් මුවකු වී ඉපිද රජු ලවා මෙම ස්ථානය අභය භූමියක් වශයෙන් සම්මත කළ බව න්‍යාග්‍රෝධමිග ජාතකයෙහි සඳහන් වේ.

ඉසිපතනය පෙර සෘෂීන් මෙන් ම බුද්ධාදී මහෝත්තමයන් සෘද්ධියෙන් අහසින් බසින ලද ස්ථානය යි. වර්තමානයේ එය සාරානාත් යන නාමයෙන් හැඳින් වේ. මෙම සාරානාත් නාමය මිග ජාතකයෙහි දී මුවන්ට අභය දානය ලබා දුන් බෝධිසත්ව සාරාංගනාථ නම් මුව රජුගේ නාමයෙන් ව්‍යවහාර වූවකි.

එසේම මෙම නික්ලේෂී ආර්ය උතුමකු විසින් දෙසූ ලොව සනාතනික දහම දසත පැතිරෙන්නට ජන්ම ලාභය ලද පුණ්‍යවන්ත ස්ථානය යි. ඇසළ සඳේ සඳ එළියෙන් ඒකාලෝකවත් වූ මිගදාය එදා දසදහසක් සක්වලින් පැමිණි දේව බ්‍රහ්මාදීන්ගේ වාසස්ථානය විය. එය එක් රැයක එක් ස්ථානයකට රැස් වූ වැඩිම සත්ව සන්නිපාතය විය. එදා මිගදායේ අභ්‍යවකාශය දේව බ්‍රහ්මාදීන්ගෙන් අතුරුසිදුරු නැති විය.

ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේ “දේවෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා” යනුවෙන් ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළහ. “මහණෙනි, ළාමක වූ ග්‍රාම්‍ය වූ පොදු ජනයා විසින් සේවනය කරන ලද්දා වූ අනාර්ය වූ, අනර්ථයෙන් යුක්ත වූ කාමසුඛල්ලිකානු යෝගයෙහි සුඛ වශයෙන් ඇලීමෙක් වේ ද, දුක් වූ අනාර්ය වූ අනර්ථයෙන් යුක්ත වූ අත්තකිලමථානු යෝගයෙහි යෙදීමක් වේ ද යන මේ අන්ත දෙක ම පැවිද්දා විසින් නොසෙවිය යුතු ය.

මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණෙන තථාගතයන් විසින් අවබෝධ කරන ලද නුවණැස පිරිසුදු කරන, ඥානය පහළ කරන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන් දුරුකරනු පිණිස, සිවුසස් දහම් මනාකොට අවබෝධ කරනු පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී.” යැයි වදාළහ.

මේ නිකෙලෙස් ආර්ය දේශනාව ඇසූ කෙලෙස් භරිත පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාට සහ අටළොස් කෝටියක් දෙව් බඹුන්ට චතුස්සත්‍යාවබෝධය වූහ.

සිවුසස් දහම් සොළොස් ආකාරයෙන් දැන ගන්නාට අර්හත් මාර්ග ඥානය පහහළ වූහ. එවිට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. පී‍්‍රතියෙන් පිනා ගිය දෙව් බඹුන්ගේ සාධු නාද ශබ්දය අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරිණි.

සහම්පතී මහ බඹුන්ගේ ආරාධනයෙන් දෙසූ මේ ධම්මචක්කපවත්තන දේශනාව සකල බුද්ධ දේශනාවේ සාරය කැටිකොට ගත්තකි. මෙහි බැහැර කළ යුතු අන්තද්වය, මැදුම්

පිළිවෙත, චතුරාර්ය සත්‍ය තිපරිවට්ට හා ද්වාදසාකාරයෙන් විශ්ලේෂණය කොට දක්වයි.

ධර්මය නැමැති රෝදය ප්‍රවර්තනය කිරීම හෙවත් පෙරළා දැමීම යන්න ධම්මචක්කපවත්තන යන්නෙහි සරල වචනාර්ථය යි. එය පටිවේධ ධම්මචක්ක හා දේශනා ධම්මචක්ක වශයෙන් අර්ථ දෙකක යෙදේ.

දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ ගැනීම (පරිඤ්ඤෙය්‍යං) සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම (පහාණ) නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කිරීම (සච්ඡිකාතබ්බං) මාර්ග සත්‍ය වර්ධනය කිරීම (භාවෙතබ්බං) යන සිවුසස් දහම සතරාකාරයෙන් හා සොළොස් ආකාරයෙන් දැන ගැනීමේ ඥානය ප්‍රතිවේධ ධර්මචක්‍ර ඥානය යි.

දේශනා ධර්මචක්‍ර ඥානය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන පරිවෘත්තයකින් යුත් දොළොස් ආකාරයකින් සිවුසස් දහම මනාකොට දැන ගන්නා වූ ඥානයයි.

ඇසළ පුන් පොහෝ දින ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට මිගදායේ දී දේශිත දහම මේ දේශනා ධර්මචක්‍ර ගණයට ගැනේ. දම්සක් පැවතුම් සූත්‍රයේ ඉගැන්වෙන විමුක්ති මාර්ගයෙහි ශික්ෂණය ලැබිය යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ මාර්ගාංග සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවෙන් අර්ථවත් වේ.

මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයෙහි ධම්මදින්නා තෙරණිය විශාඛ ගෘහපතියාට පෙන්වා දෙන්නේ ද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීලය යටතට ද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන්න සමාධි ශික්ෂාව යටතට ද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ප්‍රඥා ශික්ෂාව යටතට ද අයත්වන බවයි.

මෙහි සඳහන් වන සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංග දෙක මගින් විදර්ශනා ප්‍රඥාව අර්ථ ගැන්වෙන අතර, ඉතිරි මාර්ගාංග සයෙන් සමථය අදහස් වේ. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ ධර්ම චක්‍රය ප්‍රවර්තනයවීමේ අනුපිළිවෙළ යි.

අද වැනි දිනක බරණැස මිගදායේ දී ඒ ධර්මය නමැති රෝදය පෙරළීමේ මූලාරම්භය සිදුවිණි. එතැන් පටන් කුසිනාරාවේ උපවත්තන සල් උයන දක්වා බුදුන් වහන්සේ පුරා වසර හතළිස් පහක් පුරාවට දඹදිව් තලයේ ගම්නියම් සිසාරා පෙරලූයේ ඒ අසිරිමත් ධර්ම චක්‍රය යි.

ඒ අසිරිමත් බණ කීමේ කලාව පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ දඹදිවත්, ඉන් එපිටත් ව්‍යාප්ත කළහ. දෙවනපෑතිස් රජ සමයේ ධර්මාශෝක අධිරාජයාගේ මඟපෙන්වීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු දූත පිරිස මිස්සක පව්වේ දී ප්‍රවර්තනය කරන්නේ ද ඒ අසිරිමත් ධර්ම චක්‍රයම ය.

ඉන් පසුව ලක්දිව ගම්නියම්ගම් පුරා ඒ ධර්ම චක්‍රය පෙරළී ගියේ ය. ඊට සාධක පාලි අට්ඨකතාවල බොහෝ ය. පෙර රුහුණෙහි ප්‍රකට ධර්ම කථිකයෙකු විය. උන්වහන්සේ අභය නම් විය. දීඝ නිකාය පරපුරෙන් පරපුරට කටපාඩම් කර රැගෙන පැමිණි නිසා උන්වහන්සේ දීඝභාණක අභය නම් විය. දිනක් අරියවංස සූත්‍රය මාතෘකා කොට ගෙන උන්වහන්සේ දෙසූ බණ ඇසීමට මාගම විසූ සියලු වැසියන් පැමිණි බව මජ්ක්‍ධිම නිකාය අටුවාවේ සඳහන් වේ.

එසේම විසුද්ධිමාර්ග ඉද්ධිවිධ නිර්දේශයේ සඳහන් වන්නේ තලගුරු විහාරවාසී ධම්මදින්න තෙරුන් තිස්ස මහා විහාරයේ සෑ මලුවේ දී අපණ්ණක සූත්‍රයෙන් ධර්ම දේශනා කරන විට වටාපත යටිකුරු කොට බණ ඇසූ පිරිසට අවීචිය ද, උඩුකුරු කොට දෙව්ලොව ද පෙන්නූ බවයි.

එසේම පෙර විසූ මලියදේව මහරහතන් වහන්සේ තරුණ භික්ෂුවක් ව සිටි අවධියේ දී තමන්ට නිතර දන් පිළිගැන්වූ උපාසිකාවකට, ‘සුවපත් වේවා, දුකින් මිදේවා.’ යන වාක්‍ය දෙකේ අර්ථ විස්තර කරමින් ධර්ම දේශනා කොට ඈ සෝවාන් ඵලයට පත් කළ බව සඳහන් වේ.

මෙම මලියදේව මහ රහතන් වහන්සේ ලෝවාමහා ප්‍රාසාදයේ පහළ මහලේ දී ඡක්ක සූත්‍රය දේශනා කළ බවත්, එය අසා භික්ෂූන් හැට නමක් රහත් වූ බවත් අටුවාවේ සඳහන් වේ. මජ්ක්‍ධිම නිකාය අට්ඨකතාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සූත්‍රය මලියදේව තෙරුන් ස්ථාන හැටක දී දේශනා කළ බවත් ඒ සියලු ස්ථානවලදී හැට නම බැගින් රහත් වූ බවත් ය. මෙලෙස එදා ඇසළ පුන් පොහෝ දා මිගදායෙන් විහිදුණු ධර්මා ලෝකය ගම්නියම්ගම් හා දේශදේශාන්තර පසුකරමින් විශ්ව ව්‍යාප්තව පැතිරී අද වන විට එයින් භවාන්ධකාරය නසා ලූ සත්ව වර්ගයා අපමණ ය. අපි ද මේ උතුම් ඇසළ පුන් පොහෝ දා ඒ ධර්මාලෝකයෙන් අනවරත මේ සංසාර ගමන ආලෝකවත් කරගන්නට අදිටන් කරගනිමු.