Print this Article


වස් සාමාදන්වීමේ පුණ්‍ය මහෝත්සවය

වස් සාමාදන්වීමේ පුණ්‍ය මහෝත්සවය

මල්වතු - අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්හි වස් සමාදානය

වස් සමාදන්වන භික්‍ෂූන් වහන්සේ උදෙසා මෙම ජූලි මස 23 වන දින සෞඛ්‍ය නිරෝධායන නීතිරීති වලට අනුගතව හා (පොහොය සීමාවන් හි පවතින ඉඩ ප්‍රමාණවත් නොවන්නේ නම් කොටස් දෙකකට හෝ සුදුසු පරිදි සූදානම් කොටගෙන) විනයානුකූලව පොහොය විනය කර්මය සිදු කොට 24 වන දින පෙරවස් එළඹීම සිදු කළයුතු බව මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්‍හ මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා ශාසන ගෞරවයෙන් යුතුව දැනුම් දෙති.

****

පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පින්කම සමඟින් දින සියයක අසිරිමත් පින්කම් මාලාව ඇසළ පුර පසළොස්වක පෝදා ආරම්භ වේ. මෙදින පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව උදෑසන 6.00 ට ශීල භාවනා වැඩසටහන ආරම්භ වේ. මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, කහපල නන්දරතන, ගල්නෑවේ සුගතවිහාරී යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වේ. සවස 6.00 ට වස් ආරාධනා පින්කම නිවුන්ගම පදිංචි ජයලත් මහතා සහ මැතිණියගේ ප්‍රධාන දායකත්වයෙන් අනතුරුව දින සියයක අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජා පින්කම් මාලාව ආරම්භ වේ. ඊට සමගාමීව දිනපතා රතන සූත්‍ර දේශනාව පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව සංවිධානය කරයි.

****

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

වස් සමාදන් වීම හා පවාරණය විනය කර්ම

ඇසළ පුර පසළොස්වක පොහොය දින (ගිම්හාන සෘතුවේ අටවෙනි පොහොය) උපෝසථ විනය කර්මය කොට පසු දින එනම් ජුලි 24 සෙනසුරාදා දින පෙරවස් එළඹිය යුතු බවත්, ඔක්තෝම්බර් මස 20 බදාදා දිනට යෙදෙන වප් පුර පසළොස්වක පොහොය දින පෙර වස් පවාරණය කළ යුතු බවත් ශාසනාලයෙන් මෙයින් දන්වා සිටිම්හ.

යම් කරුණකින් පෙර වස් එළඹීමට නොහැකි වුවහොත් අගෝස්තු 22 ඉරිදා දිනට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොය දින උපෝසථ කර්මය කොට පසු දින අගෝස්තු 23 සඳුදා දින පසු වස් එළඹිය යුතු බවත්, නොවැම්බර් 18 ඉල් පොහොය දින පසු වස් පවාරණය කළ යුතු බවත් දන්වා සිටිම්හ. ඔක්.21 දින සිට නොවැ. 18 දින දක්වා කඨින පින්කම් පැවැත්විය හැකි චීවර මාසය බව ද වැඩිදුරටත් සිහිපත් කරම්හ.

****

තල්පිටිය ශ්‍රී මුදලින්දාරාම විහාරය

වාද්දූව තල්පිටිය ශ්‍රී මුදලින්දාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම පැවැත්වී සඳහා වස් ආරාධනා කිරීමේ පින්කම මෙම මස 23 ඇසළ පුන් පෝදා පෙරවරු 9.00 විහාරාධිපති රයිගම් කෝරලය පානදුර තොටමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථ ධර්ම මන්දිරියේ දී පැවැත්වේ.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදුව, රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ 2021 වසරේ වස් ආරාධනා කිරීමේ පින්කම විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිගේ මෙහෙයවීමෙන් හා උපදෙස් පරිදි විහාරස්ථ දායක සභාව මඟින් පුන් පොහොය දින පස්වරු 5.00 ට විහාරස්ථානයේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම වසරේ වස් සමාදන්ව වැඩවසන ලෙස ආරාධනා කිරීමේ ප්‍රධාන දායකත්වය රද්දොළුව ලාහුවල පදිංචි පී චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහත්මා සහ කේ.එම්. පද්මිණි චන්ද්‍රලතා මහත්මිය ඇතුලු පවුලේ දූ දරු පිරිසගේ සහභාගීත්වයෙනි.