Print this Article


දරුවන්ගේ විවේකය හැකි සෑම අවස්ථාවකම අර්ථාන්විත විය යුතුයි

දරුවන්ගේ විවේකය හැකි සෑම අවස්ථාවකම අර්ථාන්විත විය යුතුයි

කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ

රටක අනාගතය ළමා පරපුර ය. හොඳම දෙය ළමයින්ට දිය යුතු වන්නේ එහෙයිනි. පාසල් අධ්‍යාපනය එහිදී සුවිශේෂී ය. වත්මන් හි කෝව්ඩ් 19 වසංගත තත්ත්වය නිසා දරුවන්ට පාසල් අධ්‍යාපනය වෙනුවට මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමට සිදුව තිබේ. කවර විකල්පයක් හමුවේ වුව ද දරුවන් යහපත තුළ මිස අයහපත තුළ නොරැඳිය යුතු ය. මේ, ඒ පිළිබඳ කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ ගුරු මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි

කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ අපේ පාසල් දරුවන් මුහුණ දී සිටින්නේ කිසිවකු බලාපොරොත්තු නොවූ අභියෝගයකටයි. ඊට සාර්ථකව මුහුණ දෙමින් අනාගත ඉලක්ක වෙත ගමන් කිරීමට ඔවුන් මෙහෙයවීමෙහි ලා ගුරු මවක් ලෙස මව්පියන්ගේ කාර්ය භාරය දකින්නේ කෙසේද?

ලාබ - අලාබ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යන මේ අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවීම ලෝක ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස අප කළ යුතු ඒ ධර්මතාවන්ට නොසැලී මුහුණ දීමයි. මේ අවස්ථාවේ සමස්තයක් ලෙස මුළු ලෝකයම නොසිතූ විරූ දුකකට, අලාබයකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ටත් ඒ අභියෝගය එලෙසමයි. මෙහිදී ඔවුන්ගේ පෙර ගමන්කරුවන්ට පැවරෙන කාර්යභාරය සුවිශේෂීයි.

මව්පියන් විසින් තම දරුවන් කුඩා කාලයේ සිටම ශක්තිමත් ව හා නිදහස්ව තම කටයුතු කිරීමට හැකි ලෙස සංවර්ධනය කරගත යුතු යි. ඒ ඒ වයසට උචිත ලෙස තීරණ ගැනීමට අවස්ථාව ලබා දී තීරණ ගැනීමට පුරුදු පුහුණු කළ යුතු යි. එවිට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට දරුවන් තුළ ශක්තියක් ඇතිවනවා.

විශේෂයෙන් නිවෙසතුළ ආගමානුකූල පරිසරය දරුවාගේ මනස යහපත් පැත්තට යොමු කරනවා. එවිට පසුබැසීම් හා වැරැදි ආකල්පයන්ට, අයහපත් ක්‍රියාකාරකම් හා අනිසි අත්හදා බැලීම්වලට යොමුවීමේ ඉඩකඩ දරුවා තුළින් ගිලිහී යනවා. එය අනාගත ජයග්‍රහණ සඳහා සුවිශේෂී බලපෑමක් ඇති කරනවා.

ළමා කාලය සැහැල්ලුවෙන්, නිදහසේ විඳින්නට අවස්ථාව ලබා දිය යුතු බවට නිරන්තරයෙන් කතා බහට ලක්වෙනවා. සම වයස් මිතුරු මිතුරියන් සමඟ ගැවසෙන්නට කෙළි සෙල්ලම් කරන්නට බාධා වී ඇති මෙවැනි අවස්ථාවක ළමා කාලය අර්ථාන්විත කිරීමට කළ හැකි දෙය කුමක්ද?

පවුල කියන්නේ ඉතාම හොඳ බැඳීමක් පවත්වා ගත යුතු ඒකකයක්. අප කුඩා කල පවුලේ සාමාජික සංඛ්‍යාව බොහෝවිට අටක්, දහයක් පමණ වූවා. ඒ තුළ පිරිසක් සමඟ සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව, සතුට, විනෝදය, ලැබුණා වගේම ප්‍රශ්නවලට මුහුණදීමට, බෙදා හදා ගැනීමට, ඔවුනොවුන්ට ගරු කිරීමට, එකිනෙකා පිළිබඳව සංවේදී වන්නට, දුක සැප බෙදා ගන්නට පවුල තුළින්ම හුරු පුරුදු වුණා.

වර්තමානයේ පවුලේ සාමාජික සංඛ්‍යාව සාමාන්‍යයෙන් තුන් හතර දෙනකුට සීමා වී තිබෙනවා .එහෙත් පවුල තුළ ගොඩනඟාගෙන තිබෙන යහපත් සබඳතාවය මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක දී අත්‍යවශ්‍ය යි.

සමවයස් කණ්ඩායම් ඇසුරු කිරීම සමාජානුයෝජනයේ දී ඉතා වැදගත්. ඒ නිසා මේ අවස්ථාවේ දරුවන් හා මව්පියන් නිරතුරුවම සතුටින් කටයුතු කිරීම, ඔවුනොවුන් අතර නිරන්තර සන්නිවේදනය තබා ගැනීම තුළ ඒ අඩුව යම්තාක් දුරකට හෝ සපුරාගත යුතුයි. එයට දුප්පත් පොහොසත් බේදයක් බලපාන්නේ නෑ. ආදරය, සෙනෙහස, කරුණාව, දයාව තුළ බොහෝ දේ වෙනස් කළ යුතු බව මව්පියන් නිතර මතකයේ තබාගත යුතුයි. දරුවා තේරුම් ගැනීම, මෙහිදී ඉතාම වැදගත්.

දීර්ඝ කාලයක් නිවෙස්තුළම රැඳී සිටීමට සිදුවීම නිසා ඇතැම් පාසල් දරුවන් මානසික පීඩාවන්ට ලක්ව ඇති බව පැවසෙනවා. මෙවැනි තත්ත්වයන් අවම කර සැහැල්ලු මනසක් ඇති කර ගැනීමට උපකාරී වන්නේ කෙසේද?

දරුවන්ගේ විවේකය හැකි සෑම අවස්ථාවක ම අර්ථාන්විත ව යොදා ගැනීමට හුරු කළ යුතුයි. දරුවන් තුළ රසාස්වාදය දියුණු කිරීම ඉතා වැදගත්. හොඳ ගීතයක් අහන්නට, කවියක් ලියන්නට, සිතුවමක් අඳින්නට දරුවා යොමු කළ යුතුයි. ජන සංගීතය, ඡායාරූපකරණය තුළින් දරුවන්ට අපූර්ව වින්දනයක් ලැබෙනවා.

ගහට කොළට සතා සිව්පාවාට ආදරය කරන්න, මලක සුන්දරත්වය විඳින්න, කුරුල්ලකුගේ ගීතවත් හඬට සවන් දෙන්න දරුවාට පුරුදු කළ යුතු යි. මෙවැනි සංවේදී හා සෞන්දර්යාත්මක පසුබිමක මානසික පීඩාවට ලක්වීමක් සිදු වන්නේ නෑ.

ඒත් අද අපේ ඇතැම් දරුවන් පරිගණකයට හෝ ජංගම දුරකථනයට යොමුවීම තුළ අහිතකර පරිගණක ක්‍රීඩා වැනි අයහපත් ඇබ්බැහිකම්වලට යොමු වී සිටිනවා. ඒ වගේම ඇතැම් මව්පියන් දරුවන්ගේ කාලය විෂයය නිර්දේශ සම්පූර්ණ කරවීමට මෙහෙයවනවා. බොහෝවිට මානසික පීඩාවන්ට ලක්වන්නේ මෙවැනි දරුවන්. එමෙන්ම මව්පියන්ගේ ආදරය, කරුණාව, නිසි පරිදි නොලැබෙන දරුවන්.

පාසල් අධ්‍යාපනයට විකල්පයක් ලෙස මාර්ගගත අධ්‍යාපනය ඵලදායක ද?

මාර්ගත අධ්‍යාපනය හොඳ විකල්පයක් මිස වඩා ඵලදායී ඉගැන්වීම්, ඉගෙනීම් ක්‍රමවේදයක් නොවේ. එහෙත් මේ වෙලාවේ අන්තර්ජාලය නොතිබුණා නම් මොකද වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ කළ යුතු ඒ තිබෙන සම්පතින් දරුවන්ට උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු සලසා දීමයි.

මාර්ගගත අධ්‍යාපනයේ දී සන්නිවේදන උපකරණ භාවිතය පිළිබඳ දරුවන් දැනුම්වත් කළ යුතු ආකාරය කෙබඳුද?

සන්නිවේදන උපකරණ භාවිතය පිළිබඳ දරුවන්ට අපට වඩා දැනුම තිබෙනවා. එහෙත් අන්තර්ජාලය සමඟ එම උපකරණ හැසිරවීමේ හුරුව, මනා අධීක්ෂණයකින් යුතුව ලබාදිය යුතුයි. විශේෂයෙන් මව්පියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු යි.

දරුවන් යම් යම් දේ පිළිබඳ කුතුහලයෙන් පසුවනවා. අන්තර්ජාල පරිහරණයේ දී ළමා මනසට අගෝචර දෙයින් දරුවන් වළක්වා ගැනීමේ වැදගත්කම ගැන වර්තමානයේ කතිකාවක් ඇතිවී තිබෙනවා නේද?

ඔව්. ඕනෑම දරුවකුට විවිධ විදිහේ අගෝචර අත්දැකීම් ලැබීමට හැකි සමාජයක් තිබෙන්නේ. ජීවිතයේ පදනම වන්නේ ළමා හා තරුණ කාලය බව හැම දෙනාම දැන ගන්නට ඕනෑ. වැරදුණොත් මුළු ජීවිතයම විඳවීමට සිදුවෙනවා.

දැන් බලන්න නිවසක අත්තිවාරම නිසි අමුද්‍රව්‍ය යොදාගනිමින් නිවැරැදි ක්‍රමවේදයට අනුව සැකසුවේ නැතහොත් ඒ පාදමට නිවෙසෙහි බර දරා ගන්නට ශක්තියක් නෑ. අතරමගදී කඩා වැටෙනවා. ඒවගේ නිසි කල ළමා මනසට ගෝචර විය යුතු දේ නොලැබ අගෝචර දේ ලැබුණොත් සිදු වන්නේ ඒ දරුවාගේ අනාගත ජීවිතයම කඩාවැටීමයි.

ඒ නිසා මව්පිය දූ දරු සබඳතාවය වඩාත් හොඳින් ශක්තිමත් කර ගනිමින් දරුවන්ට ලැබිය යුතු දේ පමණක් ලබා දෙන්නට වග බලා ගත යුතුයි. යහපත් පුරවැසියෙක් සමාජයට දායාද කරන්නට හැකි වන්නේත්, තම දරුවාගේ හෙට දවස ගැන සිතා සතුටුවන්නට හැකි වන්නේත් එවිටයි.