Print this Article


කර පිට දී ම රහත් වෙයි

කර පිට දී ම රහත් වෙයි

අතීතයේ ලක්දිව චීවර ගුම්බකවාසී මහා තිස්ස නම් තෙරනමක් විසුයේ ය.

උන්වහන්සේ දුර්භික්ෂ සමයක දීර්ඝ මාර්ගයක වඩින්නේ පිඬු පිණිස එක් ගමකට පිවිසි සේක.

මුළු ගමේ ම පිඬුසිගා වැඩිය නමුත් භික්ෂාවක් නො ලැබිණි. ගමනින් අතිශයින් ම විඩාවට පත් වූහ.

උන්වහන්සේ වඩින මඟ අයිනේ සිහිල් සෙවණ ඇති සුහුඹුල් අඹ ගසක් හමු විය. එහි අඹ ඉදී තිබුණේ ය. ඉදුණු ගෙඩි බිම ද පතිත වී තිබිණි. නො පිළිගන්වා වැළඳීම ඇවතක් බැවින් එසේ වැළඳීමට ද අදහස් නො කළහ. එසේ සිතා ගස යට දිගා වූයේ ය.

මේ අවස්ථාවේ ඒ මඟ ම ගමන් කළ මගියෙක් ද එහි පැමිණියේ ය. ඒ හිමියන් ගේ ස්වරූපය දැක ගමන් විඩාවෙන් ක්ලාන්ත වී වැතිරි සිටින බව මගියා තේරුම් ගත්තේ ය. සැදැහැති උවසුවා හොඳීන් ඉදුණු අඹගෙඩි කීපයක් ගෙන පානය කළහ. ටික වේලාවක් ගත විය.

අනතුරුව උපාසකතුමා “ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කොහි වඩින සේක් දැයි” විචාළේ ය.

“උපාසකතුමනි, මම අසවල් ප්‍රදේශයට යන්නෙමි” යි කීහ.

“ස්වාමිනි, මා යන්නේ ද ඒ ප්‍රදේශයට යයි” කීයේ ය.

“උවසුවාණෙනි, මට පයින් ඇවිද ගෙන යා නොහැකියි. එසේනම් ඔබ යන්න. පසුව එන්නෙමි”යි කී සේක.

උන්වහන්සේ ගේ තත්ත්වය ගැන සිතා කාරුණික වූ උවසුවා හිමියන් කර තබාගෙන පිටත් විය. ටික දුරක් මෙසේ ගිය හිමියන්ට සිහිය ලැබුණේ ය.

මිනිසා ගේ කරපිට සිටිය දීම උන්වහන්සේ තමාට මෙසේ අවවාද කර ගත්තේ ය. “තිස්ස මේ තාගේ පියා ද නොවේ. මව ද නොවේ. වෙන නෑයෙක් ද නොවේ. සිල්වත් බව නිසා මෙකී බැරෑරුම් කාර්යයක් කරයි. ”උන්වහන්සේ උවසුවා ගේ කරපිට යන ගමන්ම විදසුන් වඩා රහත් වූහ. (විසුද්ධි මාර්ගය)

(අටුවා රසකතා ග්‍රන්ථයෙනි)