Print this Article


සම්බුද්ධ ශාසනයට දක්ෂ පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමට ලැබීම සතුටක්

සම්බුද්ධ ශාසනයට දක්ෂ පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමට ලැබීම සතුටක්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දකුණු පළාතේ මාතර දිසාවේ මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්දර දෙණියාය ශී‍්‍ර පුෂ්පාරාම මාර/ධර්මද්වජ පිරිවෙන් මහා විහාරාධිපති සද්ධර්මකීර්තී ශී‍්‍ර පියරතනාභිධාන ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පාතවිට පඤ්ඤානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, කෙළිදෙළෙන් ගතකරන ළමා වියේදීම පුංචි සිත පැවිදිවීම කෙරෙහි ඇලුම් කිරීමට හේතුවුණ කාරණා මොනවද?

දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයේ මොරවක් කෝරළයේ බෙරළපනාතර පාතෝවිට කියන බොහොම සුන්දර ගැමි පරිසරයක 1946 වර්ෂයේ ජනවාරි 25 වන දින වනිගසේකර වෙල්ලප්පුලිගේ නන්දසේන කියන ගිහි නාමයෙන් උප්පත්තිය ලැබුවා.මගේ පවුලේ මා ඇතුළුව දරුවන් 6 ක් සිටියා. මම තුන්වැනි දරුවායි. වනිගසේකර වෙල්ලප්පුලිගේ ලුවිස් අප්පුහාමි , හතරසිංහගේ බේබිහාමි යන දම්පතීන් දෙදෙනා ආගමික හැදියාවෙන්, තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවෙන්, ශික්ෂණයෙන් හා යහපත් ගති පැවතුම්වලින් අගතැන්පත් ආදරණීය මව්පිය දෙපළක් වූ බව ප්‍රකාශ කළ යුතුයි. ඒ මව්පියන් දෙපළ මහා විහාරස්ථාන මූලික කාරක දායක පවුලක් වුණ නිසාම නිතරම විහාරස්ථානය ඇසුරු කළා. කුඩා දරුවකු වශයෙන් මමත් ඔවුන් අනුගමනය කරමින් මහා සංඝරත්නය ඇසුරුකරමින්, දන්පහන් පූජා කරමින්, නිතරම විහාරස්ථානය වෙත යමින් එමින්, දහම් පාසල් අධ්‍යාපනය ලබමින් හාමුදුරුවන් වහන්සේලා සමඟ ඉතාම ආදරයෙන්, කරුණාවෙන්, අසීමිත දයාවෙන් කටයුතු කළ නිසාම නිරායාසයෙන් ම පැවිදිවීමට ලොකු ආසාවක් ඇතිවුණා.

ඒ අනුව මව්පිය ආශිර්වාදය ඇතිව බෙරළපනාතර ශී‍්‍ර සුදර්ශන මහා විහාරාධිපති මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්ලව ජිනරතනාභිධාන නායක හාමුදුරුවන් වහන්සේගේත්, දෙණියාය ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී බටාඳුරේ ශී‍්‍ර ධර්මාලෝකාභිධාන නායක මා හිමිපාණන් වහන්සේගේත්,බෙරළපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරාධිති සාහිත්‍යාචාර්ය විල්පිට ගුණරතන හිමිපාණන් වහන්සේගේත් ආචාර්ය උපාධ්‍යායත්වයෙන්1959 වර්ෂයේ පෙබරවාරි 19 වන දින පාතවිට පඤ්ඤානන්ද යන උත්තරීතර ශාසනික නාමයෙන් සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන්නට සංසාරගත පුණ්‍ය ශක්තිය බලවත් වුණා.

ඔබ වහන්සේ පාරිවේණික අධ්‍යාපනයත්, උසස් අධ්‍යාපනයත් ලබාගත් අවධිය සිහිපත් කරනවා නම් හාමුදුරුවනේ,

භික්ෂුත්වය පිළිබඳ ලැදියාවෙන්,ශ්‍රමණ සාරුප්‍යයට ගැලපෙන පරිදි ප්‍රත්‍යාවේක්ෂ, සේඛියා සියල්ලම අධ්‍යයනය කරමින් ආචාර්යන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මැද පැවිදි ජීවිතය ආලෝකමත් කර ගැනීමට ශක්තිමත් පසුබිමක් ගොඩනඟා ගත්තා. අනතුරුව දෙණියාය ශී‍්‍ර පුෂ්පාරාම මහ විහාරස්ථ ධර්මද්වජ පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාග වගේම සාමාන්‍යපෙළ විභාගයත්, උසස් පෙළ විභාගයත් සමත් ව1968 වර්ෂයේ දී විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි අවධියේදී ම විසි වයස් සම්පූර්ණ වූ නිසා ගුරු දේවයන් වහන්සේලාගේ උපදෙස් මත මල්වතු උභය විහාරාධිපති අමුණුගම ශී‍්‍ර රාජගුරු විපස්ස්‍යාභිධාන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ,මල්වතුමහා විහාරවාසී කර්මාචාර්ය කුලුගම්මන ශී‍්‍ර ධම්මදස්ස්‍යා භිධාන මා හිමිපාණන් වහන්සේගේ කර්මාචාර්යත්වයෙන් බෙරළපනාතර ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති දෙල්ලව ශ්‍රී‍ පියරතනාභිධාන මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ නාහිමිපාණන් වහන්සේගේත්, දෙණියාය ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරාධිපති ධර්මද්වජ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී බටාඳුරේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේත්, බෙරළපනාතර සුදර්ශානාරාමාධිපති සාහිත්‍යාචාර්ය විල්පිට ගුණරතන මාහිමිපාණන් වහන්සේගේත් ආචාර්යත්වයෙන් 1966 ජූනි මස 30 දින මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාර සීමාමාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටවූබවත් සිහිපත් කළ යුතුයි.

උපසම්පදා පුණ්‍ය කර්මයෙන් පසුව නැවතත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවෙලා 1973 වර්ෂයේ දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

විනීත විශාරද බහුශ්‍රැත ධර්මානුධර්ම පටිපන්න උදාර ගුණාංගයන්ගෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඔබවහන්සේ දකුණු පළාතේ මාතර දිසාවේ මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් සිදුකළ ආගමික , සාමාජික,ශාසනික,අධ්‍යාපනික සේවය සිහිපත් කරන්නේ කුමන ආකාරයෙන් ද? හාමුදුරුවනේ.

දෙණියාය ධර්මද්වජ පරිවේණාධිපති , බටාඳුරේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම නිසා 1974 වර්ෂයේ දී පරිවේණාධිපති ධූරයට පත්වෙලා පිරිවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේම 1976 වර්ෂයේ සිට හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මිද්දෙණිය, කුඩාගොඩ විද්‍යාලයේ දරු දැරියන්ගේ නැණ නුවණ පාදමින් , කුඩාගොඩ විහාරස්ථානයේ ආගමික ශාසනික කටයුතු සිදුකරමින් විහාරාධිපති හිමියන්ට පහසුවක් ඇතිවන ආකාරයට කටයුතු කළා. එම දුෂ්කර ප්‍රදේශවල දුප්පත් අහිංසක දරුවන්ගේ නැණ නුවණ වර්ධනය කිරීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරිමට සිදුවුණා. කාලයක් ගත වන විට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට මාරුවක් ලැබුණා. 1984 වර්ෂයේ සිට 1987 වර්ෂය දක්වා සේවය කරමින් සිටි කාලයේ 1987 වර්ෂයේ දෙණියාය ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරාධිපති ,ධර්මද්වජ පරිවේණාධිපති,බටාඳුරේ ශී‍්‍ර ධර්මාලෝකාභිධාන මොරවක් කෝරළයේ අධිකරණ සංඝනායක මා හිමිපාණන් වහන්සේ අපවත්වීම නිසා නැවත දෙණියාය ප්‍රදේශයට වැඩමකරමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වෙමින් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළා. එම විහාරස්ථානයේ සමිති සමාගම් ආරම්භ කරමින් ,අනුශාසකත්වය ලබාදෙමින් ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා ශී‍්‍ර ධම්මරතන දහම් පාසල ක්‍රමවත් ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කළා. එම කාලයේදී නැවත දෙනියාය රාජපක්ෂ විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන 1994 වර්ෂය දක්වා විශිෂ්ට අධ්‍යාපන සේවයක් සිදුකළා. 1994 වර්ෂයේ සිට නැවත 1998 වර්ෂය දක්වා ධර්මද්වජ පරිවේණාධිපති වශයෙන් විශාල ශාසනික සේවය ඉෂ්ටසිද්ධ කළා. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතාමත් දක්ෂ පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහිකිරීමට ලැබීම ඉතාමත් සතුටු වන කාරණාවක්. උන්වහන්සේලා ඉතාමත් දක්ෂ ලෙස ආගමික ශාසනික සාමාජික මෙහෙවරක යෙදෙමින් විශාල සමාජ කාර්යභාරයක් ඉටුකරනවා.

මම විසින් සිදුකරන්නට යෙදුන ආගමික,ජාතික, සාමාජික සේවයට උපහාරයක් වශයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක ,මල්වතු උභය විහාරාධිපති ශී‍්‍රමත් රඹුක්වැල්ලේ ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මොරවක් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට පත් කළා.

නායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.