Print this Article


සාංඝික දානයක දී ඔබගේ සිත වරදවා මෙහෙයවනවා ද?

සාංඝික දානයක දී ඔබගේ සිත වරදවා මෙහෙයවනවා ද?

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්ඛිණ විභංග සූත්‍ර දේශනාවේ දී වදාරන්නේ ආනන්දය, අනාගත කාලයෙහි නාම මාත්‍ර ශ්‍රමණ වූ, දුශ්ශීල වූ පාපකර්ම ඇති, කාසවකණ්ඨක කෙනෙක් මේ සාසනයේ වෙති. (කහ රෙදි පටියක් බෙල්ලේ හෝ අතේ බැඳ තමා භික්ෂුක් බව සමාජයට හඟවන තැනැත්තන්)

(ක්‍රි.ව. 1505 සිට 1948 දක්වා අවුරුදු 443 ක් අපේ රට යටත් කරගෙන සිටි පෘතුගීසි ලන්දේසී හා ඉංග්‍රීසි යන විදේශිකයන් අතර විශේෂයෙන් ඉංග්‍රීසීහු විසින් බුද්ධාගම ඇදහීමට පවා තහංචි පැන වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර යුගය වනවිට උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමක් මුළු රටෙන් ම සොයා ගැනීමට නො හැකි විය. මෙකල කාසාවකණ්ඨකයින් අපේ රටේ ද සිටි බවට මෑත කාලීන සාසන වංශ කතාවන්හි සටහන් ව ඇත)

ඒ දුශ්ශීලයන් කෙරෙහි වුවත් සංඝයා උදෙසා යැයි දන් දෙන්නෝ අනාගතයේ වෙති. ආනන්ද මම එකල්හිත් (එම) සංඝගත දක්ෂිණාව ගණනකින් කිව නො හැකි (අසංඛෙය්‍ය) ප්‍රමාණයක් නැති (අප්‍රමේය) ආනිසංස ඇති සාංඝික දානයක් බව කියමි.

ආනන්ද, මම කවර අයුරකින් වුව ද සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය උතුම් යයි (මහත්ඵලය යි) නො කියමි.

මේ අනුව එදා මහා ප්‍රජාපතී ගෝතමීය භාග්‍යවතුන් වහන්සේට දෙන්නට උත්සාහ කළේ පෞද්ගලික දානයකි. තුන් ලොවට අග්‍ර සෘද්ධි බල ඇති බුදුරදුන් බව දැන - ඤාතීත්වය තීරණය ‍කොට - පුළුන් රොදේ පටන් නූල් ගොතා නිමා කළ වස්ත්‍රය දක්වා අසවලා වෙනුවන් - අසවලා උදෙසා - අසවලාට පූජා කරමි යි තීන්දු කරගෙන අවසානයේ ඔබ වහන්සේ වෙනුවෙන් ම යනුවෙන් වචනයෙන් පවා කියමින් දැරූ සියලු උත්සාහයන් මෙහිදී පෞද්ගලික බව පසුව කළ සාංඝික දාන විස්තරයෙන් පැහැදිලි වේ.

එහිදී මනුෂ්‍යය වර්ගයාට ම අනුකම්පා ඇති - රටක් ජාතියක් ආගමක් විශේෂ කොට නො සලකමින් සමස්ත ලෝකයට හා විශ්වයට ම මහා කරුණා ඇති අප තථාගතයන් වහන්සේ ගෞතමියට තෙවරක් ම එසේ අනුශාසනා කළේ එතෙක් ශ්‍රමය වැය කොට සකස් කළ දාන වස්තුවට සංඛය්‍ය (ගණනින් දැක්විව නො හැකි) ප්‍රමාණයෙන් හා මෙපමණ යයි උපමාවකදු නොදැක් විය හැකි අපමණ පින් කන්දරාවක් අත්කරදීමට නො වේ ද?

එහෙයින් පින්වත්නි, ත්‍රිපිටකයේ බුද්ධවචන මෙතරම් පැහැදිලිව, මනාව දේශනා කර තිබිය දී අපිදු ගෙදරට වඩම්වා හෝ පන්සලේ දී හෝ දෙන සාංඝික දානයකට දායකත්වයක් ලබාදීමේ දී කෙතරම් තමාගේ සිත වරදවා මෙහෙයවනවා ද යන්න සිතීමට මෙය හොඳ තැනකි.

පන්සලේ ලොකු හාමුදුරුවෝ නො වැඩියොත්, අප හොඳීන් දන්නා හාමුදුරුවෝ පැමිණියේ නැතිනම්, අප පෞද්ගලික දන්නා, නොමනා හැසිරීම් ඇති ස්වාමීන් වහන්සේ නමක් දානයට සිටියොත්, සාමණේර පුංචි හාමුදුරුවන් සමුහයක් දානයට වැඩයොත් මේ බත මේ ව්‍යංජනය, මේ පිරිකර අසුවල් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ම කියා වෙන් කොට සිතා තම සිත සකස් කර ගත හොත් මහා මේරු පර්වතය තරම් උසට රැස්කර ගත හැකි සාංඝික දාන පින් කන්දරාව පෞද්ගලික දානයක් කරගෙන ස්වල්පයක් තරම් කර ගන්නවා නො වේ ද?

දැනුදු දානයකට වැඩ සිටින උතුම් මහා සඟරුවන දානයක් සාංඝික කිරීමේ දී ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම යනුවෙන් තුන් වරක් කියා අනතුරුව පින් දීමේ දී මේ දානයේ අග්‍ර කොටස ශාන්ති නායක ලොවුතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පළමුවෙන් පූජා කොට, සාරිපුත්ත - මොග්ගල්ලාන පරපුරෙන් පැවැත එන ඒ අතීතයෙහි වැඩ හිටි උතුමන් ද වර්තමානයෙහි මෙහි වැඩ සිටින මහා සංඝයා වහන්සේ හා අනාගතයෙහි මේ නිවන් ප්‍රතිපදාවෙහි හැසිරෙන යම් භික්ෂුවක් වෙත් ද ඒ සියල්ල වෙනුවෙන් පූජා කරන සංඝගත දක්ෂිණාවක් සේ සලකා පින් රැස් කර ගන්න යැයි අපට අනුශාසනා කරන්නේ ම ය.

ඒවෙලෙහි අපට ඇති සියලු වැඩ පසෙක ලා ඒ කළ අනුශාසනාව මැනවින් අසා වටහා ගත්තේ නම්, එහි අන්තර්ගතය වන්නේ අප දෙන දානය පෞද්ගලික දානයක් කර නොගෙන මහත්ඵල මහානිසංස ලැබෙන සංඝගත දක්ෂිණාවක් කර ගන්නා ලෙස නො වේ ද?

දක්ඛිණ විභංග සූත්‍ර අටුවාවේ මේ කාසාවකණ්ඨ සංඝයාට වුව ද බුද්ධ ශ්‍රාවකයකු සේ සලකා දන් දීම හා සාමණේර නමකට දන්දීම ගැන පැහැදිලි කරන තැනක් වේ.

කාසාවක කණ්ඨයන්ට වුව ද සැරියුත් පරපුරෙන් එන භික්ෂු සංඝයා උදෙසා දෙන දක්ෂිණාවක් ලෙසින් සලකා දානය දුනහොත් ගුණ සංඛ්‍යාවෙන් අසංඛ්‍යෙය වන බව එහි දක්වා ඇත.

භික්ෂු සංඝගත දක්ෂිණාවක් වූ එය අතීත, වර්තමාන, අනාගත, අරහත් සංඝයා කෙරෙහි ගෞරව පිණිස ම දෙන්නක් මිස එවන් පුද්ගලයකු උදෙසා දෙන්නක් නොවන හෙයිනි.

කාසාවකණ්ඨක කෙනෙක් හට දෙන දානය කවරෙක් පිරිසුදු කෙරේ ද? සැරියුත් මුගලන් ආදී අසූ මහා ශ්‍රාවක තෙරහු කෙරෙහි ම පිරිසුදු කෙරෙති. මේ වන විට ඒ අරහත් උත්තමයෝ පිරිනිවී ‍බොහෝ කල් යයි සිතට එති. එසේ වූ විට පිරිසුදු වන්නේ කෙසේද? ඒ සැරියුත් - මුගලන් දෙනම වහන්සේගෙන් ආරම්භව අද දක්වා වැඩ ඉන්න රහත්හු ම මේ දානය පිරිසුදු කෙරෙති. (මජක්‍ධිම නිකාය පාළි අටුවා දක්ඛිණා විභංග සූත්‍රය පිටුව - 202 - 203)

එනම් අප දෙන සාංඝික දානයක දී මේ වැඩ ඉන්නේ ද රහත්හු ම යි සිත සකස් කර ගත යුතු බව මෙයින් කියැවේ. එසේ සකස් කොට පිහිටුවා ගත් සිතින් අපගේ දානය දුන්නේ නම් බුද්ධ ප්‍රමුඛ සැරියුත් මුගලන් මහ පරපුරට දුන් දානයක් ම වන්නේ ය.