Print this Article


දඹදෙණි යුගයේ අභිමානය කියන දඹදෙණිය විජයසුන්දරාරාම රාජමහා විහාරය

දඹදෙණි යුගයේ අභිමානය කියන දඹදෙණිය විජයසුන්දරාරාම රාජමහා විහාරය

දඹදෙණි රාජධානියේ ශාසනික පුනරුදයේ කේන්ද්‍රස්ථානය වශයෙන් පැවති එම යුගයේ දළදා වහන්සේ වැඩ සිටි සම්භාවනීය විහාරස්ථානය වූ දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරස්ථානය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල කුරුණෑගල මහා මාර්ගයේ දඹදෙණිය නගරයෙන් හැරී ගමන් කිරීමේ දී හමු වෙයි.

කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් අනුරාධපුරයේ කිත්සිරිමෙවන් රජ සමයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ දා පටන් අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ විවිධ ස්ථානවල වැඩ හිඳුවා තැබුව ද එම දළදා මාලිගා මේ වන විට හමුවන්නේ නටබුන් වශයෙනි.


භාරකාර විහාරාධිපති දාහිගමුවේ සුමංගල මාහිමි

එසේ නමුදු දඹදෙණි යුගයේ දළදා මාලිගාව වශයෙන් පැවති මන්දිරය යුගයෙන් යුගයට ප්‍රතිසංස්කරණවලට භාජනය වුව ද තවමත් නටබුන් ව නොතිබීම නිසා ප්‍රකෘතිමත්ව පවතින පැරණි ම දළදා මන්දිරය ලෙස දඹදෙණිය විජයසුන්දරාරාමය හඳුන්වා දිය හැකි ය.

කාලිංඝ මාඝ ආක්‍රමණිකයාගේ ආක්‍රමණ හමුවේ පොළොන්නරු රාජධානිය පරිහානියට පත්වීමත් සමග කොත්මලේ සඟවා තැබූ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ දඹදෙණිය බලකොටුවක් කොට ගනිමින් ප්‍රාදේශීය පාලකයකු වශයෙන් කටයුතු කළ තුන්වැනි විජයබාහු රජතුමා බෙලිගලට වැඩමවීය. දඹදෙණිය විජයසුන්දරාරාමය තැනවීම ද තුන්වැනි විජයබාහු රජුගේ මෙහෙවර අතරට එක් වෙයි.

තුන්වැනි විජයබාහු රජතුමාගේ පුත් වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ගෞරවෝපාධියෙන් සම්මානිත වන දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජ මැදුරට නුදුරින් මනරම් දළදා මැදුරක් තනවා බෙලිගල වැඩසිටි දළදා වහන්සේ වැඩමවා මහත් වූ පුද පූජා පවත්වා සත්‍යක්‍රියා කළ කල්හි දළදා වහන්සේ අහසට පැන නැඟ ජීවමාන බුදුරුවක් මවා බුදුරැස් විහිදුවා ප්‍රාතිහාර්ය පෑ බව පූජාවලියේ සඳහන් වෙයි.

සැදැහැති රජුගේ අධිෂ්ඨානය නිසා දළදා වහන්සේ සිංහල පැය හතහමාරක් රුවන් සක්මන් කොට පෙළහර පාන ලදැයි සැලකේ.

දඹදෙණි අස්න වැනි මූලාශ්‍රගත කරුණු පාදක කර ගනිමින් මෙසේ සඳහන් වන දළදා මන්දිරය විජයසුන්දරාරාම විහාරස්ථානය ලෙස ඉතිහාසඥයින් විසින් නිගමනය කෙරෙයි.

දෙවැනි පැරකුම්බාවන් කරවූ තෙමහල් දළදා මන්දිරය මහනුවර යුගයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස මීගස්තැන්නේ අධිකාරම් විසින් දෙමහල් විහාර මන්දිරයක් ලෙස පිළිසකර කරවීය.

පෞරාණික දළදා මන්දිර ගොඩනැඟිිල්ලට ආසන්නයේ පිහිටි වටදාගෙය ද දඹදෙණි යුගයේ දළදා ප්‍රදර්ශන සඳහා භාවිත කළ ගොඩනැගිල්ලක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙම වටදාගෙය සහිත දාගැබ් වහන්සේ ද මහනුවර යුගයේ පිළිසකර කරවා ඇත. බෝධීන් වහන්සේ, විහාර බිමෙහි දක්නට ලැබුණු සපු ගස දඹදෙණි යුගයේ රෝපිත බව පිළිගැනීමයි. විහාර මලුව සලකුණු කළ ප්‍රාකාරයෙහි නටබුන් බැම්ම සහ නැඟෙනහිර වාහල්කඩ හඳුනා ගත හැකි පරිදි ශේෂ වී පවතී.

දඹදෙණි යුගයේ සිදු වූ සුවිශේෂී ශාසනික සංසිද්ධියක් වශයෙන් සැලකෙන දඹදෙණි කතිකාවතට අනුව තුන්වන විජයබාහු රජ දවස ටීකාචාර්ය ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ තත්කාල ශාසනානුශාසක හෙවත් සංඝරාජ පදවිය හෙබවූ සංඝරක්ෂිත මහාස්වාමි, මේධංකර මාහිමි ඇතුළු ග්‍රාමවාසී හිමිවරුන් ද දිඹුලාගල මේධංකර මාහිමියන් ඇතුළු වනවාසී මාහිමිවරුන් ද විජයසුන්දරාරාමයේ දී කතිකාවතක් සම්පාදනය කරවා ඇත. දෙවන පැරකුම්බා රජ දවස කළ දඹදෙණි කතිකාවත ද විජයසුන්දරාරාමය මුල් කොට සම්මත කළැයි සැලකේ.

බ්‍රාහ්මණවංශික අනෝමදස්සි මාහිමි, මාහින් බණ්ඩාරගේ මුණුපුරු අනුරුද්ධ තෙරුන් වැනි හිමිවරුන් දඹදෙණිය විජයසුන්දරාරාමය හා සබැඳෙයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් දේශයෙන් මෙරටට වැඩි රාජවංශික හිමියන් දඹදෙණියෙහි වැඩ වසන ලදී.

ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමෙන් පසු අස්ගිරි මහා විහාරයෙහි උපසම්පදාව ලත් සඟ පරපුරක් දඹදෙණිය විජයසුන්දරාරාමයෙහි වැඩ විසුව ද කුරුණෑගල, මාතලේ ප්‍රදේශ කේන්ද්‍ර කොට ගනිමින් පැතිරුණු 1848 නිදහස් සටනෙහි දී විහාරස්ථානය සතු පැරණි ලියවිලි සියල්ලම ඉංග්‍රීසීන් විසින් රැගෙන ගියේ යැයි ඉංග්‍රීසි පරිපාලන වාර්තාවල සඳහන් වෙතැයි දඹදෙණි සඟ පරපුර පිළිබඳ පර්යේෂණවල නියුතු පන්නල සුමේධ නාහිමියෝ සඳහන් කරති.

වර්ෂ 1838 සිට යටගම සිද්ධාර්ථ හිමි, කොස්වත්තේ සරණපාල හිමි, මතව මේධංකර හිමි, මතව සුමංගල නාහිමි, කෙම්පිටියේ සරණංකර හිමි, ඇටඹේ සීලරතන නාහිමි, මංගෙදර සිරිරතන නාහිමි සහ නාරංගොඩ සංඝානන්ද නාහිමිවරුන් විහාරාධිපති ධුරයේ ද නාරංගොඩ සිරිනිවාස නාහිමියන් විහාරාධිකාරී ධුරයෙහි කටයුතු කළ අතර අස්ගිරි මහා විහාරයේ කර්මවාගාචාර්ය, විචිත්‍රභාණක, දාහිගමුවේ සුමංගල මාහිමියෝ භාරකාර විහාරාධිපති ධුරයේ කටයුතු කරති.

වනමන්දාව රාජමහා විහාරය, සිරිගල පුරාණ විහාරය, දීකිරිකෑව පුරාණ විහාරය, වේවැල්වල පුරාණ විහාරය, ගල්ගමුව පුරාණ විහාරය, අලව්ව ගොරකාගස්දෙණිය අභිනවාරාමය යන විහාරස්ථානවල මෙම පරපුරේ විහාරස්ථාන වෙති. මීට අතිරේකව ගණේගොඩ පේරුව, මැදගම්ගොඩ, තිරිවාන වත්ත, උදියාවල, පහළ දඹදෙණිය යන දේවාල දඹදෙණිය අවට පිහිටි පෞරාණික දේවාල අතරට සලකනු ලබයි.

සාහිත්‍යය හා ආගමික පුනරුදයෙහි සුවිශේෂී දායකත්වයක් සනිටුහන් කළ දඹදෙණි යුගයෙහි සියලු ආගමික හා ශාස්ත්‍රීය මෙහෙවරෙහි මූලස්ථානය වශයෙන් පැවති ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරය සුවිශේෂී පූජනීය ස්ථානයකි.