Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 39: ගැමුණු කුමරු නපුරු සිහිනයක් දකියි

දුටුගැමුණු මහ රජතුමා - 39

ගැමුණු කුමරු නපුරු සිහිනයක් දකියි

මෙසේ කල්පනා කරමින් ගමන් කළ හිද්දලයා කුඹුරට එන විට ඉර බසිමින් තිබිණි. රන් මැණිකා ඇඹුල ද රැගෙන පැමිණ සිටියාය. දෙදෙනාම එකට කා බී මදක් විවේක ගත්හ. දහවල් කෑමෙන් පසු ටික වෙලාවක් නින්දට වැටීම හිද්දලයාගේ පුරුද්දකි.

හිද්දලයා ගමන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණේය. ඔහුට තමන් අහසේ පාවෙන්නාක් මෙන් දැනුනේ ය. ඔහුගේ දිව එළියට ඇදුණේය. එය ටිකින් ටික දික්විය. තව තවත් දික්විය. එය රට වටේ කැරකී නැවත ටිකෙන් ටික කෙටි වී මුව තුළට ඇදුනේය.

හිද්දලයා බිය වී අවදි විය. එය දුටු රන් මැණිකා ද බියට පත් විය.

“ඇයි හීනෙන් බය වුනාද ?”

“ඔව් නපුරු හීනයක් දැකලා හොඳටම බය වුණා.”

“මොකක්ද හීනය ?”

“රන් මැණිකා, අපොයි ඒක භයානක හීනයක්. ඒ ගැන නම් අහන්න එපා. “

“මම හීනවලට බය නැහැ. අනේ ඒක කියන්න.”

“මගේ දිව එක්වරම එළියට ආවා. ගොඩාක් දික් වුණා. තව තවත් දික් වුණා. රට වටේ කැරකිලා නැවත කෙටි වෙලා

කට ඇතුළට ආවා.”

“ඇත්තටම ඒක විකාර හීනයක්. ඒත් මේ දුටුවේ ඵල දෙන හීනයක්ද, පුස් හීනයක්ද කියලා දැනගන්නට ඕනේ. හවසට මම අප්පච්චිත් එක්ක ගිහිල්ලා ගුරුගෙදර ආචාර්යතුමාගෙන් මේ ගැන හරියටම දැන ගෙන එන්නම්.”

“හීනෙ දැක්කේ මමනේ. ආචාර්යතුමා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ නිසා මම හවස් වෙලා ගිහින් එන්නම්.”

“ඔව් ඒක වඩාත් හොඳයි. දෙදෙනාම කතා කරමින් ගොවි ගෙදර බලා පිටත් වුහ.

මොනවා වුණත් ආචාර්යතුමාට හීනය ගැන කියනවා. ඵලාපල අසාගන්නවා. හොඳ වුණත් නරක වුණත් ඉදිරියට කළ යුතු කාර්යයන් කඩිනම් කරනවා. මෙසේ සිතමින් හිද්දලයා ගුරු ගෙදරට ගියේ ය. එය සිත නිවන පරිසරයක පිහිටා ඇත. ඉදිරියෙන් කුඩා උද්‍යානයක් සහ පොකුණක් ද, පිටුපසින් සරුසාර කුඹුරු යායක්ද විය.

ආචාර්යතුමා ඉගැන්වීම් අවසාන කර විවේක සුවයෙන් සිටියේය. පොතක් කියවමින් සිටි ආචාර්යතුමා ආලින්දයට පැමිණි හිද්දලයා දෙස හිස ඔසවා බැලුවේය.

“ආ මේ අපේ හිද්දලයා ළමයා නොවැ. මේ පාර සුසුල්පිටිය විහාරයේ පින්කම බොහොම ඉහළින් පවත්වන්න සැරසෙනවා කියල ආරංචියි. මමත් මේ පාර සිල් සමාදන් වෙන්නයි ඉන්නේ. “

“ආචාර්යතුමාට ආරාධනා කරන්නට එන්නයි හිතාගෙන හිටියේ. මාත් එක්ක කොත්මලේ තරුණයන් දහසකට වැඩි පිරිසක් එදාට සිල් සමාදන් වෙනවා. අල්ලපු ගම්වලින් පැමිණෙන පිරිසත් ඇතුළුව පන්දහසකට වැඩි පිරිසක් සිල් සමාදන් වීමට එදාට පැමිණෙන බවයි ආරංචිය.”

“බොහොම හොඳයි”, සරු පින්කමක් වේවි.”

“ඉතින් මේ දරුවා අද මේ පැත්තේ ආවේ ඇයි ?”

“ආචාර්යතුමනි, මට හීනයක ඵලාපල දැනගන්නට ඕනි. ඒ නිසයි මෙහි පැමිණියේ.”

“ඉතින් කියන්න දරුවෝ මොකක්ද ඔය හීනය”

“ආචාර්යතුමනි, යම් කිසි කෙනෙකුගේ දිව එළියට ඇදී දික් වී ගොස් රට වටේ කැරකී නැවත කෙටි වෙමින් මුව තුළට යනවා දුටුවොත් මොන විදියේ විපාකයක් ඒ සිහිනය දුටු කෙනාට හිමි වේවිද ?

හීනය අවධානයෙන් අසා සිටි ආචාර්යතුමා කල්පනා කරන්නට විය. පුදුමයෙන් මෙන් හිද්දලයා දෙස බලා සිටියේය.

“මේ හීනය දුටුවේ කවුද?”

“මම “

“කොහෙදීද ?”

“කුඹුරේ පැලේදී “

“වේලාව කීයට විතරද ?”

“ඉර හැරී සුළු වේලාවකට පසුව“

ආචාර්යතුමා යළිත් වරක් හිද්දලයා දෙස විමසිල්ලෙන් බැලීය.

“මේ හීනය ගැන විස්තර කළ ආකාරය නිවැරැදි නම් හීනය දුටු තැනැත්තා තව දින හතකින් තමන්ට හිමි රාජ්‍යයක රජු බවට පත් වෙනවා. අද හීනය දුටු වේලාවටම ඔටුනු පළදීවි. එයින් පසු නොබෝ කලකින්ම මුළු රටේම රජු බවට ස්ථිරව ම පත්වෙනවා.”

කුමාරයා තුළ සතුටක් ඇති විය. තමා බලාපොරොත්තු වන දිනය ළඟාවී ඇති බව අවබෝධ විය. එහෙත් රජකම ලැබෙන්නේ පිය රජතුමාට හදිසි අනතුරක්දැයි බියක් ඇතිවිය.

“ඇයි දරුවා සිහින ප්‍රතිඵලය ඇසීමෙන් නුඹ කනගාටුවට පත් වුණාද ? සිහිනය දැක්කේ නුඹ නොවෙයිද ?”

“සිහිනය දැක්කේ මම තමයි ආචාර්යතුමනි. එහෙත් එම සිහිනයේ ප්‍රතිඵලය දකිනා තුරු මේ ගැන කිසිවකුට නොකියන බවට මට පොරොන්දු වෙන්නට ඕනෑ . “