Print this Article


වැලිවිට අසරණ සරණ සරණංකර හිමියෝ සංඝරාජ ධූරයට පත්වෙති - 04

වැලිවිට අසරණ සරණ සරණංකර හිමියෝ සංඝරාජ ධූරයට පත්වෙති - 04

වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන්ගේ 323 වන ජන්ම සංවත්සරය, 243 වන අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර 268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

මෙම ලිපියේ 3 කොටස පසුගිය පොසොන් අමාවක පෝදා පත්‍රයේ පළ විය

වැලිවිට සරණංකර හිමිපාණෝ පෝයමලු හා අස්ගිරි විහාරයේ ගණනායක කොබ්බෑකඩුවේ හා නාවින්නේ හිමිවරු, තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත සාමණේරයන් වහන්සේ ඇතුළු උභය විහාරයීය සාමණේරවරු සමග ගොඩපල නුවරට ගොස් උපාලිහිමි ඇතුළු පිරිස පිළිගත්හ.

නරේන්‍ද්‍රසිංහ රජතුමාත් උභය විහාර සාමණේරයන් වහන්සේලාත්, සිල්වත් සමාගමත්, මහජනතාවත් සතුටට පත්වන සේ කටයුතු කරමින් හා අධ්‍යාපන කටයුතු සිදු කරන අතර, රත්නත්‍රයේ ගාථා, රජතුමාගේ ඉල්ලීම පරිදි භෙසජ්ජ මංජුසා සන්නය මහා බෝධි සන්නය, සතරබණවර සන්නය, රූපමාලාව, පාලි සන්දේශය ආදී ග්‍රන්ථ සම්පාදනය කිරීම නිසා රාජරාජ මහාමාත්‍යාදීන් හා උභය විහාරයීය භික්‍ෂුන් වහන්සේ ද බෙහෙවින් ප්‍රසාදයට පත් වූහ.

ශ්‍රී විජයරාජසිංහ රජතුමා “රාජගුරු” යන ගෞරව නාමය උන්වහන්සේට පිරිනමා ඇති අතර, රජතුමාගේ ගුරුවරයා වූයේ ද සරණංකර සාමණේරයන් වහන්සේ ය.

උන්වහන්සේ නිතර ප්‍රාර්ථනා කළේ සම්බුද්ධ ශාසනය යනු උපසම්පදාවයි. උපසම්පදාවක් නැති තැන ශාසනයක් නැත යනුවෙනි.

ලංකාවෙන් රැගෙන ගිය මහාවිහාර උපසම්පදාව ලැබූ භික්‍ෂූන් වහන්සේ වැඩවසනුයේ සියම්රටේ හා බුරුම රටේ හෙයින්, පළමුව නරේන්‍ද්‍රසිංහ රජතුමාට සිහිපත් කළ ද ප්‍රයෝජනයක් නොවීය.

එනමුත් අධ්‍යාපනය දියුණු කිරීමට නියමකන්ද විද්‍යස්ථානය පිහිටුවා අදාළ සම්පත් ලබා ගැනීමට සහාය විය.

ශ්‍රී විජයරාජසිංහ රජතුමාට මේ උතුම් උපසම්පදාව පිළිබඳ සිහිපත් කොට රාජ්‍ය අනුග්‍රහයෙන් පඬුරුපාක්කුඩම් හා සංදේශ සිහිතව උපවැදි වූ හාරගොඩ ඇතුළු සිල්වතුන් පස්දෙනා ද, දොරණෑගමරාළ හා මාතොට රාළ යන ඇමතිවරු දෙදෙනා ද, වටවන උපාසක රාළ හා සේවකයකු ද යන දූත පිරිස නැව් මගින් සියම් රටට යවන ලදි. නැව වැලිකන්දක හැපී විනාශ විය. ඇමතිවරු දෙදෙනාත් උපාසක හා සේවකයාත් පමණක් ඉතිරි විය. දෙවන වර ද වැල්ලෑවේ ආදී සිල්වතුන් පස්නමත් දොරණෑගම, මීදෙනිය, විල්බාගෙදර මොහම්දිරම් යන අටදෙනා සියම් රටට ගොඩ බසිනවාත් සමගම විජයරාජසිංහ රජ මරණයට පත් විය. එහෙහින් ආපසු එන විට විල්බාගෙදර මොහම්දිරම් හැර සෙසු හත්දෙනා ද මරණයට පත් විය.

උතුම් වූ උපසම්පදාව ගෙන ඒමට දෙවතාවක්ම ධූතයන් යැවූ අතර, ඔවුන්ගෙන් දොළොස් දෙනෙක් මුහුදට බිලි විය. 13 වන බිල්ල වශයෙන් මම හෝ මුහදට බිලි වී අනාගත සාමණේරවරුන්ට උපසම්පදාව ලබා ගැනීමට අවස්ථාව ලැබේවා යන අධිෂ්ඨාන කරගත් සරණංකර සාමණේරයෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පොළඹවාගෙන පෝයමලු විහාරයේ නායක කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස හිමි, අස්ගිරි විහාරයේ නායක ගොලැහැන්වත්තේ ධම්මසිද්ධි හිමි ඇතුළු උභය විහාරයෙහි ප්‍රධාන භික්‍ෂූන් ද ඇහැලේපොල නිලමේ ආදී රජතුමා සමසම්බන්ධ පිරිස් සමඟ සාකච්ඡා කළහ. සරණංකර හිමි සියම් සංඝරාජ හිමියන් ට ද, අස්ගිරි විහාරයේ ගොලැහැන්වත්තේ ධම්මසිද්ධි හිමි සියම් රජතුමාට ද පාලියෙන් හසුන්පත් ලියා පුත්තලම් දිසාවේ දිසාපති හා සතරදේවාලයේ බස්නායක ධුරය ඉසුලූ කොබ්බෑකඩුවේ හිමි මගින් ඕලන්දයන්ගෙන් ලබා ගත් තාරකා නැවෙන් විල්බාගෙදර රාළ ඇතුළු පිරිස සියම්රටේ අයෝධ්‍යාවට ගොස් පරමධාර්මික රජු බැහැදැක සියලු පඬුරු හසුන්පත් පිළිගැන් වූහ.

පරමධාර්මික රජතුමා හා සියම් සංඝරාජ මාහිමි ශ්‍රී ලංකා දූතයන් පිළිගෙන අයෝධ්‍යාවේ ථලාරාම විහාරයෙන් ප්‍රවර උපාලි හිමියන් ප්‍රධාන උපසම්පදා භික්‍ෂූන් 21 නමක්, සාමණේර 08 නමක් හා ඇමතිවරු 03 ක් යන 32 දෙදෙනා සියම් නැවෙන් ද, ශ්‍රී ලංකා දූත පිරිස එම තාරකා නැවෙන් ද රාජ්‍ය වර්ෂ 1752 ඉල් මස පෑලවිය දින සියමෙන් පිටත් විය. රාජ්‍ය වර්ෂ 1753 දී පොසොන් මස ශ්‍රී ලංකාද්වීපයේ ත්‍රීකුණාමල වරායට පැමිණි මොහොතේ සත්කෝරළේ දිසාව ඇතුළු ඇමතිවරු උන්වහන්සේලා පිළිගෙන මාතලේ ගොඩපොල රජමහ විහාරයට වැඩම වූ හ. එම ප්‍රවර උපාලිහිමි ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට වැඩමකොට උපසම්පදාව පිහිටුවා වසර 260 ක් පිරීම නිමිත්තෙන් 2013 දෙසැම්බර් 26 වන දින තායිලන්තයේ අයෝධ්‍යා නගරයේ තායිලන්ත රජය හා ශ්‍රී ලංකා රජය සම්බන්ධ වී අභිනවයෙන් ගොඩනැඟිිල්ලක් සාදා ප්‍රවර උපාලි නමින් වූ කෞතුකාගාරයක් ආරම්භ කරන ලදී.

එම රාජ්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මා හිමියන් වහන්සේගේ නියමය අනුව, එම මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධීකාරී සෝමවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් වන මටත් එවක සංස්කෘතික අමාත්‍යවර හා අධ්‍යාපන අමාත්‍ය යන අප තිදෙනාට සහභාගිවීමට ලැබීම ඉමහත් සතුටට හේතුවන්නක් බව කෘතවේදීව සිහිපත් කරමු.

වැලිවිට සරණංකර හිමිපාණෝ පෝයමලු හා අස්ගිරි විහාරයේ ගණනායක කොබ්බෑකඩුවේ හා නාවින්නේ හිමිවරු, තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත සාමණේරයන් වහන්සේ ඇතුළු උභය විහාරයීය සාමණේරවරු සමග ගොඩපල නුවරට ගොස් උපාලිහිමි ඇතුළු පිරිස පිළිගත්හ. එකී පිරිස කිහිප දවසක් ගොඩපල විහාරයේ නැවතී සිට උපසම්පදාවට අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කරමින් සිවුරු කැපීම්, මැසීම් ආදී ශාසනික වත්පිළිවෙත් ද තවදුරටත් ඉගෙනගෙන උන්වහන්සේලා පෙරටු කොට මහනුවර බලා පිටත් වූහ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ස්වකීය මල්වත්තේ සෙනසුන් පිළියෙල කරවා ඇමති සෙන් පිරිවර සහිත අළුත්ගම් තොටට පයින්ම ගොස් සක්විති රුවනක් ලැබුණාක් මෙන් අපමණ සතුටට පත්ව එකී උපාලි හිමියන් ප්‍රමුඛ සෑමදෙනා වහන්සේම යානාවලින් මල්වත්තේ සෙනසුන් වෙත වැඩම වීය.

රජතුමා විසින් පූජා කරන ලද මල්වත්තේ පිහිටුවා තිබූ රාජස්ථාන ශාලාවම විසුන්ගාම සීමාව බවට පත්කොට රාජ්‍ය වර්ෂ 1753 ජූලි 15 ඇසළ පොහෝ දින එදා මිහිදුමහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ පිහිටුවා වදාළ උපසම්පදාව සිහිපත් කරමින් පළමු කොට සියමෙන් වැඩම කළ සාමණේරයන් උපසම්පදා කොට ලක්දිවෙන් පළමුකොට පෝයමලු විහාරයේ නායක කොබ්බෑකඩුවේ සාමණේර හා වැලිවිට, හුලංගමුවේ, බඹරදෙනියේ, තිබ්බටුවාවේ යන සාමණේර හිමිවරුව 5 දෙනෙක් ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ සාමණේර හිමි යන සය දෙනා උපසම්පදා කළ හ.

මෙය වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදාවයි. වසර 50 ක් පමණ කාලයක් මුළුල්ලෙහි අභාවයට පත්ව තිබූ සම්බුද්ධ ශාසනයේ ජීවය වූ මේ ශ්‍රේෂ්ඨතම උපසම්පදා විනය කර්‍මය සිදු කිරීමෙන් වැලිවිට සරණංකර මාහිමියන් වහන්සේ පමණක් නොව මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය හා සමස්ත සාමණේරයන් වහන්සේලා මෙන්ම ශ්‍රී ලංකා ධරණි තලයම සාතිශය ප්‍රමෝදයට පත් වූහ.

අස්ගිරි පාර්ශවයේ අතිගෞරවාර්‍හ මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සංඝ සම්මේලනයේ වාර්තාගත තොරතුරු ඇතුළත් කරමින් 1934 දී මහනුවර මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහා සංඝ සභාව මගින් සියම්රටේ බැංකොක්නුවර සංඝ රාජ හිමියන්ට පාලි භාෂාවෙන් යවන ලද දැනට අප සමීපයේ ඇති සංදේශයේ සඳහන් වන අයුරින් උපාලි හිමි ප්‍රධාන සියම් භික්‍ෂූන් වහන්සේ 1753 ජූලි 15 දින උපසම්පදා විනය කර්‍මය පිහිටුවා තුන්වසරක් ඇතුළත 700 ක් සාමණේරයන් උපසම්පදා කරවා, 3000 ක් කුල දරුවන් පැවිදි කරවා ලක්දිව විහාරස්ථාන ගණනාවක සීමා බන්ධන සම්මත කොට උපාලි හිමි ඇතුළු කීපනමක් නතර වී සෙසු පිරිස සියම් දේශයට වැඩියහ.

නැවත අයෝධ්‍යා පුරයෙන්ම විශුද්ධාචරීය මහ තෙරුන් ඇතුළු වැඩම වූ භික්‍ෂූන් වසර 4ක් ලක්දිව වාසය කරමින් 300 ක් සාමණේරවරුන් උපසම්පදා කරවා සිය ගණනක් කුල දරුවන් පැවිදි කරවා කථිකාවතක් ද පිහිටුවා, ආපසු යාමට කැමති වූ විට කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා සියම්රටේ පරමධාර්මික රජතුමාගේ අදහස ද සලකා මෙවන් ශාසන කාර්ය භාරයක් සිදු කිරීමට මුල් වූ වැලිවිට සරණංකර හිමියන්ට රාජ්‍ය වර්ෂ 1760 දී ශ්‍රී ලංකාද්වීපයටම සංඝරාජ ධූරය පත්කොට එකී භික්‍ෂූන් ආපසු යැවීය.