Print this Article


අන්‍යොන්‍ය සුහදත්වය අගයන සමාජයකට...

අන්‍යොන්‍ය සුහදත්වය අගයන සමාජයකට...

සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජයක ඒකාකාරී රාමුවක් තුළ ය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන් කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක් නොවේ.

ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වූ සර්වකාලීන හා සර්ව භෞමික ඉගැන්වීමක් පළමුවෙන් ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ය.

ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතුණි.

බමුණන් විසින් වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය වෛශ්‍ය හා ශුද්‍ර යනු එම චතුර්වර්ණයයි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙස ද රජුගේ උපදේශකවරුන් ලෙස ද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැයි, යන්න ඔවුන ගේ නිසැක පිළිගැනීම විය. ක්ෂත්‍රියවංශිකයනට රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවීමත්, කෘෂි කර්මාන්තය කරවීමත්, යාග කරවීමත් නියමිතව පැවතිණ.

වෛශ්‍යයනට වාණිජමය කටයුතු පැවරී තිබුණ අතර ශුද්‍ර වංශිකයාට උරුම වූයේ පූර්වෝක්ත වර්ණත්‍රයට බැල මෙහෙවර කිරීමයි. මෙකී වර්ණත්‍රයට උරුම වූ මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඔවුනට උරුම නොවී ය.

එමතු නොව තත් යුගය වනවිට භාරතීය සමාජයේ කාන්තාවනට හිමි වූයේ ද ඉතා පහත් තත්ත්වයකි. ශුද්‍රයිනට සේ ම සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් වූ ඉගෙනීම හා ආගමික කටයුතුවල යෙදීම ආදී කටයුතු පවා ඔවුනට අහිමි විය. රටේ පවත්නා පොදු නීති පවා කාන්තාව සම්බන්ධයෙන් වෙනස් වූ අතර එදා සමාජයේ කාන්තාවක මැරීම පිරිමියෙකු මැරීම තරම් බරපතල ක්‍රියාවක් නොවේ ය, යන අදහස ද මුල්බැසගෙන පැවතිණි.

එබැවින් එකල ස්ත්‍රියක වී ඉපදීම ද බරපතළ පාපයක් සේ සැලකීය. මෙසේ සකස්ව පැවැති විෂම සමාජ රටාවෙහි පවත්නා නිස්සාරත්වය මනාව මහජනයාට තේරුම් කරදුන් බුදුරජාණන් වහන්සේ මංමුලා වූ ජන සමාජයකට නිසිමඟ පෙන්වා දුන්හ.

බුදුරදුන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාවාසීන්ට හඳුනා ගැන්මට ලැබුණේ ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවයි. එවකට ලාංකේය පරිසරයේ සැකැස්ම ද ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය බ්‍රාහ්මණ ඒකාධිකාරය තරම්ම දරුණු මට්ටටමක නොපැවතිය ද එහි යම් යම් කොටස් ශේෂව පැවති ස්වභාවයක් පෙන්නුම් කළැයි, පිළිගත හැකි ය.

මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය කෙසේ සලස්වා ගත යුතු දැයි, යන්න පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් හෝ නොතිබුණු ජන සමාජයකට මානව නිදහස පිළිබඳ පැවතියේ ද කිසිවෙකුටත් හිතකර නොවූ සංකල්පයන් ය. එම සංකල්පනාවන්ට නව අරුතක් එක් කිරීම තුළින් රටට උදාවූයේ පෙර කිසිදාක නොවූ විරූ ආලෝකයෙකි.

මිහින්තලා පර්වතය අසල දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට දේශනා කළ එක් දහම් පණිවුඩයක් මෙසේ ය.

“මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ට ද වන සතුන්ට ද මේ රටේ ඕනෑම තැනෙක නිදහසේ ජීවත්වීමේ හා ඔබමොබ යාමේ සම අයිතියක් ඇත. පොළොව රට වැසියාට සහ අනෙකුත් සතුන්ට ද අයිති වන අතර ඔබ එහි භාරකරු පමණෙකි.

මෙලෙස සත්වයාගේ නිදහස පිළිබඳව ඉහළම වැටහීමක් ලබාගත් මෙරට ජනයාගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා යහපත් වූ අන්තර්පුද්ගල සබැඳියාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය වූවාක් සේ ම නිදහස් චින්තනයේ අඩිතාලම සියවස් ගණනාවක් පුරාවටම නොසිඳී නොකැඩී රඳා ගැන්මෙහි ද හැකියාව ලැබිණ.

මෙරට ජනතාවගේ චිත්ත සන්තානය තුළ තදින්ම පැලපදියම් වූ මෙකී හැදියාව නොපිටට පෙරළී ගියේ යුරෝපීය ධන කුවේරයින් මෙරට ආක්‍රමණයෙන් පසු ඇති කළ සමාජ පරිවර්තනයත් සමඟ ය. විවිධ ආක්‍රමණිකයන් ගේ බලපෑම්වලට ලක් වූ අප ඉතිහාසයේ එක් යුගයක පරාධීන ජාතියක් ව සිටීමට සිදුවීම ජාතියක් ලෙස අත්විඳි අවාසනාවන්ත සිදුවීමක් ලෙස පෙන්වාදිය හැකි ය. ඒ තුළ දේශීය සංස්කෘතිය වෙනුවට බටහිර අනුකරණශීලී සමාජ රටාව ලක්දිව පුරා ව්‍යාප්ත වන්නට විය. තවමත් එහි යම් යම් ශේෂයන් පවතිනු දක්නට ලැබීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

සියවස් කිහිපයක් පරාධීනව සිටින රටක් තව දුරටත් පරාධීනත්වයටම ඇද වැටෙන්නේ නම් ඔවුනට ස්වාධීනත්වය පිළිබඳ ඇතැම්විට කිසිදු හැඟීමක් ඇතිවිය නොහැකි ය. ඔවුනට ස්වාධීනත්වයෙහි ස්වරූපය පිළිබඳ අත්දැකීම් බිඳකුදු නොමැති හෙයිනි. නමුත් වර්ෂ 1505 දී මෙරටට ප්‍රථම පෘතුගීසි ආක්‍රමණිකයා වන ලොරෙන්සො ද අල්මේදාගේ පැමිණීමට පෙර වසර දහස් ගණනක් තිස්සේ ස්වාධීනත්වයේ හා සාමකාමී ජීවන රටාවක අත්දැකීම් මෙරට ජනතාව අත්විඳ ඇත්තාහ.

එබැවින් පැවැති නිදහසට එරෙහි විකල්ප බලවේග පැමිණීම හමුවේ අප රටවාසීහු එකී බලවේගයන්ට එරෙහිව නැඟී සිටියහ. නැඟී එන දේශානුරාගයෙන් හා නිදහස ලබා ගැනීමේ පරම පවිත්‍ර අපේක්ෂාවෙන් යුත් මනසින් හෙබි අප

ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තෝ දැයේ නිදහස හා ස්වාධීනත්වය අහිමි කළ අධිරාජ්‍ය වාදයට එරෙහිව සෘජුවම ක්‍රියා කළහ.

එම ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍ර නාමාවලියෙහි අප දන්නා වාරියපොළ ශ්‍රී සුමංගල අනු නාහිමි, කුඩාපොල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි යනාදී අග්‍රගණ්‍ය යතිවරයන් වහන්සේලා ද කැප්පෙටිපොල නිලමේ, ගොංගාලේගොඩ බණ්ඩා, වීරපුරන්අප්පු යනාදී විරුවෝ ද මුල් තැනක් හිමිකර ගනිති. එමෙන්ම මෙම නාමාවලියට ඇතුළත් නොවුණ ද ඉතිහාසය තුළ සැඟව ගිය දහස් ගණනක් හෙළවිරුවෝ වූහ.

එමෙන්ම මහත් සේ පරිශ්‍රමයක් දරා දිනාගත් නිදහස විවිධ මතිමතාන්තර තුළින් දිනා ගැනීමට ද ඇතැම් බුද්ධිමත් නායකයෝ ප්‍රයත්න දැරූහ. එම පරම්පරාවට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, එෆ්,ආර්. සේනානායක, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ටී.බී. ජයා යනාදී නායකයෝ පෙරමුණ ගත්හ. තවද දේශීයත්වය හැරපියා බටහිර අනුකරණශීලී ගැත්තත් වෙමින් ක්‍රියා කළ සිංහල කලු සුද්දන් වෙතින් දිනෙන් දින පලා යමින් පැවැති දේශීයත්වය නැවත ඇති කිරීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, පියදාස සිරිසේන යනාදී බුද්ධිමත්හු පියවර ගත්හ. මෙම පුනරුදයේ අවසානය වූයේ අපට අහිමි කළ නිදහස වර්ෂ 1948 දී අප වෙත ලබා ගැනීමට හැකිවීමයි.

1948 ට පෙර රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් බෙදීමක් නොකර ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ අප නිදහසින් පසු බරපතළ ලෙස වෙන් වී ගියේ හුදෙක් ජාති, කුල, ආගම්, පක්ෂ, පළාත් වශයෙන් සලකා භේදභින්නව ක්‍රියා කිරීම නිසයි.

එවැනි අදහස් තුළින් කිසියම් සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම් පැහැර හැරීමට හෝ යටපත් කිරීමට යමෙකු ක්‍රියා කළහොත් එය බෞද්ධ සහජීවනයට බරපතල හානියකි.

සෑම දෙනෙකුම එකම මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇතිව ජීවත්වන සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට නම් සියලු ආගම් ඇදහිය යුතු යැයි, යමෙකු අදහස් කළහොත් එය සහමුලින්ම වැරදි සහගත බව ද තේරුම් ගත යුතු ය.

සියලුම ආගම් ඇදහීම උමතු ස්වභාවයක් මිස ආගමික සහජීවනය නොවේ. වෙසක් පොහොයට අන්‍ය ආගමිකයෝ වෙසක් පහන් කූඩු තනති. තොරණ ඉදි කිරීමට සහය වෙති. ආධාර උපකාර කරති. දන්සැල් දෙති. බෞද්ධයෝ ද අන්‍ය ආගමිකයන්ගේ හා අන්‍ය ජාතීන් ගේ උත්සවවලට උදව් උපකාර කරති. තම නිවෙස් හෝ ආයතන ඒ වෙනුවෙන් සරසති. එසේම පන්සලේ ධර්ම ශාලාව හෝ ප්‍රජා ශාලාව ඔවුන්ගේ සමාජ සේවා රැස්වීම් ආදිය සඳහා ලබා දෙති. සහජීවනයේ සැබෑ ලක්ෂණය වන්නේ අන්‍යයන්ගේ ආගම හෝ සිරිත විරිත තමනුත් අනුගමනය කිරීම නොව ඔවුන්ගේ ආගම ඇදහීමට හා ඔවුන්ගේ සිරිත් විරිත් ඔවුන්ට පවත්වාගෙන යාමට බාධා නොකිරීමයි.

සිංහල බෞද්ධයා පෙර සිටම මෙම පිළිවෙත අනුගමනය කළේ ය. අන්‍යොන්‍ය සුහදත්වයෙන් යුතුව අනුගමනය කරන මෙම උතුම් පිළිවෙත ආගමික සහජීවනය යි. සිංහලකමත්, බෞද්ධකමත් යනු එයයි.