Print this Article


බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ දාන කථා

බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ දාන කථා

වච්ඡය, මෙසේ නොව යමෙක් උයා පිසා නිමකළ හැළියක් වළඳක් සෝදා ඉඳුල් වතුර ටික කුණු දමන වලකට හෝ කුණු ජලය ගලායන කාණුවකට දමා මෙහි යම්, ප්‍රාණියෙක් හෝ වේ නම් ඔවුන් මෙයින් යැපෙත්වා යි සිතත් නම් එය ද පින් ලැබේ යයි, මම කියමි.

දාන කථා නම් දන් දීමේ අනුසස් දැක්වීම ය. බුද්ධ දේශනාවේ දානකතා අංක එක ය. අවසාන හයවෙනි උත්කෘෂ්ඨ කතාව වනුයේ සියලු දුක් නිවාලන නිවන පිළිබඳ විස්තර ඇතුළත් සාමුක්කංසික කතා ය. මෙහිද දෙක සීලානිසංස කථා ය. තුන සුගති නම් වූ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස ලෝක පිළිබඳ කියැවෙන සග්ග කථාය. සිව්වැන්න වූයේ සියල්ල අත්හැරීම නම් වූ පැවිද්ද පිළිබඳ කියැවෙන නික්මීම නම් වූ නෙක්ඛම්ම කථා ය. පස්වැන්න වනුයේ ආනිසංස කථාය.

එනම්, සෑම හොඳ, නරක යහපත්, අයහපත්, පින් පව්, කුසල් අකුසල් ක්‍රියාවලටම විපාක ඇති බව විස්තර කථා ය. කෙසේ වෙතත් මේ සියලු කථා ධර්ම දේශනාවලින් අසන ඔබත් මමත් ඒ සෑම අවස්ථාවකදීම සිතට ගත යුත්තේ කිසිදු දුකක් නැති නිවනට ළංවීම මිස සසර සැරි සැරීම නොවේ.

අපගේ මාතෘකාව වනුයේ දාන කථා ය. මේ දාන කථා වල ද ආමිස දාන, අභය දාන, ධර්ම දානාදී වශයෙන් බොහෝ බෙදා දැක්වීම් ඇතත් ආමිස දාන අනුසස් ඉදිරිපත් කිරීම මෙහි පරමාර්ථය වේ.

‘ආමිස’ යනු පරිභෝග හෙවත් (එදිනෙදා ප්‍රයෝජනයට අදාළ) සිව්පසය නම් චීවර පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වැනි වස්තු පූජාවන්ට නමකි. මේවායින් ද අප විස්තර කරනුයේ ‘ආමිස දාන’ හෙවත් ‘ආහාර දීම’ ට අදාළ විස්තරයකි. මේ ආහාර පූජාව යමෙක් කර්මඵල විශ්වාස කොට දෙන්නේ නම් ඒ දායකයා විසින් දෙකරුණක් සිහි තබාගත යුතු ය.

දීම අවබෝධයෙන් දෙන දීමක් වන්නේ නම් ඔබ ප්‍රාර්ථනා කළත්, නැතත් සුන්දර පුණ්‍ය විපාකයක් ලැබෙන්නේ ම ය. දෙවන කරුණ නම්, බුදු දහමෙහි කිසිදු දුකක් නැති නිවන සාක්ෂාත් කරනුයේ අවිද්‍යාව ප්‍රහීණ කොට තණ්හාව කිසිදු ඉතිරියක් නැතිව ක්ෂය කිරීම නිසාවෙන් තමා මෙම ආහාර පිරිකර සහිත දානය දෙන්නේ ඉක්මන් භවයකදී ම සසර දුකින් මිදීමට යන අදහස සිතට ගැනීම නිවැරදිම චේතනාවයි.

‘ආමිස’ යන්නට පාලි සිංහල ශබ්ද කෝෂවල දී ඇති තේරුම් අතර ‘ඇම’ අල්ලස යන තේරුම් ද සඳහන් ව ඇත. ‘ඇම’ යනු ලොකු මාළුවෙක් ඇල්ලීමට යොදා ගන්නා කුඩාම කුඩා ගොදුරට යොදා ඇති නම හෝ ඒ හා සමාන එකකි. ‘අල්ලස’ ද එසේ ය. ලොකු ලාභයක් ලබා ගැනීමට තේ එකක්, බුලත් විටක්, ආහාර වේලක්, කිසියම් මුදලක් වැය කිරීම ය. අපි දන්දීමේ දී ද චාගය (අත්හැරීම) වැනි ගුණධර්මයක් සිතට නොගෙන ඇමක් අල්ලසක් සේ සලකා සසර සැප පතා දන් දුනහොත් සසර ගමන දික්වන්නේම ය.

බෞද්ධ අපේ පරමාර්ථය එය නොවේ. මහ රහත් සාරිපුත්ත සඟ පරපුරේ අවිච්ඡින්න පුරුක වූ ඔබේත් මගේත් ගම්වල වෙහෙර විහාරස්ථානවල දැනට ද වැඩ සිටින වර්තමාන මහා සංඝරත්නය මේ ආහාර දාන දීමේ දී සැලකිය යුත්තේ, දන් දීමට සුදුසුකම් ලත් මාර්ගඵල ලාභී උත්තමයන් ලෙසින්ම ය. මේ බව අංගුත්තර නිකාය 1 තික නිපාතය, බ්‍රාහ්මණ වග්ගය, පිටුව 289 වච්ඡගොත්ත සූත්‍රයේ හා මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකයේ එන දක්ඛිණාවිභංග සූත්‍රයේත් කරුණු දක්වා තිබේ.

වරක් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකස්පස්ව හුන්නේ, “ස්වාමීනි, මම භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙවැනි කතාවක් අසා ඇත. මටම දන්දිය යුතු ය. මගේ ම ශ්‍රාවකයන් ට දන් දිය යුතු ය. අන් හට දන් නොදිය යුතු ය. අනුන්ගේ ශ්‍රාවකයන්ට ද දන් නොදිය යුතු ය. මට හා මගේ සව්වන්ට දුන් දෙය මහත් ඵලය, අන්සව්වන්ට දුන් දෙය එසේ නොවේ” යි වශයෙනි.

ස්වාමීනි, යමෙක් එසේ කියත් නම්, එය ඔබ වහන්සේ නො කියූ දෙයක් කියූ දෙයක් ලෙසින් කියන්නේ ද, කියූ දෙයක් කියන්නේ ම වේද, එසේත් නැතිනම් හේතු සහිත වූ කිසියම් දීමක් ගැරහීමට ලක් කරනු පිණිස ගළපා කියන්නක් දැ” යි පරිබ්‍රාජික තෙමේ ඇසී ය.

එමෙන් ම “ස්වාමීනි, අපි නම් ගෞතමයන් වහන්සේට දොස් පැවරීමට කිසිසේත් නොකැමති වෙමු.”

“වච්ඡ, යමෙක් එසේ කියත් ද, එය මම කියන ලද්දක් කියන්නාහු නොවෙති. මා නො කියූ දෙයක් කියා අසත්‍යයෙන් මට චෝදනා කරත්, වච්ඡ, දන් දෙන කෙනෙක් යමෙකු විසින් වළක්වන්නේ නම්, ඔහු තිදෙනෙකුට අනතුරක් කෙරෙයි. දායකයාගේ පිනට, ප්‍රතිග්‍රහකයාගේ (දන් ලබන්නාගේ) ලාභයට හා එසේ කරන්නාගේ යම් වෙනත් ගුණයක් තිබුයේ නම් එය ද හාරා දැමූවක් සේ වෙයි.

වච්ඡය, මෙසේ නොව යමෙක් උයා පිසා නිමකළ හැළියක් වළඳක් සෝදා ඉඳුල් වතුර ටික කුණු දමන වලකට හෝ කුණු ජලය ගලායන කාණුවකට දමා මෙහි යම්, ප්‍රාණියෙක් හෝ වේ නම් ඔවුන් මෙයින් යැපෙත්වා යි සිතත් නම් එය ද පින් ලැබේ යයි, මම කියමි.

මෙසේ නම් මනුෂ්‍යයකුට දීම ගැන මම කුමක් කියන්නේ වේද?

එනමුත් වච්ඡය, සිල්වතුන්ට දුන් දෙය මහත් ආනිසංස ඇතැයි කියන මම දුශ්ශීලයන්ට දුන් දේ එසේ නො වෙමි යයි කියමි.

සිල්වතා නම් කවරේද? කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච හා විචිකිච්ඡා යන පඤ්චනීවරණ ප්‍රහීණ කොට මේ තුළින් යමෙක් අසේඛ විමුත්ති ඤාණ දර්ශන නම් වූ අරහත් ඵලය දක්වා පැමිණියේ වේද හෙතෙමේ මැනවින් ම සිල්වතා වේ.

වරක් බුදුරජාණන් වහන්සේ තම උපන් ගම වූ කිඹුල්වත් නුවර නෑයන් ඉදිකළ නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටිද්දී තම කිරි මවු මහා ප්‍රජාපතී ගෝතමී අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස්ව හිඳ

“ස්වාමීනි, මා සතු මේ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම මා විසින් නූල් පවා පිළියෙළ කොට වියන ලද්දකි. ස්වාමීනි, මට අනුකම්පා පිණිස එය පිළිගන්නා සේක්වා” යි ඉල්ලා සිටියා ය.

එවිට බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් “ගෞතමිය එය සංඝයාට පූජා කරන්න. එසේ සංඝයා විෂයෙහි දුන් කල මට ද පුදන ලද්දෙම් වෙමි. සංඝයාට ද පුද ලද්දේ වේ” යයි වදාළ සේක.

දෙවනුව ද, තෙවනුව ද “මට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ ම එය පිළිගන්නා සේක්වා” යි ඉල්ලා සිටියා ය.

ඒ සෑම වරක ම පළමු සේ විය. එවිට ආසන්නයේ සිටි ආනන්ද තෙරුන් වහන්සේ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගෞතමියගේ අලුත් වස්ත්‍ර දෙක පිළිගන්නා සේක්වා. මේ මහා ප්‍රජාපති දේවි භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. කිරි පෙවූ මව වූවා ය. අත් පා මනා කොට වැඩුවා ය. පෝෂණය කළා ය. වැදූ මව කලුරිය කළ කල්හි කිරි පෙව් මව වූවා ය. ස්වාමීනි, තිසරණ සරණ ගිය මෝ තොමෝ ආර්ය කාන්ත ශීලයෙහි හැසිරුනේ, අචල ශ්‍රද්ධා ඇත්තේ, චතුස්සත්‍යය අවබෝධ කළේ, සැක නැත්තියකි.

“ආනන්දය එය එසේම ය. එය එසේම ය. (සැක නැත්තේ ය) ආනන්දය, එනමුත් යමෙක් තම ගුරුවරයා නිසා කුමන තත්ත්වයකට පත් වූවත් වැඳීමෙන්, පෙරගමන් කොට පිළිගැනීමෙන් දසැඟිලි එකතු කොට දොහොත් මුදුන් තබා වැඳීමෙන්, වෙනත් කුමන ආකාරයේ ගෞරව කිරීමෙන් හෝ චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන් පස - බෙහෙත් පිරිකර යන මේවා දීමෙන් (ප්‍රත්‍යුපකාර) කළ නො හැක්කේ ම ය. ආනන්ද ඒවා සියල්ල පෞද්ගලික කළගුණ සැලකීම වේ.” (මේ අනුව ගෝතමී මාතාවගේ එම වස්ත්‍ර දානය ද පෞද්ගලික දානයක්ම ය.) “ආනන්ද මෙවැනි පෞද්ගලික දාන 14 මම මෙහි දී දක්වමි.”

1. අර්හත් තථාගත සම්‍යක් සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි ද මෙය පෞද්ගලික දානයකි.

2. පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.

3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දන් දීම.

4. රහත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (අරහත් මගෙහි සිටින) ශ්‍රාවකයාට දන් දීම.

5. අනාගාමී ඵලස්ථයා හට දන් දීම.

6. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරණ (අනාගාමී මඟට පිළිපන්) ශ්‍රාවකයාට දන්දීම.

7. සකෘදාගාමී ඵලස්ථයා හට දන් දීම.

8. සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (සකදාගාමී මගෙහි සිටින) ශ්‍රාවකයාට දන්දීම.

9. සෝවාන් ඵලස්ථයා හට දන් දීම.

10. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (සෝවාන් මගෙහි සිටන) ශ්‍රාවකයාට දන්දීම.

11. කාමයෙහි නො ඇලෙන (වීතරාග) බාහිරක තාපසයකු හට දන් දීම (මොවුහු පඤ්ච අභිඥා සඳහා වෙහෙසෙන කර්මවාදීහු ය.)

12. පෘථග්ජන සිල්වතෙකුට දන්දීම (මොවුහු අනුන් නො රවටයි. නො පෙයි. කපටි නැත. මායා නැත. ගොවිතැනින් වෙළඳාමින් ධාර්මිකව ජීවත් වෙයි.)

13. පෘථග්ජන දුශ්ශීලයාට දන්දීම (මසුන්, ඌරන්, ගවයන් වැනි සතුන් මරමින් අනුන් පීඩාකොට ජීවත් වන්නා දුශ්ශීලයා ලෙස ගැනේ.)

14. තිරිසන් ගත සත්ත්වයන්ට දන් දීම යනුවෙන් ය.

(මේ සතුන් ගැන කීමේ දී බල්ලාගේ වැනි ගුණයක් අශ්ව, හස්ති, ගව ආදීන්ගේ උපකාරයක්, එළු, බැටළු, ගව ආදීන්ගේ පෝෂණ ප්‍රයෝජනයක් සලකා දීම මෙහි දී නො සැලකේ. තමා විසින් පෝෂණය කරන අඹු දරු ආදීන් හා තමාගේ ප්‍රයෝජනයක් සලකා නිවසේ ඇති දැඩි කරන සතුන්ට දෙන දීම දානයක් නොව යුතුකම් ඉටුකිරීමකි.

සිඟාලෝවාද සූත්‍රයේ දක්වන පරිදි යුතුකමට ද පින් තිබේ. තමා සමීපයට එන ඕනෑම තිරිසනෙකුට දීමේ අනුසස් දැන අනුකම්පාවෙන් දීම මෙහි දී සැලකේ. ගෙදර සිටන බල්ලාට කෑම දීම යුතුකමකි. දඩාවතේ යන බල්ලෙකුට කෑම දීම පින්කමක් බව මෙයින් කියැවේ.)

මේ තුදුස් දානයෝම පෞද්ගලික දාන ලෙසින් මෙම දක්ඛිණා විභංග සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. (මේ සියල්ල පෞද්ගලික දාන වනුයේ මක් නිසා ද? ප්‍රතිග්‍රාහකයා (දාන වස්තුව ලබන්නා) ඒ ඒ ගුණයන්ගෙන් යුක්ත අය බව තමා හැඳිනගෙන දීමේ හේතුවෙන් ය.)

“ආනන්දය, ඒ දානයන් අතුරෙන් තිරිසන් සතෙකුට යමෙක් දන් දෙයි ද අනුසස් සියයක් ඇති දානයක් බව මම කියමි.

පෘථග්ජන දුශ්ශීලයෙකුට දන් දීමෙන් අනුසස් දහසක් කැමැති විය යුතු ය.

පෘථග්ජන සිල්වතෙකුට දීම සියක් දහසක් (ලක්ෂයක්) අනුසස් ඇත.

කාමයෙහි නො ඇලෙන ගෞතම ශ්‍රාවකයකු නොවන බාහිරක තාපසයකුට දන් දීම කෝටි ලක්ෂයක් (කොටි සතසහස්ස) අනුසස් ඇත.

සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන්නකුට දන් දීම සංඛ්‍යාවකින් දැක්විය නො හැකි (අසංඛේය අප්‍රමෙය) අනුසස් ලැබෙන දානයකි. මෙසේ වූ කල්හි යමෙක් මා තථාගත වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ බව දැන දෙන දානයේ අනුසස් පිළිබඳ කවර කතා ද?”

මෙසේ වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්දය, (මා ගෝතමී මාතාවට වදාළේ මට දෙනවා වෙනුවට ඒ වස්ත්‍ර යුගලය සංඝයාට දීමෙන් මට ද දුන්නා මෙන් සැලකෙන හෙයින් පුද්ගලිකව මට දෙනවාටත් වඩා පින් ලැබෙන හෙයින් ය. “ආනන්දය මෙවැනි මහත් ආනිසංස ඇති සංඝගත දක්ෂිණාවෝ (සාංඝික දාන) සතක් ද මෙසේ වදාරමි.

ඒ කවරේද?

බුද්ධ ප්‍රමුඛ උභතො (භික්ෂු / භික්ෂුණී) සංඝයාට දන්දීම.

තථාගතයන් වහන්සේ පිරිනිවී කළ උභතො සංඝයා කෙරෙහි දන්දීම. (අද මේ සඳහා සර්වඥ ධාතු තැන්පත් කරඬුවක් ගෙදරට ගෞරවයෙන් වඩම්මවා ගෙනවිත් දානයේ අග්‍ර කොටස (බුද්ධ පූජාව වශයෙන් තබා අනතුරුව ඉතිරි කොටස සඟ සතු කොට වළඳවාලීම කරවති.)

භික්ෂු සංඝයාට දන් පිළිගැන්වීම.

භික්ෂුණී සංඝයාට දන් දීම, මට මෙපමණ භික්ෂු සංඝයා ද, භික්ෂුණී සංඝයා ද දෙනු මැනවැ යි ප්‍රමාණය දක්වා ආරාධනා කොට ඒ දෙපිරිසට දෙන දානය පස්වෙනි සංඝගත දක්ෂිණාවයි.

මට මෙපමණ භික්ෂු සංඝයා දෙනු මැනැයි සංඛ්‍යාව දක්වා ආරාධනා කොට දන්දීම.

මට මෙපමණ භික්ෂුණී සංඝයා දෙනු මැනැවයි සංඛ්‍යාව දක්වා ආරාධනා කොට දන්දීම. යන මේ සතයි.