Print this Article


ධනය පරිහරණය පමණ දැනගෙන ද?

ධනය පරිහරණය පමණ දැනගෙන ද?

" ලෝකයේ ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. එම සීමිත සම්පත් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම වැදගත් ක්‍රමවේදයකි. “සප්පායේ පමාණං ජානාති” යනුවෙන් මහාගෝපාලක සූත්‍රයේ දී පමණ දැන සම්පත් පරිහරණය කිරීමේ වටිනාකම ලෝකයා වෙත ලබා දෙනුයේ එම නිසා ය."

ගිහි ලෞකික ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයාටත්, නිවන් මඟ පසක් කර ගැනීමට පැවිද්ද ලබන්නා වූ පැවිද්දාටත් ඔවුනොවුන්ගේ මෙලොව ජීවිතය මනා කළමනාකාරීත්වයකින් යුතුව හා ආදීනව දැන ක්‍රියා කිරීමේ යහපත්කම බුදුන් වහන්සේ අවස්ථා කිහිපයක දී ම පෙන්වා වදාළ හ.

මිනිසා මෙලොව ජීවිතයේ දී ලබා ගන්නා සම්පත් හා ලැබෙන සම්පත් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ පරිභෝජනය කිරීම පුද්ගල ජීවිතයේ මනා සාර්ථකත්වයට හේතුවක් බව ව්‍යග්ඝපජ්ජ, සිගාලෝවාද, පත්තකම්ම විභංග වැනි සූත්‍ර දේශනා රාශියක සඳහන් වේ.

මූලික අවශ්‍යතාවන් සේ සැලකෙන ඇඳුම්, ආහාර, නිවාස හා බෙහෙත් යන සිවුපසය පරිභෝග කිරීමේදී ද අනුගමනය කළ යුතු පරිභෝජන දර්ශනයක් ඉහත සූත්‍ර දේශනා වල අන්තර්ගත ව ඇත. මෙම මූලික මානුෂීය අවශ්‍යතා සතරෙහි ම ප්‍රමුඛාර්ථය යහපත් ජීවන වෘත්තියක් සකසා මිනිසා පෙළඹ වීමයි. ලෝකයේ ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. එම සීමිත සම්පත් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම වැදගත් ක්‍රමවේදයකි. “සප්පායේ පමාණං ජානාති” යනුවෙන් මහාගෝපාලක සූත්‍රයේ දී පමණ දැන සම්පත් පරිහරණය කිරීමේ වටිනාකම ලෝකයා වෙත ලබා දෙනුයේ එම නිසා ය. පරිභෝජනය පිළිබද බෞද්ධ ආකල්පය ප්‍රධාන ශීර්ෂ දෙකක් යටතේ ගොනු කළ හැකි ය. එනම්, අවශ්‍යතා සපුරා ගැනීම හා නාස්තිය පිටු දැකීම ය.

මින් පළමු වැන්න කෙරෙහි අවධානය යොමු කරන විට ධනය මගින් කළ යුතු ප්‍රධානතම කාර්යය ලෙස සැලකෙන්නේ තමා සැපතට පත්වීම යි. මේ පිළිබඳ අංගුත්තර නිකායේ රාසිය සූත්‍රයේ දී කරුණු හතරක් දක්වා ඇත. එනම්,

තමා ප්‍රයෝජනයට ගනියි, බෙදා දෙයි, පින් කරයි, ආදීනවය දැන පරිභෝජනය කරයි යනුවෙනි.

තමා මුලින්ම සැපතට පත්ව පසුව අනෙක් කාරණාවන් පිළිබද සෙවීම සිදු කළ යුතු බව අංගුත්තර නිකායේ පත්තකම්ම විභංග සූත්‍රයේ ද එයි. එම සූත්‍රයේ දැක්වෙන සමස්ත කරුණුවල අන්තර්ගතය වන්නේ පරිභෝජනයේ දී මුලින්ම තමාගේ සැපත ඉලක්ක කරගත යුතු බව යි. ඉන් අනතුරුව මා පිය, අඹුදරු, දැසිදස් කම්කරු, යහළු මිතුරු නෑදෑ හිතවත් ආගන්තුකාදීන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බලා කටයුතු කළ යුතු ය. ඊට අමතරව තමා සතු සම්පත් පංචබලි සඳහා ද වැය කළ යුතු ය. එනම්,

ඤාති බලි - ඤාති සංග්‍රහ වශයෙන් සෙදවීම

අතිථී බලි - ආගන්තුක සංග්‍රහ වශයෙන් යෙදවීම

පුබ්බපේත බලි - මියගිය අය උදෙසා පින්දීම් වශයෙන් යෙදවීම

දේවතා බලි - දෙවියන්ට පින් වශයෙන් පැමිණවීම හා

රාජ බලි - රජයට බදු වශයෙන් ගෙවීම

යනු එම පඤ්චබලි සංකල්පයයි.

සිඟාල සූත්‍රයේ දී

ඒකෙන භෝගෙ භුඤ්ජෙය්‍ය

ද්වීහි කම්මං පයොජයේ

චතුත්ථං ච නිධාප්‍යෙය

ආපදාසු භවිස්සති

යනුවෙන් පරිභෝජන රටාවේ නිවැරැදි ක්‍රියාපටිපාටියක් ද හඳුන්වාදී තිබේ. යථොක්ත සමස්ත කරුණූ සම්පිණ්ඩනයක් ලෙස ගැනීමේ දී බෞද්ධ පරිභෝජන සංකල්පයේ සුවිශේෂතා රාශියක් පැහැදිලි කරගත හැකි ය. ලෝකය පුරාවටම කොවිඩ් 19 ව්‍යසනය ක්‍රියාත්මක මෙම කාල පරාසයේ දී බෞද්ධ දර්ශනයේ උගන්වන මෙම පරිභෝජන සංකල්ප ක්‍රියාත්මක කර ගැනීම මඟින් එදිනෙදා ජීවිතයේ දී ඇතිවන ආර්ථික අපහසුතා යටපත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.