Print this Article


සීල සමාදානය ලෝක මානයට ද?

සීල සමාදානය ලෝක මානයට ද?

" ඉගැන්වීම් ටොන් එකක් තිබුණත් භාවිතය අංශුව නම් එම ඉගැන්වීම් සමාජ යහපතට යොදාගත නොහැක. සීලය ද ඒ ආකාර ය."

සීලය යනු කය වචන දෙකෙහි සංවරය යි. ලෝකය ශිෂ්ටාචාරගත වූ මොහොතේ සිට කුමන හෝ පාලන ක්‍රමයක් පැවතුණි. බුදුදහම ලොව පහළවීමටත් පෙර සිට ම විවිධ ඉගැන්වීම් තුළ සීල ප්‍රතිපදාවන් දැකිය හැකි ය. ජෛන ශාසනයෙහි පංචවිරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් වර්තමානය වෙද්දී සීලය, එහි භාවිතය, සමාදන්වීම කියන කාරණා තුළදී සීලයෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවා ද යන්න සැක සහිත ය.

එසේම සීලය පිළිබඳ දුර්මතයන් ද සමාජගත වී ඇති ආකාරයක් දක්නට ලැබේ. ඕනෑම ඉගැන්වීමක් වඩාත් ඵලදායක වන්නේ එය ප්‍රායෝගික තලයේ දී ලබාදෙන යහපත මත ය. එසේ නොමැතිව ඉගැන්වීම් ටොන් එකක් තිබුණත් භාවිතය අංශුව නම් එම ඉගැන්වීම් සමාජ යහපතට යොදාගත නොහැක. සීලය ද ඒ ආකාර ය.

සිල් සමාදන් වීමට සුදුසු කාලයක් තිබෙනවා ද?

වර්තමානය වෙද්දී ඇතැම් තැනක සීල සමාදානය හුදෙක් ම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමකට සීමා වී ඇත. අපේ ඇවතුම් පැවතුම් යම් හෝ ප්‍රමාණයකට නියාමනය කිරීම සීලයෙහි කාර්යය යි. එසේම සිල් සමාදන් විය යුතු කාලය ද ඇතැම් අය විශ්වාස කරනුයේ වයසට යාමේ දී වඩා යෝග්‍ය බවයි. එහෙත් සත්‍ය වශයෙන් ම සිල් සමාදන් විය යුත්තේ තරුණ හා මැදිවියේදී ය. මන්දයත් වයසට යාමේ දී සියල්ලෝ ම අකමැත්තෙන් වුව ද සීලවන්තයෝ ය. එය පංච සීලයට ආරෝපණය කොට බැලුවහොත් වඩාත් හොඳින් තේරුම්ගත හැකි ය. වයසට යාමේ දී ප්‍රාණඝාත සිදුකිරීමට සිතුණත් අත ඉස්සීමටවත් බැරිනම් එතැනදී ප්‍රාණඝාතය සිදු නොවේ. අමුතුවෙන් ශික්ෂාවක් එතැන දී අවශ්‍ය නොවේ. අනෙක් ශික්ෂාපදයන් ද එසේම ය. මෙවැනි ශික්ෂාපද අවශ්‍ය වන්නේ තරුණ සහ මැදි වයසේ දී ය. එවැනි වයස් කාණ්ඩයක කෙනකුට මෙවන් සිතිවිල්ලක් පැමිණි කල එය පාලනයට පාණාතිපාතා ශික්ෂාපදයෙහි ලොකු අවශ්‍යතාවක් ඇතිවේ. එවැනි කාලයක දී නො රකින ශික්ෂා පදයන්ගෙන් ඇති පලක් වයසට යාමේ දී තේරුමක් නොවේ.

සීලය කැඩුණොත්

එසේම සීලය හැමවිට ම සමාදන්වීම අවශ්‍ය නොවේ. ශික්ෂාවන් එකවරක සමාදන් වී වැඩි කාල වේලාවක් රැකිය හැකි නම්, එය වැදගත් වේ. එහිදී ශික්ෂා පද පහෙන් එකක් කැඩුණවිට සියලුම සිකපද ඡේදනය නොවේ. කැඩෙන ශික්ෂාව පමණක් නැවත සමාදන් වී ආරක්ෂා කළ හැකි ය. සීලයෙහි වෙන වෙනම ශික්ෂා පද සඳහා ආනිසංස පවතී. සාමාන්‍ය තත්ත්වයෙන් ගත් කල එක් එක් ශික්ෂා පදයෙන් සිදුවන යහපත වෙනස් ය. සමස්තයක් හැටියට සියලුම ශික්ෂාපද ආරක්ෂා වේ නම් මුළු සමාජය ම මහත් සාමකාමී බවින් යුතු වේ.

ප්‍රධාන අරමුණු

පොදුවේ දහමෙහි පංචශීලය අනුදැන වැදෑරීමේ අරමුණ කරුණාව සහ මෛත්‍රිය යි. මෙහිදී කරුණාව යනු දුකින් පෙළෙන අය සුවපත් කිරීම යි. මෛත්‍රීය යනු මුළු සමාජයට මිත්‍රත්වයෙන් සැලකීමයි. පංච ශීලයෙහි වෙන වෙනම ආනිසංස පවතී. කෙනකුට සිල්පද පහම ආරක්ෂා කළ නොහැකි වුව ද එකක් හෝ රැකිය හැකි නම් එය වැදගත් ය. මන්ද යත් රකින ලද ශික්ෂාපදයට අදාළ ආනිසංස ඔහුට හෝ ඇයට ලැබෙන නිසාවෙනි. අනෙක් හතරම කැඩුණා යන පදනම මත ශික්ෂා පද පහම කණ්ඩණය නොවේ.

දීර්ඝායුෂ ලැබෙන හැටි

පරමත්ථජෝතිකා නම් ඛුද්දකපාඨ අට්ඨකතාවේ දී මෙම ශික්ෂාපද පිළිබඳ අනුසස් පවතී.

එහිදී ප්‍රාණඝාතයෙන් වැළකීම මත අරෝහපරිනාහ දේහයක් ලැබීම, පොළොවෙහි මනාව පිහිටන යටිපතුල ඇති බව, මෘදු, පිරිසුදු බව, ලෝකයට පි‍්‍රයවීම, පරිවාර සම්පත්තිය, සුරූපී බව, අල්පාබාධ ඇති බව, ශෝක නොකරන බව, දීර්ඝායුෂ ඇති බව ආදී අනුසස් රාශියකි.

කැමැති දෑ ලැබීම

මහා ධනවතකුවීම, භව භෝග සම්පත්වලින් ආඪ්‍ය වීම, සම්පත් විනාශ නොවීම, කැමැති දෑ ලැබීම, රජුන් සොරුන් අපි‍්‍රයයන් පැහැර නොගැනීම ගින්නෙන්, ජලයෙන් විනාශ නොවීම උතුම් කෙනකු වීම, නැතැයි කියා දෙයක් නොමැති බව සැපසේ විසීම දෙවන ශික්ෂා පදයෙහි අනුසස් ය.

සතුරු බිය නැතිවීම

තුන්වන ශික්ෂාපදය රැකීම නිසා සතුරුබිය නොමැතිවීම බොහෝ දෙනාට පි‍්‍රයවීම, අන්‍ය භය සන්සිඳීම, ස්ත්‍රී භාවයට හෝ නපුංසක භාවයට පත් නොවීම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම, ස්ත්‍රී ලාලිත්‍යයන් පුරුෂ ලක්ෂණ මනාව පැවතීම, විකෘතීන් ඇතිනොවීම.

පි‍්‍රය මනාප ඉඳුරන්

සතරවන ශික්ෂාව රැකීම මත ප්‍රසන්න ඉන්ද්‍රියන් ඇතිබව, මිහිරිවදන් ඇතිබව, ලස්සන දත් ඇති වීම, තරබාරු නොවීම, වඩාත් කෘෂ නොවීම, වඩාත් උස් හෝ මිටි නොවීම, සුවඳවත් මුඛයක්, පිවිතුරු හඬක් ඇති බව, ඇදහිය හැකි වචන ඇතිවීම, මෘදු රතුවන් දිවක් ඇති බව, චපල සහ නො සන්සුන් නොවීම.

නුවණ වැඩෙයි

අවසාන ශික්ෂාපදය තුළින් මදයට හෝ ප්‍රමාදයට නොයා තුන් කල්හි එළඹ සිටි සිහියෙන් යුක්තවිම, උමතු නොවීම, ඥානවන්ත බව, අලස අඥාන නොවීම, කෙළ තොලු නොවීම, මත් නොවීම, අලස නොවීම, දිවා රෑ මැලි නොවීම, සෘජු විශ්වාසනීය වීම, පවට ලජ්ජා බිය ඇතිවීම, සරු නිසරු දෑ දැන ගැනීම, මහා ප්‍රාඥයකු වීම, නුවණැත්තකු වීම, දක්ෂ වීම ආදියට හේතු වේ.

සික්ෂාපද සියල්ල ම රැකිය හැකි නම් මේ සියලු ආනිසංස ද, එසේ නොමැතිනම් රකින ලද ශික්ෂා පදයට අදාළ අනුසස් ලැබේ. එකදු ශික්ෂාවක් හෝ නොරකින අය අත එක් ශික්ෂාවක් හෝ රැකිය හැකි නම් එය ශ්‍රේෂ්ඨ ය. ලෝක මානයට සමාදන්වන අය අතර සැබෑවට ම අර්ථය දැන සමාදන් විය හැකි වීම ඉතා වැදගත් වේ.