Print this Article


මිතුරු වෙසට නොරැවටෙන්න

සන්ධිභේද ජාතකය:

මිතුරු වෙසට නොරැවටෙන්න

" එළදෙන සහ සිංහ ධේනුව සමගියෙන් සිටින නිසා පැටවුන් දෙදෙනාත් සමඟියෙන්ම සෙල්ලම් කරමින් කාලය ගත කරනවා දුටුවා. කලකින් මව්වරු දෙදෙනා ම මිය ගියා. දැන් පැටවුන් දෙදෙනා සමගියෙන් වාසය කරනවා"

බාල, ළමා, තරුණ, මහලු භේදයකින් හෝ ස්තී‍්‍ර -පුරුෂ හෝ ගිහි-පැවිදි හෝ වෙනත් සමාජ බෙදීම් අනුව හෝ ඔවුනොවුන්ට මිතුරෝ සිටිති. සමගියෙන් කටයුතු කරති.

එහෙත් පැණිවරකා ගහටත් හෙනවදී වැනි ගැමි කියමන් මතුවන්නේ මිතුරුකම් විනාශවන අවස්ථාවලයි. එවිට ඔවුන්ගේ සමගිය, මිතුරුකම නැති වී යයි.

මිනිස් ජීවිතය සාර්ථක කර ගැනීමට මිතුරන් අවශ්‍ය ය. තමාගේ ගුණවලට සමාන හෝ තමාට වඩා උසස් ගුණවලින් යුක්ත හෝ පුද්ගලයින් ඇසුරු කිරීම ජීවිතය සාර්ථකවීමට හේතුවකි. රාජකාරි ස්ථාන, සමාජ කි‍්‍රයාකාරකම්, දේශපාලනය, වෙළදාම, අධ්‍යාපනය, ඥාතීත්වය, අසල්වැසිකම, ප්‍රාදේශීය බව යනාදි සාධක මත මිතුරුකම් ගොඩ නැඟේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සම්බුදු සසුනට ඇතුළත් වූ භික්ෂූන් වහන්සේලා හයනමක් ඉතා සමගියෙන් කටයුතු කළහ. ඡබ්බග්ගිය භික්ෂූන් යැයි ප්‍රසිද්ධ වූහ. එහෙත් එක් දවසක් දම්සභාවේ දී ඔවුන්ගේ අසමගිය ගැන කතාවක් ඇති වුණි. එතැනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් පූර්ව පුවත් අසා ‘‘මහණෙනි, මේ භික්ෂූන්ගේ අසමගියට හේතුව සන්ධිභේද ජාතකයේ පැහැදිලිවම පෙනෙන්න තිබේ” යැයි දේශනා කළහ. එකල්හි කුතූහළයෙන් පිරී ගිය භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කර දෙලොව හිත සුව පිණිස එම අතීත කතාව දේශනා කිරීමට ආරාධනා කළහ.

මහණෙනි, මම යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුත්‍රයෙක් ව උපන්නා. කුඩා විය ඉක්ම වූ පසු දිසාපාමොක් අදුරුතුමා වෙතින් ශිල්ප ලබා දීමට පියරජතුමා කටයුතු කළා. මම උගත් ශාස්ත්‍රය රජතුමා ඉදිරියේ පෙන්වූ පසු යුවරජ තනතුර ද පිරිනැමුවා. පියාගෙන් අනතුරුව රාජ්‍ය පාලනය කිරීමට අවස්ථාව උදා වුණේ එහෙමයි.

මහණෙනි, මෙහෙම රාජ්‍ය කරමින් යන විට දිනක් රාජ සභාවට එක් පුරුෂයෙක් පැමිණ නමස්කාර කර කැලයෙන් සොයා ගත් විශේෂ පලතුරු සමූහයක් මට ලබා දුන්නා. ඔහු සීසාමින් ගොවිතැන්වලට උදව්කරන පුරුෂයෙක් බව කිව්වා. ඔහුට විශාල ගව පට්ටියක් සිටින බවත්, ඔවුන් වනයට දමා කෑම බීම දෙමින් රැකබලා ගන්නා බවත් කිව්වා.

එකල රජ කෙනකු වූ මම වනාන්තරවලට බොහොම පි‍්‍රය කළා. ඒ නිසා ඔහු අමතා ‘‘ පුරුෂය, තොප සිටින වනාන්තරයේ දුටු විරූ අරුම පුදුම යමක් වේනම් එය පවසව?”යි කිව්වා. එවිට ඔහු මා අමතා ‘‘දේශය පාලනය කරන උතුම් රජතුමනි, වචනයෙන් හෝ වරදක් වුවහොත් දහස්වාරයක් සමා වුම මැනව, අරුම පුදුම දෙයක් මම දුටුවෙමි. දිනක් මගේ ගව පට්ටියේ ගැබ්බර දෙනක් තණ කමින් මහා වනාන්තරය මැදට ගිහින් තිබුණා. මමත් ඇය සොයමින් ගියා. එහෙත් මට ඇය හමු වුණේ පැටවා බිහි කළාට පසුවයි. තවත් කිව යුතු පුදුමයක් තිබෙනවා. මට ඇය සමීපයට යාමට නො හැකි වුණා. ඇගේ හොඳම යහළුවා බවට සිංහ ධේනුවක් පත් වී සිටියා. දෙදෙනා එකට ආහාර ගැනීමත්, වාසය කිරීමත්, ගමන් බිමන් යාමත් කරන බව දුටුවා. සිංහධේනුවටත් පැටියෙක් සිටියා. එළදෙන සහ සිංහ ධේනුව සමගියෙන් සිටින නිසා පැටවුන් දෙදෙනාත් සමඟියෙන්ම සෙල්ලම් කරමින් කාලය ගත කරනවා දුටුවා. කලකින් මව්වරු දෙදෙනා ම මිය ගියා. දැන් පැටවුන් දෙදෙනා සමගියෙන් වාසය කරනවා, එයයි මම දුටු අරුම පුදුම සිද්ධිය යැයි යටහත් පහත්ව පැවසුවා. රජතුමා ඔහුගේ කතාව අසා සිට

‘‘එම්බා පුරුෂය, ඔවුන් දෙදෙනා අතරට තුන්වැනියෙක් එකතු වුවහොත් වහා මා දැනුවත් කරව” යැයි පවසා තෑගි බෝග පිරිනමා ඔහුව පිටත් කළා.

එම පුරුෂයාත් යහළුවන් දෙදෙනාගේ හැසිරීම අධ්‍යයනය කරමින් කාලය ගත කළා. දිනක් කැනහිලෙක් ක්‍රමයෙන් ඔවුන් දෙදෙනා අතරට එකතු වී මිතුරුකමක් ගොඩනඟා ගත්තා. කලක් ගත වුණා. කැනහිලා මිතුරන් දෙදෙනාගේ ම තොරතුරු හොඳින්ම දැන ගත්තා. ඉතින් දිනක් කැනහිලාට මෙහෙම හිතුණා. පරණ මස් කැබලි සහ ඇටකැබලි කෑමෙන් මගේ කුස කවදාවත් පිරී ගියේ නෑ. රසනහර පිනාගිය කෑමක් ලැබුණ කලක් මතක නෑ. අනික ගවමස් සහ සිංහ මස් මාරුවෙන් මාරුවට කන්න තිබේ නම් කොපමණ රසයක් දැනේවි ද? එසේ වාසනාවක් ගොඩනඟා ගන්නේ කෙසේද යනුවෙන් ඔහු නිතර කල්පනා කළා.

මහණෙනි, දවසක් ඔහුට මෙහෙම සිතිවිල්ලක් ආවා. මම දෙදෙනාගේ ම තොරතුරු හො¼දින්ම දනිමි. සිංහයාගේ අගුණ ගවයාටත්, ගවයාගේ අගුණ සිංහයාටත් පවසා දෙදෙනා තරහ කර, ගැටුම් ඇති කර ඔවුන් මරණයට පත් කළ හැකියි හිතුවා.

ඔහු එසේම කළා. දෙදෙනා විරසක වී නිතර ගැටුම් ඇති කර ගත්තා. මෙය දුටු ගව හිමියා රජු හමුවී සියලු පුවත් දන්වා සිටියා. රජතුමා වහා අශ්ව රථයෙන් එතැනට පැමිණ බලන විට දෙදෙනා ම මිය ගොස් තිබුණා.

සිංහයාගේ ශරීරයට ගොඩ වන කැනහිලා උගේ ශරීර මාංශ කැබැල්ලක් කඩා කා අනතුරුව ගවයාගේ පිටට පනියි. ගවයාගේ ශරීර මාංශ කැබැල්ලක් කා සිංහයාගේ ශරීරය මතට පනියි. මෙහෙම දෙදෙනාගේම ශරීර මාංශවල රසවිඳිමින් සිටියා.

බලන්න මහණෙනි, සිංහයා කන්නේ මාංශ, ගවයා කන්නේ තණ කොළ., සිංහයා සංවාසය කරන්නේ සිංහ ධේනුව සමග, ගවයාගේ සංවාසය වන්නේ ගව ධේනුවක් සමග, ඔවුන් දෙදෙනාගේ මරණයට හේතුව ආහාරවත්, ස්තී‍්‍රන්වත් නොවන බව මෙයින් හො¼දින්ම පේනවා.

මහණෙනි, දෙදෙනාගේ මරණවලට එකම හේතුව කේලාම් ඇසීමයි. කේළාම් යනු දෙපැත්ත කැපෙන තියුණු කඩුවක් හා සමාන යි. වහා ඇවිලී යන ගින්නක් හා සමානයි. මහණෙනි, එම නිසා කිසිවිටකත් කේළාම් ඇසීම හෝ කීම නො කළ යුතුයි. මෙලොවත් පරලොවත් විනාශවීමට හේතුව එයයි. මිතුරන් ඈත් කිරීමටත්, හතුරන් වැඩිකර ගැනීමටත්, සම්පත් විනාශ කර ගැනීමටත්, චිත්ත සන්තුෂ්ටිය නැතිවීමටත්, සැක කිරීමටත්, දොස් පරොස් කීමටත්, බොරුකීමටත් හේතුව කේලාම් කීම සහ කේළාම් ඇසීමයි යනුවෙන් දම්සභාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට ධර්මාවවාද කරමින් ජාතක කතා දේශනාව අවසන් කළා.

අනතුරුව මෙසේ ද පවසා සිටියා ‘‘මහණෙනි, එකල රජ්ජුරුවෝ වූයේ බුදු වූ මම්ම වේ, සිංහයා, ගවයා සහ කැනහිලා වූයේ මෙකල ඡබ්බග්ගිය භික්ෂූන් ම ය.