Print this Article


පින් පිරෙන කුසල් වැඩෙන පින්බර වස් සමය

පින් පිරෙන කුසල් වැඩෙන පින්බර වස් සමය

" බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේවස් එළඹීමට පෙර බුදුරදුන් හමුවී චරිතානුකූල ව කමටහන් ලබාගෙන නගරයෙන් ඈත පිටිසර පළාතකට ගොස් වස් එළඹ ඒ තෙමස තුළ කමටහන් වඩා සෝවාන් ආදී මාර්ග පලයන්ට පැමිණෙති."

වසරකට වරක් වස් සමාදන්වීම භික්ෂූන් වහන්සේගේ කාර්යයකි. එයට දායකයන්ගේ ආරාධනාවක් අනවශ්‍ය ය. දායකයන්ගේ ආරාධනාවක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂුව වස් සමාදන්වීම කළ යුතු ය. වස් වසනවා යනු තුන් මාසයක් එකතැනක වසන්නෙමි යන අදහස යි.

වස් වැසීමත් මහජන හඬට කන්දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදයකි. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ ඇසළ මාසයෙන් පසුව ඇති වන වර්ෂා කාලය ඉතා බැරෑරුම් ය. පීඩාදායක ය. ඒ අනෝරා වැස්සේ බුදු සසුනේ භික්ෂූහු ආදියේ ගමන් බිමන් ගියහ. පිණ්ඩපාතයේ ගියහ. මේ පිළිවෙතට මිනිස්සු විරෝධය පළ කළහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කෙනෙක් තීර්ථක වැනි කොටස් වස්සාන කාලයේ එක්තැනකට වී සිටීමේ ආදර්ශය දුන්හ. මේ ආදර්ශයත්, මහජන විරෝධතාවයත් භික්ෂූන් වහන්සේට වස් විසීමට පෙළඹ වූ බව පෙනෙයි. සෑම වර්ෂයක ම ඇසළ පසළොස්වක දවසට පසුවදා වස් එළඹිය යුතු ය. මාස හතරකින් යුක්තවන වස්සාන සෘතුවේ දී පළමු තුන් මාසය එක් තැනකට වී මහණදම් රැකීම වස් එළඹීම වශයෙන් නියමය වේ.

වස් එළඹෙන්නහු විසින් වහළක් ඇති, අරින්න වහන්න පුළුවන් දොරක් ඇති සෙනසුනකම වස් එළඹිය යුතු ය. සෙනසුනක් නැතයි වස් නොඑළඹ සිටිනු අයුතු ය. සෙනසුනක් නැත්නම් අත් උදව්කාරයකු සොයා දායකයකු සොයාගෙන සෙනසුනක් තනවා ගත යුතු ය. අත් උදව්කාරයකු නැතිනම් තමන් විසින් හෝ සෙනසුනක් තනා ගත යුතු බව විනයාලංකාර ටීකාවේ උගන්වා ඇත. නවත්වා ඇති නැවක හෝ වස් විසීම කළ යුතු ය. එය ද විනයානුකූල ය.

වස් දෙකකි. පෙර වස් හා පසු වස් යනුවෙනි. පෙර වස් යනු ඇසළ පොහොය දවසට පසුවදා වස් එළඹීමයි. පෙර වස් වැසීමට නොහැකි වූ භික්ෂුවක් ඇසළ මාසය ගත වූ පසුව අනතුරුව එන චන්ද්‍ර මාසයේ පළමුවනදා වස් විසිය යුතු ය. ඒ පසුවස් විසීමයි. පෙර වස් එළඹ තුන් මාසයක් වස් රැක ගතහොත් ඒ භික්ෂුවට කඨින චීවරයක් ලැබීමේ අයිතිය හිමි වේ. මෙසේ වස් එළඹෙන භික්ෂුව සතිකරණයෙන් යුක්ත විය යුතු ය. සිහියේ තබා ගැනීම මේ වස් කාලය යි. මම වස් එළඹ ඇත්තෙමි යැයි නිතර සිහිකටයුතු ය.

වස් කාලය තුළ වෙනදා මෙන් ගමන් බිමන් නොකළ යුතු ය. තම මව, පියා, සහෝදරයා, සහෝදරිය අසනීපයෙන් වෙසෙන්නේ යැයි දැන ගතහොත් ඒ අය බලන්නට යා හැකි ය. තමන්ගේ ගුරුවරයා, උපාධ්‍යයන් වහන්සේ බැලීමට යා හැකි ය. වත් මානත් දීමාදී විනය කර්මයක් කිරීම ඇත්නම් එයට යා හැකි ය. එසේ යා යුත්තේ ද සතියක් ඇතුළත වස් එළඹි ස්ථානයට පැමිණෙන්නෙමි යන සතිකරණයෙන් යුතුව ය. සත්වන දින අරුණ නැඟෙන්නට පෙර තමන් වස එළඹි ස්ථානයට පැමිණිය යුතු ය. සමීපයේ අති ආරාමයකට ගොසින් තමන් වස් එළඹි ස්ථානයට අරුණ නැඟීමට පළමු පැමිණෙන අදහසින් පිටත්වී එන අතර මඟ දී අරුණ නැඟුණහොත් වස් නොකැඩේ. වසට උපද්‍රවයක් නැත. ආරාධනාවකින් යුතුව ගමනක් වඩින භික්ෂුවක් සත්වන දවසේ අරුණ නැඟීමට පෙර වස් එළඹි ස්ථානයට පැමිණිය යුතුම ය. එසේ නොපැමිණියහොත් වස් එළඹීම පලුදු වේ. යම්කිසි භික්ෂුවක් දෙපළක වස් විසුවොත් මෙහි දෙවැන්නෙහි වාසය කරන්නෙමි’යි ළඟ සීමාවෙන්නික්ම යන කල්හි ම පළමුවන සෙනසුන ගැනීම යටපත් වේ. ඒ නිසා එක භික්ෂුවකට එක වසරක දී එකම තැනක මිස දෙපළක වස් එළඹිය නොහැක. කෙනෙක් ආරාමයක් වස් විසුවායින් වෙනත් භික්ෂුවක් පසු වී අවුත් වස් වසන්නට ඉල්ලුවහොත් මෙහි කලින් භික්ෂුවක් වස් එළඹ සිටීයි ද, වෙන තැනක් සොයා ගන්නැයි ද කිව යුතු ය.

අද වස් එළඹීම කරන්නේ රාත්‍රී කාලයේ ම ය. ඒ දායකයන් පැමිණ වස් ආරාධනා කිරීම, අද සිරිකත් බැවිනි. වස් එළඹීම රාත්‍රී කාලයේ ම කළ යුතු නැත. ඇසළ පසළොස්වක ගෙවී අරුණ නැගී පසුව උදේ හෝ දවල් හෝ වස් එළඹීමට පුළුවන. ආරාමයක වස් එළඹෙන්නේ නම් “ඉමස්මිං විහාරෙ වස්සං උපෙමි’ යනුවෙන් ද නැවත ආදී තැනක වස් එළඹෙන්නේ නම් ඉධ වස්සං උපෙමි යනුවෙන් ද අධිෂ්ඨානයෙන් යුතුව වස් සමාදන් විය යුතු ය.

බුද්ධ කාලයේ වස් එළඹීමේ මූලික සිද්ධාන්තය අද යල් පැන අක්‍රියාත්මක වී ඇත. බුද්ධ කාලයේ භික්ෂූන්ගේ වස් එළඹීමට පෙර බුදුරදුන් හමුවී තමන්ගේ චරිතානුකූල ව කමටහන් ලබාගෙන නගරයෙන් ඈත පිටිසර පළාතකට ගොස් වස් එළඹ ඒ තෙමස තුළ කමටහන් වඩා සෝවාන් ආදී මාර්ග පලයන්ට පැමිණෙති. පැමිණ වස් හමාර වීමෙන් පසුව නැවත බුදුරදුන් හමුවී තමන්ගේ තොරතුරු කියති. සමහරවිට මෙසේ කමටහන් ලබාගෙන යන භික්ෂූන්ට සැප පහසු සේනාසනයක් නොලදහොත් කමටහන් වඩන්නට නොහැකි ව හිස් අතින් ආපසු එති. මෙසේ භික්ෂූන් වහන්සේල කමටහන් ගෙන ගම්බද පළාත්වලට යාම නිසා සැදැහවත් බෞද්ධයෝ උන්වහන්සේලාට සිව්පසයෙන් පූජා කර පින් ලබා ගනිති. ඒ පිළිබඳ විවිධ කතාන්දර ත්‍රිපිටකයේ සඳහන් වේ. එදා බොහෝ භික්ෂූන් වස් කාලයේ නගරයෙන් ඈත් වූහ. ඒ තමන්ගේ සසර විමුක්ති සඳහා ය. අද මෙය වෙනස් වී ඇත. අද අවම වශයෙන් වස් කාලය තුළ මම මේ ධූතාංගය සමාදන් ව එය රකිමියි, අධිෂ්ඨාන කර රකින භික්ෂුවක් වත් නැත. වස් කාලය තුළ පන්සල්වල නිතිපදා පිරිත් බණ සජ්ඣායනා කරමින් දායකයන් යහමඟට ගන්නා උත්සාහයක් අද පවතී.

බුදුරදුන් දවස ඇසළ මාසයේ වස් එළඹීමට භික්ෂූහු සූදානම් වූහ. ඇසළ මාසය දඹදිව සැණකෙළි මාසය යි. ජාතක පොතේ මේ පිළිබඳ නොයෙක් කතා එයි. මහාමායා දේවිය ඇසළ සැණකෙළියට සූදානම් වූ බව දැක්වේ. ගිරග්ග සමජ්ජ උත්සවය පවත්වන්නේ ද ඇසළ මාසයේ ය. මෙසේ ඇසළ මාසය සැණකෙළි මාසය නිසා බිම්බිසාර රජු ඇසළ මාසය වස් නොඑළඹ මාසයක් කල් යවන මෙන් භික්ෂූන්ගෙන් ඉල්ලීය. භික්ෂුහු බුදුරදුන් විමසූහ. බුදුරදුන් වදාළේ රාජ නියමට අනුව කටයුතු කරන්න කියා ය. වස් එළඹීම පිළිබඳව එසේත් සිදු වී ඇත. මේ කරුණු අනුව වස් එළඹීම භික්ෂූන්ගේ නියමිත කාර්යයක් විනා දායකයන්ගේ කාර්යයක් නොවේ. වස් කාලය තුළ සිව්පසයෙන් උපස්ථාන කොට කුසල් සිදුකර ගැනීමට දායකයන්ට අවස්ථාව තිබේ.