Print this Article


අංගුත්තර නිකායෙන් 16 ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් 16:

ඒකක නිපාතය

සූත්‍ර අංකය - 58

පමාද සූත්‍රය

මහණෙනි, යම් කරුණක් හේතු කොට ගෙන නූපන්නා වූ අකුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ කුසල ධර්මයෝ පිරිහෙත් නම් ප්‍රමාදය (සිහිමුලාව) වැනි අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාද වූ පුද්ගලයා තුළ (පෙර) නූපන් අකුසල ධර්මයෝ උපදිත්, උපන්නා වූ කුසල ධර්මයෝ වෙත් ද පිරිහෙත්.

අටුවාව - මෙහි ප්‍රමාදය (සිහිමුලාව) කවරේද? කාය හෝ වචී හෝ මනෝ හෝ දුශ්චරිතයන්හිද, පඤ්චකාම ගුණයන්හිද හැසිරීමට සිතට ඉඩදීමය. තවද කුසල ධර්මයන්ගේ වැඩීමට ඉඩ නොදීම ය.

සූත්‍ර අංකය - 59

අප්පමාද සුත්‍රය

මහණෙනි, යම් කරුණක් හේතු කොටගෙන නූපන්නා වූ කුසල ධර්මයෝ උපදිත් ද, උපන්නා වූ අකුසල ධර්මයෝ පිරිහෙත් ද මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. අප්‍රමාද වූ පුද්ගලයා හට, නූපන්නා වූ ද කුසල ධර්මයෝ උපදිත්. උපන්නා වූ අකුසල ධර්මයෝ වෙත් ද පිරිහෙත්.

සටහනකි - බුද්ධ භාෂිත 84,000 ක් ධර්මස්ඛන්ධයෝ මේ එක් දහම් පදය තුළ සංග්‍රහය වී ඇත. පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “මහණෙනි දැන් ඔබලා අමතමි. සංස්කාරයෝ (සියල්ල) නැසෙන සුළුහ. (එබැවින්) නො පමායෙන් (එළැඹුවූ සිහියෙන්) කළයුතු දෑ (රහත් බව පිණිස) සපුරන්න,” යනුවෙන් වදාළේ මේ උත්තරීතර “අප්පමාද” දහම් පදයේ ශ්‍රේෂ්ඨතර බව ය. (දීඝ නිකාය 2 පිට 244)

සූත්‍ර අංකය - 60

කෝසජ්ජප සූත්‍රය

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ අකුසල් දහම් ඉපදීමටත් උපන්නා වූ කුසල් දහම් පිරිහීමටත් හේතුවේ නම් මහණෙනි, කුසීත (අලස - කම්මැලි) බව වැනි අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුසීතයාට හට නූපන්නා වූද අකුසල ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුසල ධර්මයෝ පිරිහෙත්.

සයවෙනි පභස්සර වර්ගය නිමි.