Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 37: රජතුමාගේ අවසාන ඉල්ලීම් ඉටුවේ

දුටුගැමුණු මහ රජතුමා - 37:

රජතුමාගේ අවසාන ඉල්ලීම් ඉටුවේ

“දැන් අප කළ යුතු ප්‍රධාන කාර්යයන් දෙකක් තිබෙනවා.

පළමුව රජමාලිගයට ගොස් අමාත්‍ය මණ්ඩලය හමුවිය යුතුයි. දෙවනුව සම්මන්ත්‍රණ ශාලාවට ගොස් මහා සෙනෙවි මණ්ඩලය හමුවිය යුතුයි. ගෙන්වා ගත හැකි උපරිම සෙනෙවිවරුන් පිරිස රාත්‍රී නවය වන විට ගෙන්වා ගත යුතු බව නන්දිමිත්‍රට පවසන්න . “

“රජතුමාගේ ආදාහන කටයුතු හෙට දිනයේදී සිව් රඟ සේනා පමණක් යොදාගෙන කිරීම වඩාත් සුදුසු බවයි මගේ අදහස. “

“මම ඒ අදහස අනුමත කරනවා. නමුත් විහාරමහා දේවියත් අමාත්‍ය මණ්ඩලයත් හමුවී අදහස් පවසන්නට ඕනේ. දුටුගැමුණු කුමාරයා එන තුරු දේහය ආදාහනය නොකළ යුතු බවට තීරණයක් ගැනුනොත් එය ගැටලුවක්.”

“කුමන තීරණයක් ගැනුණත් අප රජ මාලිගයට යමු.”

මහාසිව මාහිමිපාණෝත්, ත්‍රිපිටක තිස්ස හිමියෝත් ශෝකයෙන් පිරුණු හදවතින් රජමාලිගය දෙසට ගමන් කළහ. මාලිගය අභියසදී ආරක්ෂක භට පිරිසකුත්, සෙනෙවිවරුන් කිහිප දෙනෙකුත් මාහිමිපාණන් වහන්සේලාගේ දෙපා වැඳ පිළිගත්හ. අනතුරුව සියලු දෙනාම රජතුමා ගිලන් ව විසු කුටිය වෙත පැමිණියහ. විහාරමහා දේවියත්, තිස්ස කුමාරයාත් එහි වුහ. සියලු දෙනා නැඟිිට උන්වහන්සේලාට අසුන් පිළිගැන්වුහ.

“මේ අවස්ථාවේ දුටුගැමුණු කුමාරයා නොසිටීම විශාල පාඩුවක්. ඔහුට රජතුමාගේ මරණය ගැන දන්වන්නට කිසිවකු කටයුතු කර නැහැ නේද ?.”

“එහෙමයි මහා ස්වාමින්වහන්ස, රජතුමාගේ රෝගී තත්ත්වය නිසා ඒ ගැන වෙහෙසෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මහා ස්වාමින්වහන්ස, රජතුමා මියයන්නට පෙර කළ ඉල්ලීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න එතුමාගේ දේහය එක දිනකට වඩා තබා නොගැනීම. දෙවැන්න මහා රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ආදාහනය සිදුකිරීම.”

“දේවියනි, ඒ කාරණා දෙකම ඉටු කළ හැකියි.”

“මහා ස්වාමින්වහන්ස, පිය රජතුමාගේ ඉල්ලීම අනුව හෙට හවස ආදාහන කටයුතු කිරීම හොඳයි. කැලණිය, දීඝවාපිය, සිතුල්පව්ව ඇතුළු විහාරස්ථාන වලින් වඩින මහා සංඝයා වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි අවශ්‍ය කටයුතු යොදවන්නම්. “

“ඔව් අපේ අදහස අනුව නම් මෙහි වඩින භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යාව හැට දහසකට අධික විය හැකියි. උන්වහන්සේලා පිළිබඳ සියලු කටයුතු සිලාපස්ස පිරිවෙනේ සිදුවේවි. තුර්ය වාදක කණ්ඩායම් සහිතඇත්,අස්, පාබල සේනාංකය බැගින් එම අවස්ථාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. සියලු ආදාහන කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමයි අපේ අදහස. ඒ සඳහා විහාර භුමියේ නැඟෙනහිර කොටස යොදා ගන්නට පුළුවන්. සියල්ල ඉතා සන්සුන්ව විධිමත්ව සිදුවිය යුතු බව අවධාරණය කරනවා. මීළඟ පියවර කිහිපය ගැන කතා කරන්නට සෙනෙවිවරුන් සමඟ සම්මන්ත්‍රණ ශාලාවට රැස්වන ලෙසට අපි නන්දිමිත්‍රට පණිවිඩයක් යැවුවා.”

“මහා ස්වාමින් වහන්ස, ඒ සියලු දෙනා දැන් රැස්වීම් ශාලාවට රැස්ව සිටිනවා. අමාත්‍යවරුන් එතැනට එක්වේවි.”

අනතුරුව මහා ස්වාමින්වහන්සේලා දෙදෙනා රැස්වීම් ශාලාවට ඇතුළු වුහ. සියලු දෙනා ආසනවලින් නැගිට උන්වහන්සේලාට ගෞරව දැක්වුහ. මහාසිව මාහිමිපාණෝ කතාව ආරම්භ කළහ.

“රජතුමාගේ අභාවය පිළිබඳ පුවත රටවැසියනට දැනුම් දෙනවාද නැද්ද ? යන්න තීරණය කළ යුතුයි. දුටුගැමුණු කුමාරයා මේ අවස්ථාවේදී ගෙන්වා ගැනීම කළ යුතුම කාරණයක්. කුමක්නිසාද යත් පිය රජතුමාගෙන් පසුව මාගම රාජ්‍යයේ හිමිකාරයා ඔහු නිසායි. දුටුගැමුණු කුමාරයා ගැන දන්නා කවුරුත්ම මේ සභාවේ නැද්ද ? “

“ඇයි නැත්තේ “ “වැඩියෙන්ම දන්නේ වේළුසුමන, ඊළගට සුරනිමල,” භරණ කතා කළේ කෝපයෙනි.

මේ ප්‍රකාශයෙන් සුරනිමල අපහසු තත්ත්වයට පත්විය. රාජ්‍යයේ චර පුරුෂ සේවය භාරව සිටින ඔහු තමා දන්නා සියලු තොරතුරු රජතුමාටත්, රජ බිසවටත් හැර පිටස්තර කිසිවකුටත් නොපැවසීම සිරිතකි. සේනාධිපතිවරුන්ට වුවද යම් තොරතුරක් දෙන්නේ රජතුමාගේ අවසරය මත පමණි.

“සුරනිමලගෙන් මේ විස්තර අහන එක වැරදියි. නමුත් අඩුම වශයෙන් දුටුගැමුණු කුමාරයා සිටින ප්‍රදේශයක්වත් දැනගැනීම මේ අවස්ථාවේ වැදගත්.”

“මහතෙරුන්වහන්ස, ලබාගත් තොරතුරු අනුව ගැමුණු කුමාරයා විවිධ තැන්වල විවිධ නම්වලින් පෙනී සිටිනවා. ඒ නිසා හඳුනා ගන්නට බැහැ. මා ඒ බව දැනුම් දී තිබෙනවා.

“ඌරුපැලැස්සේ ගෙදර ගොවි නායකයාගේ හරක් බලා ගන්නා හිද්දලයා නම් තරුණයකු ගැන අහන්නට ලැබුණා. එහි ගොස් ඔහු ගැන සොයා බැලුවා. හිද්දලයා දැන් කුඹුරු කරන්න පටන් අරගෙනලු. ඒ ගෙදර බාල දියණිය රන් මැණිකා එක්ක දීග කනවලු. ඒ දුටුගැමුණු කුමාරයා විය නොහැකි නිසා අපි ආපසු ආවා.”

“දුටුගැමුණු කුමාරයා උත්තිය රජ මාළිගයට ගිය බවට තොරතුරු දැන ගන්නට ලැබුණා. ඒ අනුව අපේ චරපුරුෂයන් එහි ගොස් සිටිනවා.”

මහාසිව මාහිමිපාණන් මේ සියල්ල සාවධානව අසා සිටියේ ය. අනතුරුව කතා කළේ ය.

“අපි හිතමු හිද්දලයා ගැමුණු කුමාරයා කියලා. ඌරුපැලැස්සේ ගෙදර බාල දියණිය සමග දීග ගියේ ගැමුණු කුමාරයා කියලා සිතමු. කාටද පුළුවන් අපේ පණිවුඩය කුමාරයාට ගෙනියන්න.”

“ගිරිනුවර දාව ආචාර්යතුමාට රාජ්‍ය පාලනයට උපදෙස් ලබාදෙන හීපත් යවන්නේ ගුත්තාහල කඳවුරෙන්ලු. වේළුසුමන සති දෙකකට වරක් එහි යනවා. ඒ නිසා වේළුසුමනට කියමු ගැමුණු කුමරු හැකි ඉක්මනින් මෙහි කැඳවාගෙන එන්නට කියලා. “

“මාහිමිපාණන් වහන්ස, ඒ අදහස හොඳයි. ඒත් දෛවයේ සරදමක් ලෙසින් ඔහු අතුරුදහන් වෙලා. “

“අපට වගකිවයුතු රාජකාරි රාශියක් තිබෙනවා. ඒවා එකින් එක කතා කරන්නට දැන් කාලයක් නොවෙයි. සියලු දෙනාම හෙට හවස තිස්සමහා විහාර භූමියට පැමිණිය යුතුයි. “

මහා ඇමතිතුමාගේ නිවේදනයෙන් පසු සියල්ලෝම විසිර ගියහ. නන්දිමිත්‍රත්, සුරනිමලත්, මහනෙලත් මාහිමිපාණන් වහන්සේලාට පසු පසින් විහාරය දක්වා ගමන් කළහ. කතාවෙන් බහෙන් සියලු දෙනාම තිස්සමහාරාම විහාරයට පැමිණියහ. මහනෙල ආපසු එන්නට අවසර ගන්නට සුදානම් වුවා පමණකි. වේගයෙන් අසු පදවමින් විහාරය දෙසට එන වේළුසුමන ඔවුනට දක්නට ලැබිණි.

අසු පිටින් බැසගත් වේළුසුමන මාහිමිපාණන් වහන්සේලාගේ දෙපා වැඳ සමාව ඉල්ලා සිටියේය. “සමාවනු මැනවි මහා ස්වාමින්වහන්ස, රජතුමාට අසාද්‍ය බව රාජකීය වෛද්‍යවරයාගෙන් දැනගත් වහාම ඌරුපැලැස්සේ මහා ගෙදරට ගියා. දුටුගැමුණු කුමාරයා හමුවන්නට බැරිවුණා. “

“ඉතින් තොප ප්‍රමාද වුයේ ඇයි ?”

“කුමාරයා ගැන තොරතුරු දැන ගැනීමේ අදහසින් ගිරිනුවරට ගියා. දාව ආචාර්යතුමාට හීි පතකින් හෝ දුටුගැමුණු කුමාරයා තමාගේ බැහැර යාම දන්වා ඇතැයි සිතුවා. “

“දාව ආචාර්යතුමා හමුවුණා. දුටුගැමුණු කුමාරයා කලින් සිටි ප්‍රදේශයේ දැන් නැති බව කිව්වා.” “රජතුමාට අසාද්‍යයි. රජතුමා මියයන විට දුටුගැමුණු කුමාරයා නොසිටියහොත් සිදුවන්නේ කුමක්දැයි මම ආචාර්යතුමාගෙන් විමසුවා. එවිට ඔහු දුන් පිළිතුර අසා මම පුදුමයට පත්වුණා.”