Print this Article


ආධ්‍යාත්මික ශක්තියෙන් වසංගත හා අභියෝග ජය ගනිමු

ආධ්‍යාත්මික ශක්තියෙන් වසංගත හා අභියෝග ජය ගනිමු

ජීවිතයට අභියෝග රාශියකි. බුදුරදුන් දුක්ඛ සත්‍ය ලෙස පුළුල් ව දේශනා කළේ උපතේ දී හා ජීවත්වීමේ දී මුහුණ දෙන ගැහැටයන් පිළිබඳව ය. එම දුක්ඛයන් අතර ලෙඩවීම, පි‍්‍රයයන්ගේ වෙන්වීම සහ පතන දේ සිදු නොවීම ප්‍රධාන ය. රෝග, සාගත, දුර්භික්ෂ තුළින් ඉහත සඳහන් කළ කාරණාවන්ට අඩුවැඩි වශයෙන් මුහුණදීමට සිදුවේ.

මෙවැනි තත්ත්වයනට මුහුණ දීමට සිදුවීම අනවශ්‍ය කළකිරීම්වලට හේතු කරගත යුතු නොවේ. ඒ මත ආතතිය හෝ ඉච්ඡා භංගත්වය ඇතිකර ගැනීම නුසුදුසු ය. අසුබවාදී ව සිතීම හෝ යතාර්ථයෙන් ඉවත්වීම තුළ කිසිදු ගැටලුවකට විසඳුම් නොලැබේ.

අද දවසේ පමණක් නොව අතීතයේ නොයෙක් සාගත වසංගතයන්ට අපි මුහුණ දී ඇත්තෙමු. ඒ වෙනුවෙන් කළයුතු කාර්යයන් පාලක පාලිත දෙපක්ෂයම නොපිරිහෙළා ඉටුකිරීම ඉතා වැදගත් වේ.

සාගත, වසංගත, රෝග, අමනුෂ්‍ය බිය කියූ සැනින් අපේ සිහියට එන්නේ විශාලා මහනුවර ඇති වූ තුන්බිය අවස්ථාවයි. මීට අමතරව ලංකාව තුළ මෙවැනි අවස්ථා රාශියක් හඳුනාගත හැකි වේ. ඒ සියලු තත්ත්වයන් මනා සිහියෙන් පාලනය කරගත් අවස්ථා නො අඩුව හඳුනාගත හැකි ය. ඒ අතර ප්‍රධාන අවස්ථා කිහිපයකින් මේ කරුණ සනාථ කර ගැනීම යෝග්‍ය වේ.

සාගත පිළිබඳ හඳුනාගැනීමේ දී මුල් ම සාගතය පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ ගැමුණු රාජ්‍ය කාලයේ දී ය. මහාවංශයට අනුව සඳහන් වන්නේ ගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේ කටයුතු කරන අවස්ථාවේ දී ය. මෙම සාගතය හැඳින්වූයේ අක්ඛක්චායික සාගතය ලෙස ය. මෙම සාගතය දුරුවීම පිණිස ගැමුණු කුමරු තම කුණ්ඩලාභරණ විකුණා පස්සියයක් රහතුන් වහන්සේ සඳහා ඇඹුල් තනා සහල් කිරිබත් පූජාවක් කළහ. මහාවංශය එය දැක් වූයේ මෙසේ ය.

ඛීණාසවානං පඤ්චන්නං - මහාමේරානමත්තමො
දින්නො පසන්න චිත්තේන - කඬගු අම්බිල පිණ්ඩකො

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කළයුතු දෑ මෙන්ම ආධ්‍යාත්මික ශක්තිය පදනම් කරගෙන යමක් සිදුකිරීම එතුමා තදින් විශ්වාස කළේ ය. එසේම එවැනි අසීරු මොහොතක තමන් ද පරිත්‍යාගශීලීවීම වැදගත් කොට සැලකීය. යම් විටෙක නායකත්වය එසේ කටයුතු කරන විට අනුගාමිකයන් රටවැසියන් එය ආදර්ශයට ගනු ලබයි. මෙසේ සියල්ලෝ සාමූහිකව යහපත් ශක්තිය යෙදවීම යම් අභියෝගාත්මක අවස්ථාවකට ඉතා වැදගත් ය.

ක්‍රි.ව. 2 වන සියවසේ දී කුංචනාද රාජ්‍ය කාලයේ ඒක නාලික හෙවත් එක්නැලිසාය නිසා වසර දෙකක පමණ කාලයක් ජනතාව පීඩාවට පත්වූහ.

එය එතරම්ම පීඩාකාරී නොවූ අතර ධාර්මිකත්වයේ පිනෙන් කටයුතු කිරීම සහ දරා ගැනීමේ ශක්තිය මත ඉන් සිදු විය හැකිව තිබූ හානිය අවම කර ගත්හ.

සංඝබෝධි රාජ්‍ය කාලයේ සාගතයක් ඇති වූ අතර රජූ සහ රටවැසියා එයට සාර්ථකව මුහුණ දුන්නහ. විශේෂයෙන් වාරි කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් එහිදී යොමුවිය.

රජු අධිෂ්ඨානශීලීව සහ කරුණා ගුණයෙන් සීලය මත පිහිටා කටයුතු කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි. සීලයෙහි පිහිටා එය සත්‍ය ක්‍රියාවක් බවට පත්කරගත හැකි නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ පවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, ආත්මලාභය අනෙකා පාගා දැමීම වැනි අයහපත් සිතිවිලි තුළ ජීවත් වන්නේ නම් අධිෂ්ඨානයක් සිදු කළ නොහැකි ය. මේ තත්ත්වය මනාව තේරුම්ගත යුතුව ඇත. සංඝබෝධි රජු එය මනාව තේරුම් ගත් බව මහාවංශය සාක්ෂි දරනු ලැබේ. එමෙන්ම මෙකල රක්තාක්ෂි නම් භයානක රෝගයක් ද පැවතුණි. ඒ තුළ රෝග බිය ඇතිවිය. මෙය යකෙකුගේ බලපෑම මත ඇතිවන්නක් බව ද විශ්වාස කළහ. ඇස් රතුවූ මිනිස්සු මරණයට පත්වූහ. මේ තුළ අමනුෂ්‍ය බියක් ද නිර්මාණය වූහ. දුර්භික්ෂය මත ජනයා පීඩාවටපත් වූ අවස්ථාවේ රජු මහ සෑ මළුවේදී මෙසේ අධිෂ්්ඨානකොට වාඩි වූහ. “වැසි වැස මා ජලයෙහි පා වී ගියහොත් මිස මෙතැනින් නොනැඟිටිමි’ රජුගේ එම සත්‍ය ක්‍රියාවේ බලය මත වැසි වැස ඇතිවූ තිබූ තුන්බිය දුරු විය.

ක්‍රි.ව. 4 සියවසේ රාජ්‍ය විචාළ උපතිස්ස රාජ්‍ය කාලය තුළ ද දුර්භික්ෂයක් ඇති වූ බව මහාවංශය සඳහන් කරයි. ඒ අවස්ථාවේ දී රජු මහ සඟරුවනින් විමසා සිටියේ මෙවන් තත්ත්වයකදී කුමක් කළ යුතු ද යන්නයි. භික්ෂූන් වහන්සේ රජුට අනුශාසනා කළේ ගංගා රෝහණ පූජාව සිදු කරන ලෙසයි. එහිදී උන්වහන්සේලා රජුට ගංගා රෝහණ උත්පත්තිය පැහැදිලි කළහ. එනම් රතන සූත්‍ර නිධානයයි. රජු එයට බොහෝ සතුටු වී රුවන්වැලි සෑ මලුවේදී රතනසූත්‍ර සජ්ඣායනාව සිදුකොට පිරිත් පැන් ඉසීමට කටයුතු කළහ.

පෙර සඳහන් කළ සංඝ බෝධි රජු ද මෙසේම වීථි, වීථි පාසා පිරිත් පැන් ඉසීමටත් අනාගතයේ යම් උවදුරක් ඇතිවන්නේ ද මේ අයුරින් ක්‍රියාත්මක වෙන්න යනුවෙන් ආඥාවක් ද පැනවූහ. මෙසේ පිරිතේ බලය ලබා ගැනීමට නම් සියල්ලෝම ගුණයෙහි හා සීලයෙහි පිහිටිය යුතු ය. උදාහරණයක් ලෙස සඳහන් කළහොත් ජින පඤ්ජර (බුදු කුටිය) පිරිත අපට ආරක්ෂාව ලබා දේ. එහෙත් හදයෙ අනුරුද්ධොච ආදී වශයෙන් රහතන් වහන්සේලා තම ශරීරයේ පිහිටුවීමේ දී උන්වහන්සේලා පිහිටුවීමට හදවත ඇතුළු ශරීර කොටස් සුදුසු විය යුතු ය. එසේ නොවන විට පිරිත වුවද හුදු වචන බවට පත් වේ. උපතිස්ස මෙන්ම සංඝබෝධි රජවරු ඒ ප්‍රතිපත්තියෙහි තමන් පිහිටා රටවැසියන් ද පිහිටවූහ. සියල්ලෝම එහි බැරෑරුම් බව තේරුම්ගෙන වගකීමෙන් කටයුතු කළහ. වර්තමානයේ වුව ද තමන්ගේ ප්‍රමාණයෙන් එසේ සිදු කළ හැකි ය. දවස් 14 ක නිරෝධායන කාලයකදී වුවත් බලවත් ශාරීරික ආබාධයක් නොපෙන්වන්නේ නම් පෙහෙවස් සමාදන්ව සිටිය හැකි ය. නතර කළ යුතු වන්නේ දෙතිස් කතා පමණි.

ක්‍රි.ව. හයවන සියවසේ දී සිලාකාල රාජ්‍ය යුගය මෙන්ම මේඝවර්ණාභය රජතුමාගේ කාලයෙහි සාගත තත්ත්වයක් ඇති විය. මෙහිදී මේඝවර්ණාභය රජු වෙඬරු පැණි කිරිබත් දානයක් පූජා කළ බව මහාවංශයෙහි සඳහන් වේ. මේ තුළ මහත් ආශිර්වාදයක් ලැබූ බව සඳහන් ය.

දෙවන උදය පස්වන කාශ්‍යප රාජ්‍ය කාලය තුළ ද වසංගත තත්ත්වයන් ඇති විය. දෙවන පරාක්‍රමබාහු පළමු බුවනෙකබාහු රාජ්‍ය කාලය ද එසේම ය.

මේ සියල්ල අතර මහත්ම බලපෑම් ඇති වූ සාගතය බැමිණිටියා සාගතයයි. එය වසර 12 කි. වළගම්බා රාජ්‍ය සමය තුළ සිදු වූ මේ සාගතය නිසා රෝග බිය මෙන්ම අමනුෂ්‍ය බිය නිර්මාණය විය. මෙහි තිබූ ඉතා බැරෑරුම් බව රසවාහිනිය මෙන්ම සම්මෝහවිනෝදනීය තුළ විස්තර වේ.

මෙය කෙතරම්ම බරපතළ ද යන්න තේරුම් කර ගැනීමට බොහෝ සාධක ඉතිහාසය පුරාවට දක්නට ලැබේ.

සම්මෝහවිනෝදනිය දක්වන්නේ මේ ආකාරයේ අවාසනාවන්ත සිද්ධි ඒකාලය පුරාවට ඇති වූ බවයි. නියඟය රෝග බිය, අමනුෂ්‍ය බියෙන් වෙළී ගිය ලංකා භූමිය එකම කෝලහාලයක් විය. මිනිස්සු ඉතා දුක්ඛිත වූහ. ස්ත්‍රීහු යකින්නියන් වැනි වූහ. ඒ ඒ නිවෙස්වල ගසන අවමඟුල් බෙර හඬින් අඬන්නා වූ මිනිසුන්ගේ ප්‍රලාප ලක්දිව එකම කෝලාහලයක් විය. නියඟය කෙතරම්ම පීඩාකාරී ද පවසතොත් ඉසිදත්ත මහාසෝන හිමිවරු වරින්වර දින 7 ක් මීගෙඩියෙහි පොතු මානෙල්දඬු ඔළිඳ කොළ කරකොල අනුභව කරමින් ජීවිකාව පවත්වාගත්හ. භික්ෂූන් වහන්සේ 24000ක් මේ බිමට අහිමි වූ අතර තව බොහෝ අලාභය සිදු විය.

මේ සියල්ල මෙලෙස සිදුවූවත් එය ජය ගැනීමට අතීත ප්‍රජාව සමත් වූහ. ඒ වෙනුවෙන් උත්සාහය කැපවීම මෙන්ම ආධ්‍යාත්මික ශක්තිය ඉවහල් විය.