Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

සිය පිය රජුගේ මරණයෙන් පසු අජාසත් රජුට කිසි ම දිනක සුව සේ නිදා ගත නොහැකි විය. නිදන්නෙමි‘යි සිතා ඇස් පියා ගත්තේ ද බිය වී පිබිදේ. දෙව්දත් තෙර පොළොව ගිලීම ඇසූ අජාසත් රජු වඩ වඩාත් බිය විය.

සඳ රැස් හොඳීන් පෑයූ රැයක ‘යම් උතුමකු දක්නට යම්‘යි සිතා ඇමැතියන්ගෙන් ඒ පිළිබඳ විචාළේ ය. ඇමැතිවරු “නිගණ්ඨනාතපුත්තාදීන් ගේ නම සඳහන් කළහ. ඒ මොහොතේ රජු පුදුමයට පත්විය. ඒ කොමාරභච්ච ජිවක වෙද හු ද “බුදුරජාණන් වහන්සේ දක්නට යෑම මැනැව‘යි පවසා තිබුණි.

අජාසත් රජු සිය පිරිස් කැටුව ගොස් භාග්‍යවතුන් වහන්සේ දැක පිළිසඳර කතා කොට මහණ දම් පිරීමෙන් මෙම අත්බවයෙහි ලැබෙන ඵල විමසා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ විස්තර කොට වදාළ සේක. අජාසත් රජු ඒ ධර්ම කතාව අසා පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය.

තමා පියාට කළ ද්‍රෝහිකම් සඳහන් කොට ඒවාට ක්ෂමාව ඉල්ලා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ක්ෂමාව දී ආයතිසංවරයෙහි පිහිටීමේ අගය වදාරා රජු සැනසූ සේක. එදා සිට රජුට රාති‍්‍රයේ සුව නින්දක් ලැබීය. පියා ඝාතනය නොකළේ නම් රජු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා අවසානයේ දී සෝවාන් විය හැකි ව සිටියේ ය. අජාසත් රජු ලෞකික ශ්‍රද්ධාවෙන් අග්‍රස්ථානයේ විය.