Print this Article


ඇති වී නැති වන ජීවිතයක හැටි

ඇති වී නැති වන ජීවිතයක හැටි

මනසින් ඇතිවන දුක්ඛ වේදනා විඳ දරා ගන්න බැරිව ශෝක කරනවා. කෑ ගහලා හඬනවා, කායික ව ඇතිවන වේදනා නිසා හඬනවා. ඒ වගේ ම මනසින් ඇතිවන වේදනා දරාගන්න බැරිවුණා ම විලාප නඟමින් කෑ ගසා හඬන්නට පටන් ගන්නවා

“තණ අග රැඳි පිනි බිඳු හිරු උදාවත් ම සිඳී යයි. ජීවිතය ද එවැනි මය. අස්ථිරය. බොහෝ දුක් ගෙන දෙන්නේ ය. දැඩි ආයාස ඇති වන්නේ ය.ඒ බව ප්‍රඥාවෙන් දැන කුසල් කළ යුතු ය. බඹසර හැසිරිය යුතුය. උපන්නාට ජීවත් වී පලක් නැත. මෙහි නුවණින් දැක ගත යුතු වදන් පෙළක් වේ.

“තණ අග තිබෙන පිනි බිඳු හිරු උදාවත් ම වහාම නැතිව යන්නේ ය. එලෙසම මනුෂ්‍ය ජිවිතයත් ඉතාම අල්පයි. කෙටියි.“ කෙටි වූ, අල්ප වූ පමණක් නොවෙයි බොහොම දුක්වලින් පිරී ඇත.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනාවල, මේ දුක පිළිබඳව සඳහන් කරන තැනදී කෙළවර කරන්නේ ‘ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති‘. ජාතිය, උපත හා සමඟ ම දිරාගෙන යෑම, ව්‍යාධිය, මරණ ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස මේවායින් පිරී පවතින්නේ. මනුෂ්‍ය ජීවිතය අල්පය. අප සෑම කෙනකුට ම බුද්ධ දේශනාව ගළපා බලන්න පුළුවනි.

මනුෂ්‍ය ජිවිතය අල්පය, කෙටිය, යම්විටෙක වර්තමානයේ හැටියට අවුරුදු සියයක්, එකසිය විස්සක් වූවත් එය බොහොම කෙටි කාලයකි. මේ කෙටි කාලය තුළ ජරා, මරණ ආදී ඉහත විස්තර කළ දෑ සමඟින් බොහෝ දුක්වෙයි. අවුරුදු සියයක් ජීවත්වන මනුෂ්‍යයෙක් වුවත් ඒ එක් දවසක් ගෙන බැලුවොත්, ඒ දවස් තුන්සිය හැටපස් දවසෙන් සෑම දවසක ම, මේ ශරීරය හෙවත් ජීවිතය පවත්වන්න මොන තරම් දුකක්, ආයාසයක් ඒ වෙනුවෙන් ගන්න ඕනෑ ද?

හරියාකාර නින්දක් නොගතහොත් මේ කයට මොන තරම් ආබාධ ඇතිවන්න පුළුවන් ද? අඩුම තරමේ පහසුවෙන් කය හා මනස පවත්වා ගන්න නම් පැය පහක් හයක්වත් නින්ද දිය යුතු නොවේද? ඒ වගේ ම සෝදා පිරිසුදු කිරීම් ආදී වශයෙන් ලෙඩ දුක්, ආහාර පාන ආදියෙහි කෙළවරක් නැත. වෙලාවට එය නොලැබුණොත් දරාගන්න බැරිතරම් අපහසු ය. ආහාර ලබා දුන්නාට පසුව එය නිසිලෙස දිරවූවේ නැතිනම්, ඉන්පසුව ඊට වඩා දුකකට පත්වෙන්න පුළුවන්. දිරවූ ආහාරයද දුකක් බවට පත්වේ. නැවතත් වේදනාවක් හටගනී.

මේ ආදී වශයෙන් කෙළවරක් නැත. සීමාවක් නැත. ප්‍රමාණයක් නැත.

ඒ වගේ ම නැඟිිටින්න, හිඳගන්න, හාන්සිවෙන්න, දෙපා දිගු කරන්න, දෙපා හකුලන්න මේ ආදී වශයෙන් අප මේ සැප, සැප යනුවෙන් සිතුවත්, සොයාගෙන ගියත්, මේ හැම දෙයක් ම දුකෙහි ම එක් එක්අංග ලක්ෂණයි, අප මේ සැප ලෙසින් දකින්නේ. ඒ නිසා මනුෂ්‍යයින්ගේ ජීවිතය අල්පයි. කෙටියි. මහ දුකකින් පිරිලයි තියෙන්නේ. දැඩි ආයාසයක් ගත යුතුයි. එයයි උපායාස යනුවෙන් සඳහන් කළේ. බලවත් සිත් තැවුල්, කායික දුක්ඛ වේදනා, මානසික දුක්ඛ වේදනා, මොනතරම් තිබෙනවා ද?

මනසින් ඇතිවන දුක්ඛ වේදනා විඳ දරා ගන්න බැරිව ශෝක කරනවා. කෑ ගහලා හඬනවා, කායික ව ඇතිවන වේදනා නිසා හඬනවා. ඒ වගේ ම මනසින් ඇතිවන වේදනා ඒවා දරාගන්න බැරිවුණා ම විලාප නඟමින් කෑ ගසා හඬන්නට පටන් ගන්නවා. කායික වේදනා මනසට දැනුණේ නැති නම් ශෝක හුලක් බවට පත්වුණේ නැතිනම්, එය මනසින් විලාප දෙන තත්ත්වයට පත් නොවී පාලනයකට එන්නට පුළුවනි. එහෙත් මනසටත් මේ ශෝකය හුලක් බවට පත්වූ විට මේ ශෝක හුලෙන් මනසටත් ඇනෙන්න පටන් ගත් විට එහි වේදනාව දෙගුණ තෙගුණ හෝ ඊටත් වැඩි වෙන්න පටන් ගන්නවා.

මේ නිසා මානසික ව ශෝකය ඇති වෙනවා. පරිදේවය ඇතිවෙනවා. තැනිනම් කෑ ගසා විලාප දෙමින් හඬනවා. ලයේ අත් ගසමින් හඬනවා. ක්ලාන්තය ඇතිවෙනවා. මුළාවට පත්වෙනවා. මේ නිසා දුක් විඳීන ආකාරය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මේ ආකාරයටයි.

මුලින් සඳහන් කළ උපමාව නම් ‘තණ අග තිබෙන පිනි බින්දුවක් වගේ හිරු උදාවත් ම මොනයම් වෙලාවක හෝ එය වියළී යන්නා සේ‘, එනම් අනිත්‍යය සේ, බිමට වැටෙන්නා සේ, මනුෂ්‍යයන් ගේ ජීවිතත් ඉතා ම අල්පයි. ඉතා කෙටියි. බොහොම දුකින් පිරිලා. දැඩි ආයාසයන්ගෙන් පිරී පවතින්නේ.

බුදුරජාණන් වහන්සේ ආරාධනා කළේ, යම් අයෙක් මේ ජිවිතය තමා ලැබූ ජීවිතයක් ලෙස හිතනවා නම්, කිසිම අවස්ථාවකවත් අමතක කරන්න එපා, පරමාර්ථ ධර්මයට අනුව මේ ජිවිතය කෙටියි. මේ කෙටියි යන අදහස මෙසේ විග්‍රහ කරන්න පුළුවනි.

මව් කුසයේ දී නැතිවෙන්න පුඵවනි. ඉපදෙන අවස්ථාවේ නැතිවෙන්න පුළුවනි. මෙලොවට බිහි වී මිනිත්තු කිහිපයකින්, පැයකින්, දෙකකින් මේ ආදී වශයෙන් ඕනෑම වෙලාවක සිදුවිය හැකියි. හරියට කුඹල්කරුවකු විසින් හදනු ලබන මැටි බඳුනක් ඕනෑම අවස්ථාවක බිඳෙන්න පුළුවන් සේ, මව් කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ පටන්, මව් කුසින් බිහිවුණු මොහොතේ පටන් මේ ජීවිතය පවත්වනවා කියන ඕනෑම අවස්ථාවක බිදී ගොස් මරණයට පත්වීමේ අවස්ථාව තිබේ.

ඒ නිසයි තණ අග පිනි බිඳුවක් වගේ අනිත්‍ය ම යැයි පවසා සිටියේ.