Print this Article


ඓතිහාසික ධර්මදූත මෙහෙවරක උදානය

ඓතිහාසික ධර්මදූත මෙහෙවරක උදානය

තුන්වන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක මහා අධිරාජයා ප්‍රත්‍යන්ත දේශ නවයකට ධර්ම දූතයන් ලෙස භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමට රාජානුග්‍රහය ලබා දුන්නේ ය.

එසේ යැවූ ධර්ම දූතයන් අතරින් සාර්ථක ම ප්‍රතිඵල ලැබුවෝ එදා සිංහල දේශයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ය. අධිරාජයාගේ පුත්‍රයා වීම නිසා දෝ උන්වහන්සේ විදේශ දූත මෙහෙවර පිළිබඳ අවබෝධයක් ඇතිව සිටියහ. දූත මෙහෙවර පැවරී තුන් මසක් ම භාරතයේ රැඳී සිටියේ අන් කිසි හේතුවක් නිසා නොව සිංහල දේශයේ භාෂාව හැදෑරීමට විය යුතු ය.

මීට වසර 2328කට පමණ පෙර භික්ෂූන් වහන්සේලා හතරනමක්, සාමණේර නමක් හා ගිහි උපාසකයෙක් ද සමඟ පොසොන් පොහෝ දාක මිහින්තලාවට වැඩි උන්වහන්සේට එදා රටේ නායකයා වූ දේවානම්පියතිස්ස රජතුමා සමඟ සාකච්ඡා කිරීමට හා ඔහුට ධර්ම දේශනා කිරීමට හැකි වූයේ උන්වහන්සේ සිංහල භාෂාව දැන සිටි නිසයි.

අදත් අප රටට පැමිණෙන චීන හා රුසියන් තානාපතිවරු සිංහල භාෂාව දැන සිටීම විදේශ දූත මෙහෙවරෙහි වැදගත් ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි ය.

මිහිඳු මාහිමියන් රජු හමුවට පැමිණියේ රජු සතුන් දඩයම් කිරීමට කැළයට ගොස් සිටි අවස්ථාවක යි.

රජ මාලිගාවට වැඩම නො කර එවැනි තැනකට වැඩම කිරීමත්, අන් කිසිවෙක් හමුවට නොවී රජු හමුවට ම වැඩම කර ඔහු පහදවා ගැනීමත් උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ තවත් වැදගත් ලක්ෂණයකි.

රජු තනිවම හමුවීමෙන් ඔහු තම වචනයට නතු කර ගැනීමට හැකි උපාය මාර්ගයක් ලෙස සැලකුවා විය යුතු ය. රජතුමාට පළමුවෙන් ම දහම වටහා දුන් විට රටවැසියන් සියලු දෙනාම එම දහම පිළිගැනීමට යොමු වන බව ද උන්වහන්සේ දැන සිටියහ.

මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජු හමු වී ප්‍රශ්න දෙකක් රජුට ඉදිරිපත් කළහ. එකක් නම් අඹ ප්‍රශ්නය යි. අනෙක ඥාති ප්‍රශ්නයයි. එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරයෙන් රජුගේ බුද්ධිය කවර මට්ටමක පවතී දැයි වටහා ගැනීමට උන්වහන්සේට හැකි විය. ඒ අනුව ගැඹුරු දහමක් දේශනා කළ විට එය වටහා ගත හැකි නුවණක් රජුට ඇති බව දැනගත් උන්වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් රජතුමාට ධර්මය දේශනා කළහ. එම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දහම හා භික්ෂු සංඝයා වටහා ගත යුතු ආකාරය යි.

එයද සරල සුගම දෙසුමක් නොව ගැඹුරු දෙසුමකි. එහිදී බුදුරජාණන් වහන්සේ බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් පිළිබඳ ඡානුස්සෝණි බමුණාට කළ දේශනය මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමාට දේශනා කළහ.

එසේ දේශනා කළේ තුනුරුවන් යනු කවුරුන්දැයි රජුට මැනවින් වටහා දීමට යි. එසේ වටහා ගත් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඉමහත් ගෞරවයෙන් පිළිගෙන උන්වහන්සේලාට වැඩ සිටීමට පහසුකම් සලසා දුන්නේ ය.

දෙවනුව රජ ගෙදර පිරිසට ධර්මය දේශනා කළේ පේතවත්ථු, බාලපණ්ඩිත වැනි එතරම් ගැඹුරු නොවූ කරුණු ඇතුළත් සූත්‍ර දේශනා ඇසුරු කරගෙන යි. ධර්ම දේශකයාණන් කෙනකු තුළ තිබිය යුතු මූලික ලක්ෂණයක් වන ශ්‍රාවක පිරිස පිළිබඳ අවබෝධයක් ඇතිව ධර්ම දේශනා කිරීමේ හැකියාව ද උන්වහන්සේ තුළ පැවති බව මෙයින් පැහැදිලි වෙයි. එයද ධර්ම දූතයාණන් කෙනකු තුළ තිබිය යුතු වැදගත් ලක්ෂණයකි.

මිහිඳු මා හිමියන්ගේ උපදෙස් පරිදි භික්ෂූන් වහන්සේට වැඩ සිටීමට සුදුසු තැන් හා පිරිවෙනක් හා දාන ශාලා ද සකස් කළ රජතුමා දිනක්

“ ස්වාමීනි, දැන් මගේ රටෙහි බුදු සසුන මැනවින් පිහිටියේදැයි” විචාළේ ය. ඊට පිළිතුරු දුන් උන්වහන්සේ “නැත මහරජ, ඔබේ රටෙහි තවමත් බුදු සසුන මැනවින් පිහිටියේ නැතැයි” පිළිතුරු දුන්හ.

ඒ සඳහා කුමක් කළ යුතුදැයි රජතුමා ඇසූ විට “රජතුමනි, ඔබගේ දේශයේ දෙමව්පියන්ගේ දරුවකු පැවිදි කර,උපසම්පදා කර විනය දේශනා කරන තුරු ඔබේ රටෙහි බුදු සසුන මැනවින් පිහිටන්නේ නැතැයි” මිහිඳු හිමියෝ වදාළහ.

ඒ අනුව අරිට්ඨ කුමාරයා පැවිදි කරවා උපසම්පදා කිරීමටද කටයුතු යෙදූ රජතුමා මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර මහමෙවුනා උයනේ මහා විහාර සීමාව ලකුණු කර එහි අලංකාර මණ්ඩපයක් තනවා එම මණ්ඩපය තුළ වැඩ සිට අරිට්ඨ හිමියන් ලවා විනය දේශනා කිරීමට ද කටයුතු යෙදී ය.

මෙහිදී මිහිඳු හිමියන් බුදු දහම රට තුළ තහවුරු වීමට ඉටු කළ මහා මෙහෙවර අප හොඳීන් වටහා ගත යුතුය. උන්වහන්සේ කළේ බුදු සසුන රැක ගැනීමේ වගකීම සිංහලයන්ට පැවරීම යි. සිංහලයන් දිවි දෙවැනිකොට බුදු සසුන රැක ගත්තේ මිහිඳු හිමියන්ගේ එම බුද්ධිමත් සැලසුම නිස යි. එයද ධර්ම දූතයාණන් කෙනෙකු ලෙස උන්වහන්සේ තුළ පැවති ශ්‍රේෂ්ඨ ලක්ෂණයකි.

සැදැහැවත් බෞද්ධයන්ට තම ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වෙනුවට වැඳුම් පිදුම් කිරීමට යමක් තිබිය යුතු බව වටහාගත් මිහිඳු හිමියෝ සර්වඥ ධාතු දඹදිවෙන් වැඩම කරවා එම ධාතු නිදන් කොට ථූපාරාමය ඉදි කිරීමට රජුට උපදෙස් දුන්හ.

එදා මෙරට සිටි මිනිස්සු ස්වභාව ධර්මයට, ගස් වැල් වලට පි‍්‍රය කළහ, ගරු කළහ. ඒ නිසාම වෘක්ෂ වන්දනාව ද රට තුළ පැවතුණි. මිනිසුන්ගේ එම මානසිකත්වයට අදාළව විශිෂ්ට ආදේශකයක් ලබා දීමටද මිහිඳු හිමියෝ කි‍්‍රයා කළහ. බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලක්දිවට වැඩම කරවා දෙන ලෙස කියා දේවානම්පියතිස්ස රජු ලවා ධර්මාශෝක අධිරාජයාට හසුන්පත් යැවීමට කටයුතු කළේ ඒ අනුව යි. ඒ හසුන්පත ලැබුණු අධිරාජයා ඒ වන විට පැවදිව රහත්ව සිටි තම දියණිය වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ අත ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලක්දිවට වැඩම කරවීමට කටයුතු යෙදීය. අද දක්වා ම අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමලුවේ වැඩ සිටිනුයේ එදා එසේ වැඩම කරවූ දෙවනපෑතිස් රජතුමා විසින් එදා රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව යි. එම බෝධි රෝපණයද බුදු සසුන බොහෝ කල් රට තුළ ස්ථාවරව පැවතීමට උපකාර වූවකි. එයද ශ්‍රේෂ්ඨ ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත සිදු වූ ඓතිහාසික කාර්ය භාරයකි.

මෙවන් ඓතිහාසික ධර්මදූත මෙහෙවරක් ඉටු කළ නිසාම දෙවැනි බුදුන් ලෙස, එනම් අනුබුදු මිහිඳු හිමියන් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේට ගරු කිරීමට හෙළයෝ පෙළඹුණහ. මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කළ පොසොන් පොහොය දා උන්වහන්සේ සිහිපත් කරමින් උත්සව හා පින්කම් පවත්වන්නේ ඒ නිසයි. බුදු පෙරහර හැරුණු විට මෙරට බෞද්ධයන් මිහිඳු පෙරහර පවත්වන්නේ ද ඒ නිසයි. මුළු මහත් ලෝකයට ම බුදු දහම ආරක්ෂා කොට තැබූ රට ලෙස සිංහල දේශය එනම් අද ශී‍්‍ර ලංකාව ප්‍රචළිත ව ඇත්තේ ද එදා මිහිඳු මා හිමියන් ඉටු කළ ඓතිහාසික ධර්මදූත මෙහෙවර නිසයි.

එම ඓතිහාසික මෙහෙවර සිහිපත් කරමින් සෑම වසරක දී ම පොසොන් උත්සව හා පින්කම් පැවැත්වීම පින් සිදු කරගැනීමට මෙන් ම බුදු සසුන මතුවට ද ආරක්ෂා වී පැවතීමට හේතු වන බව කිව යුතු ය.