Print this Article


සසරෙහි බියකරු බව නුවණින් දකින්න

සසරෙහි බියකරු බව නුවණින් දකින්න

අනමතග්ගිය සංයුක්ත ධර්ම දේශනාව අද වන් පොසොන් පුරපසළොස්වක පොහොය දිනෙක විමසා බැලිය යුතු ධර්ම දේශනයකි.

මෙම සංයුක්තයෙහි තිණකට්ඨ වග්ගය සහ දුග්ගත වග්ගය යැයි වග්ග දෙකකි. එක් වග්ගයක සූත්‍ර දහය බැගින් සූත්‍ර විස්සකි.

පළමු සූත්‍ර තිණකට්ඨ සුත්‍රය යි. එහිදී බුදුරජාණන් වහන්සේ අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ, සැරි සරන්නා වූ සත්වයන්ගේ මේ සංසාරය නො දක්නා ලද කෙළවර ඇත්තේ ය. පූර්ව

කෙළවරක් නො පෙනෙන්නේ යැයි දේශනා කළහ.

මහණෙනි, යම් සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේ ද, ඒ සියල්ල කපා එක් තැනකට රැස් කරන්නේ වේ ද, රැස් කොට සතරඟුල් කෑලි කපා මේ මාගේ මව ය, මේ මාගේ මවුගේ මව යි කියා තබන්නේ වේ ද, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නො වෙති. එහෙත් මේ දඹදිව තණ, ලී, දඬු, අතු, කොළ කෙළවර වන්නේ ය. අවසාන වන්නේ ය. ඊට හේතුව කවරේ ද?

අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නා වූ, සැරිසරන්නා වූ සත්වයාගේ මේ සංසාරය නො දක්නා ලද, කෙළවර ඇත්තේවේ ද, පූර්ව කෙළවරක් නො පෙනෙයි ද එහෙයිනි.

මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී.ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මේ සියලු සංස්කාරයන් කෙරෙහි කළකිරීමට සුදුසුම ය. නො ඇලීමට සුදුසුම ය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුම ය, යනුවෙන් සංසාරයෙහි දීර්ඝභාවය පැහැදිලි කළහ. නො පෙනෙන අතීතයක සිට විවිධ දුක් කම්කටොලු ආදිය විඳ ගෙන, දරා ගෙන පවතින බව පෙන්වා දුන්හ. මෙම කරුණ පැහැදිලි කිරීම සඳහා මේ හා සමානව ම තවත් සූත්‍ර රාශියක් දේශනා කළහ.

යම්කිසි කෙනෙක් මේ මහා පෘථිවිය ඩෙබර ඇට පමණ ගුලි කොට මේ මාගේ පියා ය. මේ ඔහුගේ පියා ය. යනුවෙන් තබන්නේ වේද, පියවරුන් කෙළවරට නො පැමිණ ගුලි අවසන් වේ. එතරම් නො පෙනෙන කෙළවරට පියවරු ඇතැයි පඨවි සූත්‍රයෙන් පැහැදිලි කරයි.

එසේම මේ දිගු සසර ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් සමඟ එක්වීම නිසා හෝ මනාප වූවන්ගෙන් වෙන්වීම නිසා හඬන්නා වූ හෝ වැළපෙන්නා වූ හෝ කලෙක යම් කඳුළක් ගැලුයේ ද එය සතර මහා සාගරයෙහි ජලයට අධිකම වන්නේ යැයි දේශනා කළ සූත්‍රය අස්සු සූත්‍රය යි. එසේම මවගේ මරණයේ දී, පියාගේ මරණයේ දී, සහෝදරයාගේ මරණයේ දී, සහෝදරියගේ මරණයේ දී, පුතාගේ මරණයේ දී, දුවගේ මරණයේ දී ඥාතියෙකුගේ මරණයේ දී, අප සතු සම්පත් විනාශයේ දී හෝ රෝගී තත්ත්වයකට පත් වූ අවස්ථාවෙක අපි හඬමු කඳුළු සලමු. සසර කො පමණ. කඳුළු සලා ඇද්ද, මෙවන් දුක් පැමිණි අවස්ථාවල, සප්ත මහා සාගර ජලයටත් වඩා යැයි මෙහිදී පැහැදිලි කරති.

නො දක්නා ලද අග ඇති, නො පෙනෙන මුල ඇති මෙම දිගු සසර ඇවිදින කාලය තුළ යම් මවුකිරක් පානය කෙළේ ද එය සතර මහා සාගර ජලයට වඩා වැඩි බව බැව් මාතුථඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ.

පස්වන පබ්බත සූත්‍රයෙන් සහ සවන සාසප සූත්‍රයෙන් විස්තර කරනුයේ කල්පය කොතරම් දීර්ඝවේද යන්නයි. දේශනයට අනුව එය අවුරුදු ගණනින් ගණනය කළ නොහැකි බව ද, උපමාවකින් සඳහන් කළහොත් දිගින් යොදුනක් ඇති, පළලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒකඝන මහා ගල් පර්වතයක් වේ ද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට වරක් කසී සළුවකින් පිරිමදින්නේ වේ ද, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමකට, කෙළවරවීමකට යන්නේ ය. එහෙත් කල්පය කෙළවර නො වන්නේ ය.

මෙවැනි කල්ප සියදහස් ගණන් අපා දුක් විඳිමින් සසර සැරිසරා ඇත. එබැවින් සියලු සංස්කාර ගැන කළකිරීම සුදුසු වෙයි.

සාවක සූත්‍රයේ සහ ගංගා සූත්‍රයේ ගත වූ කල්පයෝ කෙතෙක්දැයි විමසති. එහිදී ද කල්ප සියයක් ය, දහසක් ය, කියා ගණනය කළ නොහැකි බව පවසති. උපමාවකින් දක්වනුයේ නම් ගංගා නම් ගඟ පටන් ගත් තැන් සිට මුහුදට වැටෙන තෙක් ඇති වැලි කැට ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකි ය. ගණනය කෙළේ නමුදු එයට ද වඩා කල්පයේ ඉක්ම ගොස් ඇත. එපමණ කලක් සසර දුක් විඳ ඇත.

නො දක්නා ලද, නො පෙනෙන ලද, අග්මුල් ඇති මෙම සසර වරෙක සත්වයෝ මේ ලෝකයට එති. වරෙක මේ ලෝකයෙන් පර ලෝකයට යති. මෙලෙස යමින් එමින් දැඩි සේ අනුභව කෙරෙති. ව්‍යසන අනුභව කෙරෙති. සොහොන් බිම් තර කෙරෙති.සසර නො ඇලීම සුදුසු බව දණ්ඩ සූත්‍රයෙන් අවධාරණය කෙරෙති.

අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී සත්වයා කෙ තරම් කල් සසර මැරී මැරී ඇවිද ඇද්ද යත්, එකම සත්වයාගේ ඇටකටු එක කල්පයක ඒවා ගොඩක් රාශියක් හැටියට ගොඩ ගැසුයේ නම් වේපුල්ල පර්වතයට ද වඩා විශාල වන්නේ යැයි දක්වා ඇත. මේ තුළින් ද සත්වයාගේ දිගු සසර පැවැත්ම හෙළි කර ඇත.

අනමතග්ග සංයුක්තයෙහි එන දෙවන දුග්ගත වග්ගයෙහි සූත්‍ර දහයක් ඇතුළත් වේ. මෙම සූත්‍ර දහයෙන් ද පැහැදිලි කරනුයේ දිගු සසර විඳි දුක් පිළිබඳව යි. එහි තිංසමත්ත සූත්‍රයට අනුව, සසර බියකරු ස්වභාවය කවරේදැයි යම් පමණකට අවබෝධ කර ගත හැකි ය.

සසර සැරිසරන සත්වයාගේ හිස සිඳුණු වාරවලදී වැගුරුණු ලේ ප්‍රමාණය සිව්මහ සමුදුරු ජලයට වඩා යැයි එහි සඳහන් වේ. මෙලෙසම ගොන්ව ඉපදී, මී ගොන්ව ඉපදී, එළුව ඉපදී, බැටළුව ඉපදී, මුව ව ඉපදී, සූකරව ඉපදී, කුකුළුව ඉපදී, ගම් පහරණ සොරු යැයි අල්වාගෙන, මංපහරණ සොරුයි අල්වා ගෙන, අන් අඹු සොරු යයි අල්වාගෙන හිස් සිඳීමෙන් වැගුරුණා වූ ලෙය සතර මහා සාගර ජලයට අධිකවේ ම ය. මෙවන් බියකරු සසර ගමනෙක යෙදී දුක්විඳ ඇත. ඒ අනුව සංස්කාර ධර්ම කෙරෙහි ඇලීම නොව නො ඇලීම ම සුදුසු වේ.

මෙම වර්ගයෙහි ඇති මාතු, පීතු, භාතු, භගින, පුත්ත, ධිතු ආදී සූත්‍ර කෙරෙහි අප අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මාතු සූත්‍රයෙහි සඳහන් ආකාරයට මේ දීර්ඝ කාලයෙහි දී යම් සත්වයෙක් මවක් නො වූයේ වේ ද, එබඳු සත්වයෙක් සුලභ නොවේ. එයට හේතු කවරේ ද? අග්මුල් නැති දිගු සසර ගමනකි.

මෙලෙසම පියෙක් නොවූ යම් සත්වයෙක් වේ ද, සහෝදරයෙක් නො වූ යම් සත්වයෙක් වේ ද, සහෝදරියක නොවූ යම් සත්වයෙක් වේද, පුතෙක් නොවූ යම් සත්වයෙක් වේද, දුවක් නොවූ යම් සත්වයෙක් වේද එබඳු සත්වයෙක් සුලභ නොවේ.

එනම් මේ මිනිස් සමාජය තුළ ජීවත්වන මනුෂ්‍ය සංහතියම ඔවුනොවුන් ඥාතීහු වෙති. මෙම භවයෙහි දී කවර ජාතියකට අයත් වුවද, කවර ආගමකට අයත් වුව ද, කවර රටකට අයත් වුවද සසර ගමනෙහි දී අප ඔවුනොවුන් එකම පවුලක සාමාජිකයෝ වෙමු.

ලෝකයේ එක් තැනෙක වර්ගවාදී ගැටුමකි. තවත් තැනෙක මූලධර්මවාදී ගැටුමකි. තවත් තැනෙක බලකාමී සටනකි. ඒ සියලු ගැටුම් අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නා වූ සැරිසරන්නා වූ සත්වයන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයෝ වෙති. එකම මිනිස් පවුලක සාමාජිකයන් වන අප අපගේ ම මව පියා සහෝදරයා සහෝදරිය පුතා දුව රවටමු. හිරිහැර කරමු. තර්ජනය කරමු. ගරහමු. විවිධ අකටයුතු කරමු.

නමුත් එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අවශ්‍ය කළේ දුනු හීතල අත් ඇතිව හමු වූ රජතුමා ඇතුළු පිරිසට දිගු සසරෙක විඳි දුක් පැහැදිලි කොට දිගු ගමනෙක යෙදී සිටිනුයේ එකම ඥාති පිරිසක් බව අවබෝධ කරවා දුනු හීතල නැති මිනිස්කමෙහි ඥාතිත්වය අගයන සාමය සහ සතුට පිරි සමාජයක් බිහිකිරීමට ය. ඒ සඳහා උන්වහන්සේ මෙම අනමතග්ග සංයුක්තයෙහි සූත්‍ර මඟින් දිගු සසර සහ එහි ස්වභාවය පැහැදිලි කළහ. දුග්ගත වග්ගයෙහි අවසාන සූත්‍රය වේපුල්ල සූත්‍රය යි. මේ සූත්‍රයෙන් සංස්කාර ධර්මවල අනිත්‍යත්වය, අස්ථිරත්වය, සැනසීම රහිත බව මොනවට පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව ම එය පෙන්වා දෙති.

අද අප සංස්කාර ධර්මයන්හි අනිත්‍ය බව නො දකිමු. අස්ථිර බව නො දකිමු. අධික අවිජ්ජාවෙන් මුළාවී තණ්හාවෙන් යටවී ආදීනව නො දැක නුනුවණින් යුක්ත වූයේ වල්මත්ව මිහිඳු යුගයෙන් පූර්ව යුගයට සංක්‍රමණය වෙමින් සිටිමු. එබැවින් එළඹෙන පොසොන් සමය අර්ථවත් කර ගැනීමට නම් නැවතත් මිහිඳු මාහිමි දෙසූ දහම් වෙත සවන් යොමු කළ යුතු ය.