Print this Article


දෙලොව සුව සදන සත්වත පද

දෙලොව සුව සදන සත්වත පද

බුදු දහම තරම් අප්‍රමාදී බව අගය කරන ලද වෙනත් දහමක් පිළිබඳව අසන්නට නොලැබේ. බුද්ධ චරිතය පුරාම මෙම උතුම් චර්යාව ප්‍රායෝගික ව අර්ථ ගන්වා ඇති අවස්ථා බහුලව දැකිය හැකි ය. තථාගතයන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය වන්නේ ද “හන්ද දානි භික්ඛවේ වෝ ආමන්තයාමි වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යන්න ය. අප්‍රමාදී ව කි‍්‍රයා කළ යුතුය යන්න අවධාරණය කර ඇති අයුරු ඉන් පැහැදිලි වේ.

“අප්පමාදේන මඝවා - දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසන්සන්ති - පමාදෝ ගරහිතෝ සදා”

ධම්මපද පාලියෙහි අප්පමාද වග්ගයෙහි උක්ත ගාථා ධර්මයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත්තේ අප්‍රමාදී ව කි‍්‍රයා කිරීම දෙදෙව් ලොවට අධිපති සක්දෙව් පදවිය ලැබීමට පවා හේතුවන බවයි.

මෙහි “මඝවා” යනු සක් දෙවිඳුන් හඳුන්වන පූර්ව නාමයකි. එමෙන්ම එම නමින් අප්‍රමාදී ව කි‍්‍රයා කළ පුද්ගලයකු “දේවානං සෙට්ඨතං ගතෝ” දෙවියන්ගේ ප්‍රධානියා බවට පත් වූ බවයි.

මෙහිදී ලෞකික සහ ලෝකෝත්තර සැප ගෙන දෙන බැවින් අප්‍රමාදී බව අගය කෙරෙන අතර “පමාදෝ ගරහිතෝ සදා”ප්‍රමාදී බව ගැරහීමට ලක් කොට ඇත්තේ එය දුකට හා විපතට හේතුවන බැවිනි.

මඝ නම් වූ තරුණයකු දඹදිව මචල නම් වූ ගමක වෙසෙමින් මනා පැවැත්මකින් යුතුව කි‍්‍රයා කරනුයේ, අප්‍රමාදීව සිහි නුවණින් යුතුව පරාර්ථ චරියාවෙහි යෙදිනි. ඔහු විසින් අනුගමනය කරන ලද “අප්‍රමාදී චර්යාව” සහ “සත්වත පද”දිවි හිමියෙන් ආරක්ෂා කිරීම නිසා ලබන ලද පාර ලෞකික සම්පතක් වූ දෙවියන්ගේ ප්‍රධානියා වීම සාධක කොට ගනිමින් අප්‍රමාදී බවෙහි අප්‍රමාණ අගය ශ්‍රාවකයන්ට පැහැදිලි කිරීමක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකි ය.

මඝ මානවක විසින් වඩන ලද ඉතා වැදගත් ගුණ ධර්ම කිහිපයක් “සත්වත පද” නමින් හඳුන්වා දී තිබේ. සංඛ්‍යාත්මක ව ගත් විට හතක් පමණ වන නිසා “සත්” වනවා මතු නොව රැකිය යුතුය යන අරුතින් “වත” හෙවත් වෘත වශයෙන් හඳුන්වා දී තිබේ.

මව් පිය උපස්ථානය, වැඩිහිටියන්ට ගරු කිරීම, නපුරු වචන නොකීම, කේළාම් නොකීම, මසුරු බවින් දුරු වීම, මිහිරි බසින් යුතු වීම, නොකිපෙන සුළු බව යනුවෙන් එම වැදගත් ගුණ ධර්ම නම් කොට ඇත.

මව් පිය උපස්ථානය සඳහා බුදු දහමින් සිදු කෙරෙන දිරිමත් කිරීම වෙනත් කිසිදු දහමක දැකිය හැකි නොවේ. දහමින් නිර්දේශිත දූ දරු යුතුකම් පහක් වන අතර ඒවා , ඉටු කිරීමේ දී ඉන් හතරක් ම මව් පිය උපස්ථානයට ඇතුළත්ව ඇති අයුරු දැක ගත හැකි ය.

මව්පියන් සඳහා විවිධ අභිදානයන් මඟින් ඔවුන් අගය කිරීම පමණක් නොව අසමසම වූ තථාගතයන් වහන්සේ “බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා”යනුවෙන් ඔවුන් තමන් වහන්සේට සමාන කොට තිබීම මහත් සුවිශේෂිතාවයකි. එහෙත් වර්තමානයෙහි තම මව්පියන් විවිධ පීඩාවන්ට ලක් කිරීම මෙම උතුම් ඉගැන්වීම්වලට නිගරු කිරීමක් වනු ඇත. එමෙන්ම වැඩිහිටියන් රැකබලා ගැනීම හා ගරු කිරීම ද ඉහත වත පද අතර ප්‍රමුඛතම කරුණකි. වැඩිහිටියන් සමාජයෙහි පිළිගැනීමකට ලක් කිරීම පමණක් නොව කිසියම් සමාජ කොට්ඨාශයක පූර්වගාමින් ලෙස ඔවුන් කෙරෙහි දක්වන ගරු කිරීම වියපත් ඔවුන්ට මානසික සුවයක් ගෙනදීමද මතු නොව කෘතවේදීභාවය දැක්වීමක් ද වනු ඇත.

වචන හැසිරවීමේ දී සමාජය කිනම් භාවිතයක සිටිය යුතු ද යන්න සත් වත පදයන් හි සඳහන් නපුරු වචන හා කේළාම් නොකීම මෙන්ම මිහිරි බස් කථා කිරීම යන කරුණු තුනෙන් පැහැදිලි කෙරේ.

නොකිපී කි‍්‍රයා කිරීම තරහෙන් හා කෝපයෙන් අත් මිදීමක් වන අතර කෝපාවිෂ්ට පුද්ගලයා තුළින් ප්‍රදර්ශනය වන්නේ විරූපී බවකි. එම විරූපී බව ඇතැම් විට සාංසාරිකව ආරෝපණය වීමක් ද විය හැකිය. අසංවර මනසෙහි දැකිය හැකි කෲරත්වය, එහි ඇති හානිකර බව ද මෙතුළින් පැහැදිලි වේ.

පොදුවේ සලකා බලන විට මෙම සත් වත පදවලින් සිදු වන්නේ මැනවින් තිදොර සංවර කරගැනීම දේවත්වය ඉක්මවාලු දෙව් රජ තනතුර දක්වා එළැඹිය හැකි උතුම් ගුණ ධර්ම සමුදායක් බව ය.

විශාලා මහ නුවර “මහලී” නමැති ලිච්චවි රජු එක් දිනක් තථාගතයන් වහන්සේ මුණගැසී තමන්ට ගැටලුවක් ව පැවතී සක් දෙවිඳුන්ගේ උපත හා සැපත උදා වුයේ කෙසේ දැයි විමසන ලදී. එම පැනය විසඳමින් භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මගධයෙහි මචල නම් ගමෙහි මඝ නම් ඉතා ගුණවත් මෙන්ම යහපත් සුවිශේෂී තරුණයකු විසු බව ප්‍රකාශ කළ සේක.හෙතෙම ගමෙහි බොහෝ දෙනා රැස්වන උයනක තම පරිහරණය සදහා තැනක් පිළියෙළ කරන්නේ, සියලු වැඩ නිම කළ පසු වෙනත් පැමිණි පුද්ගලයකු ඔහු ඉවත් කොට එම ස්ථානය අල්ලා ගන්නා ලදී. එහෙත් මඝ මානවක කිසිදු කිපීමකින් තොරව තවත් තැනක් සුදානම් කරන්නේ එතැන ද වෙනත් අයකු අයිතිකර ගනුයෙන් නොකිපුන මානවකයා වෙනත් තැනකට ගොස් අනලස්ව පිරිසිදු කොට අවසන එසේම වෙනත් අයෙකු පැමිණ එම ස්ථානය ද අයත් කර ගත්තේ ය.

එහෙත් කිසිදු කිපීමකට පත් නොවූ ඔහු යළි යළිත් ස්ථානමාරු කරමින් පිළියෙළ කරනුයේ ඒවා ද වෙනයම් අයගේ ග්‍රහණයට ලක් විය. අනතුරුව එය ඉතා හොඳ පුණ්‍ය කර්මයක් සේ සලකමින් බොහෝ දෙනකුට ප්‍රයෝජන ගත හැකි විශාල ප්‍රදේශයක් පිරිසිදු කරමින් බොහෝ දෙනකුට පහුකම් සැලස්වී ය. එහි පහසුකම් ලබමින් සතුටින් සිටින පිරිස දුටු මඝ සැප කැමැත්තන් සදහා සැප සැලසීම මහා පිනක් යැයි සිතමින් මංපෙත්, ඒ දඩු,පාලම්, ළිං, පොකුණුආදී පොදුජන අවශ්‍ය තා සපිරීමෙහි නිරත විය.

මේ සඳහා ඔහු සමඟ තෙතිසක් පමණ වූ පිරිසක් ද එක් වුයේ, රාජ්‍ය නිලධාරීන්ගේ දෝෂ දර්ශනයන්ට ද ලක් වීමට සිදු විය.

නමුදු යහපත් කි‍්‍රයාවක නිරත වීමේ ඇති උතුම් බව නිසාවෙන් සියල්ලෝ නිදොස් වූහ.

ඔවුනට එරෙහි වුවන් සඳහා දඬුවම් ලදින් එම සුමිතුරෝ දිරිමත්ව බොහෝ දෙනාට හිසට සෙවණ සදමින්, ගතට සුවය සලසමින් මනරම් අම්බලම් ගෙයක් ද සැකසුහ. මඝ මානවකගේ, නන්දා, චිත්තා, සුධම්මා,සුජාතා යන බිරින්දෑවෝ ද මෙම දර්ශනීය අම්බලම් හල සදහා විවිධ අයුරින් දායක විය. සුධම්මාවන් විසින් එහි කැනිමඩල සකසා දෙමින් උපක්‍රමශීලීව තම නම එහි සටහන් කරවන ලදී.

එනිසා එම විශ්‍රාම ශාලාව සුධම්මා යන නමින් නම් කෙරිණි.මඝ මානවක තෙමේ මෙසේ තම පිරිස සමග නොපමාව දිවි හිමියෙන් යුතුව විවිධ කුසල ධර්මයන්හි යෙදෙමින් සිට මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නහ. දෙදෙව් ලොවට අධිපති වූ සක් දෙවි රජුව උපත ලැබීය. තම සහායක පිරිස ද සක් දෙවිඳුගේ පිරිවර වශයෙන් උපත ලැබූ අතර මෙම අතීත කාලීන සිදුවීම පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්සේ මහලී ලිච්ජවීන්ගේ පැන විසඳුම විසඳාලමින් නොපමාව කුසල් කිරීම දෙවියන් වීම පමණක් නොව දෙවියන්ගේ ප්‍රධානියා වීම සඳහා ද හේතු වන බව පෙන්වා දෙමින් දහම් දෙසු සේක.

ගෙවී ගිය වසරකට වැඩි කාලයක සිට මුළු ලෝකය ම ඉතා භයානක ගෝලීය වසංගතයකට මුහුණ දෙමින් සිටී. රටවාසීහූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම රෝගයට ගොදුරු වී සිටිති. දහස් ගණනක පිරිසක් එම රෝගී තත්වයන් නිසා මියගොස් ඇත. රට තුළ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති රටවාසීන් වෙනුවෙන් රාජ්‍ය පාලකයන් ලෙසත් වෛද්‍යවරුන් හෙද හෙදියන් හා රෝහල් කාර්යමණ්ඩල මෙන්ම සෞඛ්‍ය අංශයන්හි විවිධ පුද්ගලයන් මෙන්ම ආරක්ෂක අංශ පමණක් නොව ජිවිත අනතුරු නොසලකා අප්‍රමාදී ව අනලස්ව ස්වේච්ඡා සේවාවන් හී නිරත වූ බොහෝ දෙනා ද රෝගී වුවන්ගේ සතුට සහනය වෙනුවෙන් ඉදිරිපත්ව සිදු කරන ලද්දේ මහත් කුසලයකි.

අනු බුදු මිහිඳු මහ රහතන් වහන්සේ අද වැනි දිනක ලක්දිවට වැඩම කොට සම්බුදු දහම දායාද කෙරෙමින් ලක්වැසියන් ශික්ෂණයට පත් කරමින් විශිෂ්ට සංස්කෘතියක උරුමය ලබා දුන් දිනයයි.

එසේ නම් බොදුණුවන් වීම පමණකින් නොසෑහි බොදු ඉගැන්වීම් විෂයය කොට ගනිමින් සසර තරණය සදහා අදිෂ්ඨානශිලීව එළඹිය යුතුව ඇත.