Print this Article


පඤ්ච මහා ව්‍යසන

පඤ්ච මහා ව්‍යසන

ආරම්භයක් පෙන්විය නො හැකි සසර ගමන අති දීර්ඝ ය. අනේක වර ඉපදෙමින් මියැදෙමින් පැමිණි ඒ දිගු ගමන තුළ ඔබ ද මා ද ලබන ලද, විඳින ලද සියල්ල සිහිනයක් සේ බොඳ වී ගියේ ලසෝ ලැව් ගිනි අවුලවාලමිනි. එහෙත් අපට අමතක වී ගිය ඒ දුක් ගිනි සන්තාප ව්‍යසනයන් පිළිබඳ සත්‍යය අවබෝධ කළ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ හැම දුකින් අත මිදෙන මාවත මහා කරුණාවෙන් පෙන්වා වදාළ සේක.

ඤාතීන් අහිමි වන පාපය

උපන් මිනිසාට මුහුණ පෑමට සිදුවන ව්‍යසනයන් හෙවත් දුක් විපත් පහකි. ඉන්

පළමුවැන්න ඤාති ව්‍යසනය යි. එනම් තම ඤාතීන් තමා හට අහිමි වීම යි.

ජල ගැලීම්, නාය යෑම්, මුහුදු ගොඩ ගැලීම්, රථ වාහන අනතුරු යුද ගැටුම් ආදී හේතූන් නිසා පුද්ගලයන්ට තම සියලු ඤාතීන් අහිමි වී තනි වන්නට සිදුවේ.

ඇතැම්හු එමඟින් ඇතිවන කටුක වේදනාව උහුලාගත නො හැකිව සිය දිවි පවා නසා ගනිති. ඇතැම් විට උමතු භාවයට පත් වෙති. සැපට දුකට,තනි නොතනියට ළඟ සිටි ඤාති පිරිස හදිසියේ අහිමිවීමේ වේදනාවට සසර සැරිසරන සත්ත්වයන් මුහුණ දිය යුතු ය. ආර්ය උපවාද අකුසලය ඊට ප්‍රධාන හේතුවක් බව බුදුරදුන් විසින් වදාරා ඇත.

අප දන්නා ඉතිහාසයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම් ආදියට හසු වී පවුලේ සියලු දෙනාම අහිමි වී තනි වූ උදවිය අදත් සිටිති. ඉපදීමෙන් නිදහස් නොවූ කිසිවකුටත් වියෝ දුකින් නිදහස් විය නොහැකි බව අවබෝධ වීමෙන් පමණක් ඤාතිව්‍යසන දුක්ඛයෙන් හෙවත් පි‍්‍රය විප්‍රයෝග දුඞඛයෙන් නිදහස් විය හැකි ය.

හරිහම්බ කළ දේ වැනසෙන හැටි

මිනිස් මනසට දැඩි පීඩාවක් උපදවන දෙවන ව්‍යසනය භෝග ව්‍යසනය යි. යමකු සතු මිල මුදල්, ගේ දොර, වතු පිටි, වාහන, භව භෝගාදිය නොසිතූ ලෙස තමාට අහිමිවීම එමඟින් අපේක්ෂා කෙරේ. තමාට ලැබී ඇති සැප සම්පත්වලට ඇති බැඳීමේ පමණින් ම ඒවා අහිමි වීම හේතුවෙන් විඳවන්නට සිදුවේ. පෙර කරන ලද සොරකම් ආදී අකුසලයන්ට ලැබෙන අතුරු විපාකයක් ලෙස එකී භෝග ව්‍යසනයන්ට අනේක වාරයක් මුහුණ දීමට සිදුවේ.

රැකී රක්ෂා, තනතුරු උසස් වීම් ආදිය අත ළඟට පැමිණ අහිමි වී යන්නේ ද පෙර අප විසින් අන්‍යයන්ට කරන ලද අසාධාරණයන්ට විපාක ලෙසිනි. දානය පුරුදු කිරීම හා අසාධාරණයන් නො කිරීමත් පොදු දේපළ ආරක්ෂා කරදීම හා පුද්ගලයන්ගේ අයිතීන් සුරක්ෂිත කරදීම ද හේතුවෙන් භෝග ව්‍යසන විපාකයෙන් අතමිදිය හැකි ය.

නිරෝගී නොවේ නම්...

රෝග ව්‍යසනය සත්ත්වයා මුහුණ දිය යුතු තෙවන විපත්තිය යි. ශාරීරිකව හා මානසිකව ඇතිවන රෝග පීඩාවන් විවිධ ය. කායිකව ඇතිවන රෝගී තත්ත්වයන් නිසා ජීවිත කාලය ම ලෙඩ ඇඳේ දිවි ගෙවන්නෝ බහුලව සිටිති. කොතෙකුත් සැප සම්පත් ඇතත් නිරෝගීකම නො තිබේ නම් පලක් නොමැත. දිළිඳු වුව ද නිරෝගී කයක් ඇති බව උතුම් ලාභයකි.

ආදිකල්පික මිනිසා රෝගයන් ලෙස සලකන ලද්දේ උෂ්ණය, කුසගින්න, පිපාසය, මළ මුත්‍රා පිට කිරීමට සිදුවීම යන කරුණු සය පමණි. ඊට අමතරව කැස්සක් සෙම්ප්‍රතිෂ්‍යාවක් තරමේ ආබාධයක් හෝ ඔවුනට නො වී ය. අවුරුදු ලක්ෂ ගණන් දිඝාසිරි ද වින්දනය කළහ. ප්‍රාණඝාතාදී පාපයන්ගෙන් දිවි හිමියෙන් වෙන් වීම ඒ සඳහා හේතු වූ බව බුදුරදුන් විසින් වදාරා ඇත.

වත්මන් මිනිසාගේ ශරීරයට වැළඳෙන රෝග පීඩාවන්ගේ ප්‍රමාණයක් කිව නො හැකි තරම් ය. එක් රෝගයකට බෙහෙත් කරන විට තවත් රෝග ගණනාවක් මතු වී විඳවන්නෝ සෑම පවුලකම පාහේ සිටිති. රෝගියකු නොමැති පවුලක් සොයාගත නොහැකි තරම් ය. එහෙත් බොහෝ දෙනාට ඒ පිළිබඳ සවිඤ්ඤාණික බවක් නැත. භෞතික තත්ත්වයන් පමණක් රෝග හට ගැනීමේ හේතූන් ලෙස සලකා ඉන් බේරීම පිණිස ගන්නා ප්‍රයත්නයන් අසාර්ථක වී මේ වන විට ලක්ෂ ගණනින් මියැදෙන වසංගත තත්ත්වයකින් ලෝකය ම පීඩිතව ඇත.

වසංගත රෝගවලට බලපාන හේතු

වසංගත ආදී තත්ත්වයන් සඳහා බාහිර හේතූන්ගේ බලපෑම ස්වල්ප ය. පුරා කෘත අකුසල කර්මයන් හා වර්තමානික ප්‍රයෝග විපත්තිය හෙවත් දුස්සීලකම හේතුවෙන් ද ආර්ය උපවාදය නමැති බරපතළ අකුසලය හේතුවෙන් ද මෙබඳු වසංගත තත්ත්වයන් ඇති වේ. ගුණධර්ම පිරිහීම නිසා ආයුෂය, සැපය, බලය, ප්‍රඥාව යන සියල්ල ම පිරිහී යයි.

මවට පියාට ගැරහීම හා නො සලකා හැරීම, වැඩිහිටි ගෞරවයන් නොමැති වීම, කළගුණ අමතක වීම, තණ්හාව බලවත් වීම, ප්‍රාණඝාතය හා සත්ත්ව හිංසනය, සොරකම් හා පැහැර ගැනීම් බලවත් වීම ආදී හේතූන් නිසා වත්මන් ව්‍යසනයට මිනිස් වර්ගයා ගොදුරු වී ඇත.

මීට අමතරව තෙරුවන් වහන්සේලාට ගැරහීම, බුදු සසුනට ද්‍රෝහිකම් කිරීම යන ප්‍රධාන හේතූන් නිසා ලාංකිකයන් වසංගත විපතට ඇද දමා තිබේ.

අපේ රට බුද්ධ භූමියක් වන බැවින් තෙරුවනේ ආශිර්වාදය නො ලබන කිසිවකුටත් සෙතක් වන්නේ නැත. ඉහත කී දුර්ගුණ දුරුකොට තෙරුවන් වහන්සේලා සමා කරවා සීලයක පිහිටීමෙන් පමණක් ලක්වාසීන්ට අසීමිත සෙතක් සැලසෙනු ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා බුදුගුණ සිහිකිරීම හා මෙත් වැඩීමත්, කරුණාව ප්‍රගුණ කිරීමත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමත් සිදුවේ නම් නොබෝ කලකින් ම මෙම වසංගතය මෙරටින් පහව යනු ඇත.

භයානකම රෝගය

බලවත් වූ තණ්හා ක්‍රෝධාදී සිතුවිලි ද ඉරිසියාව හා මසුරුකම ද ඇතුලු සමස්ත මනෝ දුස්චරිතය ම මානසික රෝගී තත්ත්වයකි. එය මාරාන්තික වසංගතයට ද වඩා භයානක වූ රෝග ව්‍යසනයේ බලවත් ම අංශය යි. ඒ උදෙසා ඇති එකම ඖෂධය වන්නේ තථාගත ධර්මය පමණි.

සීල විපත්තිය

බුදුරදුන් පෙන්වා වදාළ සතරවන ව්‍යසනය සීල විපත්තියයි. එනම් පංචසීලය ආදී කොටගත් සිල් ගුණයන්ගෙන් පිරිහී යාම යි. එය ඉහත කී සියලු ව්‍යසනයන්ට වඩා භයානක වූවකි.

ඤාතිව්‍යසන ආදී හේතූන්ගෙන් පුද්ගලයා ඒකාන්ත වශයෙන් අපාගාමී නො වේ. එහෙත් සිල් බිඳීයාම හේතුවෙන් මරණින් මතු අපාගාමී වේ.

සීල විපත්තිය මෙකල සමස්ත මිනිස් වර්ගයාට ම වැළඳී ඇත්තකි. ඉතා ස්වල්පතර වූ සිල්වතුන් පිරිසක් හෝ වෙසෙන්නේ බෞද්ධයන් අතර පමණි. දුස්සීල වීම විලාසිතාවක් වශයෙන් සලකන මිනිස් පිරිසකගෙන් යුතු වත්මන් සමාජය විසින් වසංගත රෝගාදී තත්ත්වයන් බලාපොරොත්තු විය යුතු ම ය. රෝග පීඩාවන් සඳහා දුස්සීල වීම හෙවත් ප්‍රයෝග විපත්තියේ ඇති සෘජු බලපෑම ඊට හේතුවයි.

දිට්ඨි විපත්තිය

පස්වන මහා ව්‍යසනය දිට්ඨිවිපත්තිය යි. එය සීලවිපත්තියට ද වඩා බලවත් වූවකි. අවශ්‍යතාවක් තිබේ නම් බිඳී ගිය සීල ප්‍රතිපදාව ඉතා ඉක්මනින් නැවත සකසා ගත හැකි ය. එහෙත් දිට්ඨිවිපත්තිය ස්වල්ප උත්සාහයකින් වෙනස් කළ හැක්කක් නො වේ.

මිථ්‍යාදෘෂ්ටික පිළිගැනීම් හා ඇදහීම්වල සිරවූ මනසක් ඇති බව දිට්ඨි ව්‍යසනය වන බැවින් පුද්ගලයකු ඉන් ගලවා ගැනීම භාරදූර කාර්යයකි. දිට්ඨි විපතට වැටුණු බොහෝ දෙනා දිවි තුරාවට ද්වාරත්‍රයෙන් ම පව්කම් පුරවාගෙන නියත වශයෙන් දුගතිගාමී වෙති. බෞද්ධයන් නො වන සියල්ලෝ ම මිථ්‍යා

දෘෂ්ටික වන බැවින් ලොව මිසදිටුවෝ බහුල වෙති.

මිසදිටුවන් බහුල වන විට පාප කර්මයන් බහුල වේ. පාප කර්මයන් බහුල වීමෙන් රෝ දුක් බහුල වේ. අද අප මුහුණ දෙන වසංගත තත්ත්වයේ ප්‍රධානම හා බොහෝ දෙනාගේ අවධානයට පත් නොවූ හේතුව ද එය යි.

සැනසීම ලබන මඟ

කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර නො ලැබීම සීල හා දිට්ඨි ව්‍යසනයන්ට ප්‍රධානත ම හේතුව වේ. සත්‍ය වූ බුදුබණ ඇසෙන්නේ යහපත් වූ මිතුරාගෙන් පමණි. බුදුරදුන් තරම් යහපත් වූ අන්‍ය මිතුරකු ලොව නැත. සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයෝ ඉන් මෙපිට වෙසෙන කල්‍යාණ යහලුවෝ ය. පිරිසුදු සිල් ඇති සම්මා දිට්ඨියක් ඇති පුද්ගලයන් බිහි වන්නේ බුද්ධාදී ආර්යයන්ගේ ඇසුර ලැබීමෙන් පමණි.

දාන සීලාදී දස පුණ්‍ය ක්‍රියාවන් ම පවතින්නේ දිට්ඨි සම්පත්තියෙන් හෙවත් සම්මා දිට්ඨියෙන් යුක්ත වූවන් කෙරෙහි පමණි. සම්මා දිට්ඨික පුද්ගලයන් පහළ වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණි. සද්ධර්මය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන් පමණි.

අදවන් පොසොන් පුන් පොහෝ දිනෙක මිහිඳු මහා රහතන් වහන්සේ නම් වූ විශුද්ධි දේව කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් සිංහලයන් ලද සද්ධර්මයත් ඒ ධර්මය නිසා ලද සම්මා දිට්ඨියත්, එමඟින් ලද උදාර

ශික්ෂණයත් නිසා සිංහලයෝ ඉහත කී පංච ව්‍යසනයන්ගෙන් අතමිදී සුවපත් වූහ. සුඛිත මුදිත වූහ. මෙලොව දී ම නිවන් අවබෝධ කොට හැම දුකින් සමුගෙන සසර ගමන නිමා කළහ. ඔබ ඒ දුක්බර සසර ගමන නිමවා ව්‍යසනයන් ප්‍රහාණය කොට සැනසෙන්නේ කවදා ද?