Print this Article


සමාජය දුස්සීල වුණොත් විපත් බහුල වේ

සමාජය දුස්සීල වුණොත් විපත් බහුල වේ

මේ සූත්‍ර දේශනාව ශ්‍රවණයෙන් පසු දුසිල්වත් භික්ෂුහු හැටනමක් තමන්ගේ මුඛයෙන් උණු ලේ වමනය කළෝ ය. තවත් සැටක් පමණ භික්ෂුහු සිවුරු හැර ගියහ. තවත් සැටක් පමණ භික්ෂුහු රහත් වූහ.

යම් භික්ෂුවකගේ අවුරුදු සියයක මහණ කම් කාලය තුළ එක් මොහොතක් පමණක් සියලු සතුනට මෙත් වඩා ඇත්ද උන්වහන්සේට දුර සිට ගෙනවුත් දන් පිදීමටත්, දෙපා අල්ලා වන්දනා කිරීමටත්, සුදුසු ය.

භික්ෂූන් වහන්සේට පිරිපුන් සීලය සහිතව ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව වාසය කරන ලෙසත්, ආචාර ගෝචර සම්පන්න වන ලෙසත්, සුළු වූ නමුත් වරදෙහි බිය දක්නා සුලුව ශික්ෂාපදයන්හි හික්මෙන ලෙසත් තථාගතයන් වහන්සේ අනුශාසනා කළහ. භික්ෂු පරමාර්ථ සහ භික්ෂු ආකල්ප සපුරා ගැනීම සඳහා නියත වශයෙන්ම මේ අනුශාසනයෙහි පිහිටා ක්‍රියා කිරීම භික්ෂු විනය පිටකයෙන් අවධාරණය වන්නේ ය. විනයෙහි ප්‍රකාශ වන අන්දමට ප්‍රාතිමෝක්ෂය දෙවදෑරුම්ය. අවවාද ප්‍රාතිමෝක්ෂය සහ ආඥා ප්‍රාතිමෝක්ෂය යනුවෙනි.

ප්‍රථම බෝධි සමයෙහි එනම් බුදු වූ මුල් විසි අවුරුද්දක කාලය තුළ භික්ෂු ජීවිතය හැඩගැස්වීමට මෙන්ම පාලනයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් විය.

බුදුරදුන් භික්ෂු සංඝයාට දුන් මේ අවවාදයට ප්‍රාතිමෝක්ෂය වශයෙන් සලකා එහි පිහිටා තදනුරූපව බ්‍රහ්මචරිය වාසයෙහි නිරත වූ අතර එය ජනතාවගේ විවේචනයට දෝෂාරෝපණයට ලක් නොවීය.

කල් යත් යත් ශාසනික පැවිද්ද ලබා ගැනීමට ඉදිරිපත් වූවන්ගේ සංඛ්‍යාව ඉතා විශාල විය. ඔවුන් අතර ධර්මයේ හරය, ගැඹුර තේරුම් ගත්තවුන් මෙන්ම විවිධ ජීවන කම්කටොලු, වධ බන්ධන, අපහසුකම් මඟ හරවා ගැනීමට බුදු සසුනට ගලා ආ සැප සත්කාර ලබා ගැනීම ආදි පටු පරමාර්ථ ඇතිව පැමිණි පිරිස් නිසා එහි ප්‍රාතිමෝක්ෂයෙන් සංවරව ජනාදර ගෞරවයට පාත්‍රව තිබූ භික්ෂු සමාජය මහජනයාගේ විවේචනයට දෝෂ දර්ශනයට ලක්වන්නට පටන් ගත්තේ ය. ආඥා ප්‍රාතිමෝක්ෂ නමින් හඳුන්වන විනය ශික්ෂා පැනවීමට බුදුරදුන්ට හේතු වූයේ මේ තත්ත්වයයි.

ආඥා ප්‍රාතිමෝක්ෂය පැනවීමට හේතු වූ කරුණු පිළිබඳව සවිස්තර තොරතුරු විනය පිටකයෙහි සඳහන්ව තිබේ. අවවාද ප්‍රාතිමෝක්ෂයෙන් මෙන්ම ආඥා ප්‍රාතිමෝක්ෂයෙන් ද අභිමත වූයේ යතාර්ථවත් භික්ෂු ආකල්ප ඇතිකොට ශීල විපත්ති, ආචාර විපත්තිවලින් තොර භික්ෂු සමාජයක පූජනීයත්වය ස්ථාවර කිරීමයි.

අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දෙවැනි පණ්ණාසකයේ මහාවග්ගයෙහි එන අග්ගික්ඛන්ධෝපම සූත්‍රය මඟින් බුදුරජාණන් වහන්සේ දුස්සීල වූ භික්ෂුවට ලැබෙන ආදීනව මනාව නිදර්ශන සහිතව පැහැදිලි කළහ. දුස්සීලභාවය සංඝ සමාජයට පමණක් නොව දුස්සීල වූ පුද්ගලයාට ද කවර විපත්තියක් කරනු ලබන්නේ ද යන්න ඉන් මොනවට පැහැදිලි කෙරේ.

බුදුන් වහන්සේ තම මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් රට සැරිසරන විට එක්තරා පෙදෙසක දැල්වුණු ගින්නෙන් බබළන මහත් වූ ගිනිකඳක් දැක වඩින ගමන නවත්වා ගසක් මුල පැන වූ අස්නෙහි වැඩ සිටිමින්, භික්ෂූන් සමඟ කරන ලද සාකච්ඡාවක් මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ -

මහණෙනි දැල්වුණ මනාව ගිනිගත් දැල්ලෙන් බබළන මහත් වූ ගිනිකඳ දැක්කහුද?

භික්ෂූහු -

එසේය ස්වාමීනි,

බුදුරජාණන් වහන්සේ -

මහණෙනි, ඔබ කුමක් සිතන්නෙහිද? අර දැල්වුණ මනාව ගිනිගත් දැල්ලෙන් බබළන මහත් වූ ගිනිකඳ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ යම් ඒ මෘදු වූ තරුණ වූ අත්පා ඇති ක්ෂත්‍රිය කන්‍යා හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ නිදන්නේ නම් හෝ මේ දෙකින් කුමක් උතුම් වේද?

භික්ෂූහු -

ස්වාමීනි මෘදු වූ, තරුණ අත්පා ඇති, ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන නිදන්නේ නම් හෝ හිඳින්නේ නම් හෝ එයම උතුම්.

ස්වාමීනි, අර මනාව ගිනිගත්, ගින්නෙන් බබළන, මහත් වූ ගිනි කඳක් වැළඳගෙන හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ ස්වාමීනි එය දුකක් වේමැ'යි පැවසූ භික්ෂූන්ට බුදුන් වහන්සේ පිළිවදන් දුන්නේ මෙසේ ය.

මහණෙනි, දුශ්ශීල වූ, පාපධර්ම ඇති කැතකුණුවලින් පිරි කසළ ගොඩක් සමාන වූ සැඟවී වැරැදි කරන ශ්‍රමණයැයි. අඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණු වූ, වැගිරෙන, කසළ හටගත් ඒ දුසිල් මහණහට ඒ ගිනිකඳ වැළඳ ගැනීම මැනවි.

එයට හේතු කවරේද? ඒ කරුණු හේතුකොට ගෙන ඔහුට මරණය හෝ ඒ සමාන දුකක් හෝ වන්නේ ය. ඒ හේතුවෙන් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර වූ අයහපත් ගති ඇති නරකයෙහි නූපදී.

මහණෙනි, යම් හෙයකින් දුස්සීල භික්ෂුව අතර ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති කන්‍යාවක හෝ වැළඳගෙන හිඳ ගත්තේ නම් හෝ නිදන්නේ නම් හෝ ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අභීත පිණිස දුක් පිණිස වන්නේ ය. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති නපුරු සේ පතිත වන නරකයෙහි උපදින බව සඳහන් කළ සේක.

එසේම බුදුන් වහන්සේ මෙසේ ද සඳහන් කරති.

යම් භික්ෂුවක් දුසිල්වත් ව මහාසාර ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති කුලයන්ගෙන් වැඳීම ඉවසන්නේ ද ඊට වඩා කෙඳි සහිත කඹයකින් තමන්ගේ කෙණ්ඩා වෙලා ශක්තිමත් පුද්ගලයකු විසින් හම මස් ඇට ගැලවී යන්නට තරම් කරනු ලබන තද කිරීමෙන් ලබන වේදනාව විඳීම හොඳ බවත්,

සැදැහැවත් දායකයන් දෙන සිවුරු දුසිල්වත්ව පරිභෝග කරනවාට වඩා මුවහත් ආයුධයකින් පපුවට පහර කෑමේ වේදනාව විඳීම යහපත් බවත්,

සැදැහැවත් දායකයන් දෙනු ලබන පිණ්ඩපපාත දානය දුසිල්වත්ව වළඳනවාට වඩා රත් වූ ගිනිගත් යකඩ හුලකින් කට අරවා රත්වූ ලෝහ ගුලි බහාලන විට ඇතිවන වේදනාව විඳීම යහපත් බවත්,

ශ්‍රද්ධාවෙන් දායකයන් දෙන ඇඳ පුටු දුසිල්වත්ව පරිභෝග කෙරේ නම් ඊට වඩා යම් බලවත් පුරුෂයෙක් තම හිසින් අල්වා රත්වූ ඇඳක ගිනිගත් පුටුවක වාඩි කරවන විට ඇතිවන වේදනාව විඳීම යහපත් බවත්,

ශ්‍රද්ධාවෙන් දායකයන් පූජා කරන ලද විහාර පරිහරණය දුසිල්වත්ව සිටිමින් කරනවට වඩා බලවත් පුරුෂයකු විසින් තමා අල්වා හිස යටට කොට ගිනිගත් ලෝහ හැළියක බස්සන විට දැනෙන වේදනාව විඳීම යහපත් බවත්,

මක් නිසාද, එම වේදනා විඳ මරණයෙන් මතු අපාගත නොවන බවත්

දුස්සීලයා මරණයෙන් මතු අපාගත වන බවත් නිසා ය.

මේ සූත්‍ර දේශනාව ශ්‍රවණයෙන් පසු දුසිල්වත් භික්ෂුහු හැටනමක් තමන්ගේ මුඛයෙන් උණු ලේ වමනය කළෝ ය. තවත් සැටක් පමණ භික්ෂුහු සිවුරු හැර ගියහ. තවත් සැටක් පමණ භික්ෂුහු රහත් වූහ.

අනතුරුව මේ සූත්‍රය දැන ගත් භික්ෂුහු බොහෝ සෙයින් මහණදම් පිරීම දුෂ්කර යැයි සිතා සිවුරු හැර යන්නටත්, වූ හෙයින් ශාසන විලෝචය දැක බුදුන් වහන්සේ චුල්ල අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූහ.

එහිදී උන්වහන්සේ දේශනා කොට වදාළේ යම් භික්ෂුවකගේ අවුරුදු සියයක මහණ කම් කාලය තුළ එක් මොහොතක් පමණක් සියලු සතුනට මෙත් වඩා ඇත්ද උන්වහන්සේ දුර සිට ගෙනවුත් දන් පිදීමටත්, දෙපා අල්ලා වන්දනා කිරීමට සුදුසු බවත්, මරණින් මතු සුගතිප්‍රාප්ත වන බවත් ය.

එබැවින් පැවිදි උතුමන් අග්ගික්ඛන්දෝපම සූත්‍රකරණ දැන පැවිදි දම් පිරිය යුතු අතර, දායක කාරකාදීන් චුල්ල අග්ගිඛන්දෝපම සූත්‍ර කාරණා දැන සිවුපසයෙන් උපස්ථාන කිරීමත් වටනේ ය.