Print this Article


සසර බිය ගැන කියන මළගියවුන් පිළිබඳ කතා

සසර බිය ගැන කියන මළගියවුන් පිළිබඳ කතා

ක්‍රි.පූ. තෙවන සියවසේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ධර්මදූත පිරිස බුදු සසුන පිහිටුවීම සඳහා සිරිලකට වැඩම කළහ. ඒ ඓතිහාසික සිද්ධිය වූයේ පොසොන් පෝය දිනක ය.

එවකට සිරිලක රජ කළ පෑතිස් නිරිඳුන් උන්වහන්සේට මුණගැසුණේ මිහින්තලේ දී ය. තමා ඇතුලු පිරිස රජුට හඳුන්වා දෙමින්,

යනුවෙන් මිහිඳු මාහිමියන් කළ ප්‍රකාශයේ ඇතුළත් ‘තමේව අනුකම්පාය’ (ඔබට ම අනුකම්පා පිණිස) යන යෙදුම තුළ උන්වහන්සේගේ ආගමනයෙහි මූලික පරමාර්ථය ගැබ් වී ඇත.

අඹ පැනයෙන් පෑතිස් රජුගේ නුවණ දැන, අනතුරු ව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරින් රජුට බුදු දහම ගැන මූලික දැනීමක් ලබා දී රජුගේ ආරාධනය අනුව පසු දින රජ මැදුරට වැඩම කොට, දහවල් දානය වළඳා භුක්තානුමෝදනා වශයෙන් පේතවත්ථු හා විමානවත්ථු මාතෘකා කරගෙන දහම් දෙසු සේක. මේ ධර්ම දේශනාව ගැන අද දක්වා ම පොසොන් උත්සව සමයේ පැවැත්වෙන ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවල දී ඉතා ගෞරවයෙන් අනුස්මරණය කරනු අසන්නට ලැබේ.

‘පේත’ යනු මිය ගියවුන් හැඳින්වීම සඳහා යොදන පාලි භාෂාමය වචනයකි. ‘වත්ථු’ යනු කතා යන්න යි. ඒ අනුව පේතවත්ථු යන්නෙන් අදහස් කරන්නේ මළගියවුන් පිළිබඳ කතා ය. ත්‍රිපිටකයෙහි මළගියවුන් ගැන ම විස්තර අන්තර්ගත ග්‍රන්ථයක් ඇත. ඒ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පසළොස අතර සත්වැන්න සේ සංග්‍රහ කොට ඇති පේතවත්ථු නමින් හැඳින්වෙන ග්‍රන්ථය යි. එහි උරග, උබ්බරී, චූල, මහා යන වර්ග හතරට ඇතුළත් කොට පේ‍්‍රතයන් පනස් එක් දෙනකු පිළිබඳ ව තොරතුරු ඇතුළත් වෙයි.

උරග වර්ගයේ ඛෙත්තුපම, සූකරමුඛ, පූතිමුඛ, සත්තපුත්ත ඛාදිකා, පඤ්චපුත්ත ඛාදිකා, ගෝන, මහා පේසකාර, ඛල්ලාටිය, නාග, උරග යන පේතවත්ථු ඇතුළත් කර ඇත.

සංසාර මෝචක, සාරිපුත්ත මාතා, මත්තා නන්දා, මට්ටකුණ්ඩලී, කණ්හ, ධනපාල, චුල්ල සෙට්ඨි, අංකුර, උත්තර මාතා, කර්ණ මුණ්ඩ, උබ්බරී යන පේතවත්ථු ඇතුළත් වන්නේ උබ්බරී වග්ගයට ය.

චුල්ල වග්ගයට ඇතුළත් කොට ඇත්තේ අභිජ්ජමාන, සානුවාසි, රථකාර, භූත, කුමාර, සේරිණි පඨම මිගලුද්දක, දුතිය මිගලුද්දක, කූට විනිච්චයික ධාතු විවණ්ණක යන පේතවත්ථු ය.

අම්බ සක්කර, සේරිස්සක, නන්දක, රේවති, උච්ඡු, කුමාර, රාජපුත්ත, ගුථඛාදක, භෝක සංහරණ, සෙට්ඨිපුත්ත, සට්ඨකූට සහස්ස යන පේතවත්ථු ඇතුළත් කොට ඇත්තේ මහා වග්ගයට ය.

ඉහත නම් සඳහන් පේතවත්ථු පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් අට්ඨ කතාව ‘පරමත්ථ දීපනී’ නමින් හැඳින්වේ. එය අට්ඨකථාචාර්ය ධම්මපාල හිමියන් විසින් ලියන ලද්දකි. මෙම පේතවත්ථු පනස් එකේ ම ඇතුළත් ප්‍රධාන චරිත අතර ගිහි පැවිදි දෙපක්ෂයේ මළගිය ඇත්තෝ සිටිති. පේතවත්ථුවලත්, විමානවත්ථුවලත් ඇතුළත් වන්නේ මළගිය ඇත්තන්ගේ චරිත කතා ය. මනුෂ්‍යාත්මභාවය ලැබගෙන සිට, දුගති මගේ ගමන් කොට මියගියවුන්ගේ විස්තර පේතවත්ථුවලත්, සුගති මගේ ගමන් කොට මියගියවුන්ගේ විස්තර විමාන වත්ථුවලත් ඇතුළත් කොට ඇත. ඔවුන්ගේ හැඩරුව, ජීවන යාත්‍රාව, වාසදේස, කෑම බීම ආදී තොරතුරු ඒවායේ දැක්වේ. පේතවත්ථුවල දැක්වෙන මේ උපුටනයන් කියවීමෙන් පේතයන්ගේ හැටි සොබා ගැන චිත්තරූප මවාගත හැකි ය.

“එම්බල ප්‍රේතය, තාගේ ශරීරය සියල්ල රන් හා සමාන ය. ශරීරාලෝකයෙන් සියලු ම දිශාවන් හාත්පසින් බබුළුවයි. එසේ ද වුවත් තාගේ මුඛය හූරු මුව හා සමාන ය.”

(සූඛර මුඛ පේත වත්ථු )

“පෙහෙසුන් කී මහණ එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි පැසී මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවරට නුදුරු තැනෙක්හි පූතිමුඛ ප්‍රේතයෙක් ව උපන, ඔහුගේ ශරීරය ස්වර්ණ වර්ණ විය. කටින් වනාහී පණුවෝ නික්මී මුඛය ඔබිමොබ කත්. ඔහුගේ මුඛයෙන් දුර වූ ද අවකාශය පැතිර දුගඳ වහනය වෙයි.”

(පූතිමුඛ පේත වත්ථු )

“එම්බල පේ‍්‍රතිය, නිර්වස්ත්‍ර ව ඉතාමත් බියකරු රූපයෙන් යුක්ත වන්නෙහි ය. නපුරු ගඳ ඇත්තී ය. ශරීරයෙන් කුණු ගඳ හමන්නේ ය. හාත්පස නිලමැස්සන්ගෙන් ගැවසී ගත්තේම ය.”

(පඤ්ච පුත්තඛාදිකා පේත වත්ථු )

“ස්වාමීනී, මම පාප කර්මයක් කොට මේ මිනිස් ලොවේ සිට ප්‍රේත ලෝකයට ඉපදීම් වශයෙන් පැමිණියා වූ, දුකට පත් වූ යම ලෝකයයි ලද නම් ඇති ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ පේ‍්‍රතියක් වෙමි. උදය කාලයෙහි පුත්‍රයන් සත් දෙනෙකුන් ද, සවස තවත් දරුවන් සත් දෙනෙකුන් ද, ප්‍රසූත කොට අනුභව කරමි. ඒ දරු තුදුස් දෙනා ම කෑ නමුදු මගේ බඩගින්න නිවීමට ප්‍රමාණ නො වෙත්.”

(සත්ත පුත්තබාදිකා පේත වත්ථු)

“පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ස්ත්‍රී තොමෝ අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. කවර කර්මයක් නිසා මේ විපාකයක් ද? යම්බඳු ප්‍රේතියක් තොමෝ සැම කල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද ඕ තොමෝ පෙර කිනම් අකුසල කර්මයක් කෙළේ ද?”

(මහා පේසකාර පේත වත්ථු )

“විළිවැස්මක් නැති ව, නපුරු ශරීර වර්ණ ඇති ව, මස් ලේ නැති බැවින් නහර වැල් ඉල්පී ගිය ශරීර ඇති ව උස් වූ ඉල ඇට ඇති ව, කෘශ වූ නොහොත් ඇට සම්, නහර පමණක් වූ සිරුරු ඇති බැවින් ඉතාමත් කෘශ භාවයෙන් යුක්ත වූ තී මෙහි සිටින්නෙහි ය. තී කවරියක් දැ’ යි අසා වදාළහ.”

(පූතිමුඛ පේත වත්ථු )

පේතවත්ථු ග්‍රන්ථයෙහි දී හමුවන, පේත නමින් හැඳින්වෙන පනස් එක් දෙනා ම මිනිසත් බව ලබා ගෙන සිට මිය ගිය පසු පේතාත්මභාවයන් ලැබූ අය යි.

ඒ පිරිස අතර පැවිද්දෝ ද වෙති. උතුම් මිනිස් බව ලැබ ගෙන සිටි ඒ පිරිසට දුක්බර දුගති භවයක ඉපදීමට හේතු වූ කරුණු මොනවා ද? ඒවා මෙසේ ය.

අනුන්ට බැණ වැදීම, අපහාස කිරීම, කේළාම් කීම, තුනුරුවන් සතු දේපොළ පැහැර ගැනීම, විනාශ කිරීම, වස බෙහෙත් යොදා ගැබිණියන්ගේ දරු ගැබ විනාශ කිරීම, බොරුවට දිවිරීම, පින් දහම් කරන්නවුන්ට බැණ වැදීම, බාධා කිරීම, අනුන් සතු දෑ සොරා ගැනීම, මිසදිටු අදහස් දැරීම, තමාගේ සැමියා නියම කළ දාන වස්තුන් පවා නොදී පැමිණ සිටි යාචකයන්ට බැණ වැදී පන්නා හැරීම, අනුන්ගේ සැප සම්පත් ගැන ඊර්ෂ්‍යා කොට ඒවා විනාශ කිරීම, තම සැමියාට නින්දා අපහාස කිරීම, තද මසුරු බවින් යුතු වීම, කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම, ඉසුරු මදින් මත් වී උතුමන්ට නින්දා අපහාස කිරීම, කල්‍යාණ මිත්‍රයන් දෙන උපදෙස් නො පිළිපැදීම, අල්ලස් ගෙන යුක්ති ධර්මය යටපත් කර විනිශ්චය කිරීම, පක්ෂග්‍රාහී ව නඩු විසඳීම, කුසල් කරන්නවුන් එයින් වැළැක්වීම. පූජා සත්කාර ගැන නුගුණ කියමින් ඒවා අවමානයට ලක්කිරීම වැනි ක්‍රියාවන් නිසා උසස් මිනිස් බවින් ඇද වැටෙන හැටි පේතවත්ථු හදාරන්නකුට වැටහෙයි.

පේතවත්ථු ඇසුරින් සකස් කළ ඉහත සඳහන දුර්ගුණ සංග්‍රහය පරාභව හා වසල සූත්‍ර සමඟ සසඳා බැලීම අවබෝධයට වඩාත් හිතකර ය.

“මිනිස් අත්බව ලැබූ කෙනකු පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන් හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩා වඩා සඵල කරගත හැකි ය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේ දී ම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේ දී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකි ය. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ පසු කාලයෙහි විමාන වත්ථු ආදර්ශයට ගෙන තම ජීවිතය සකස් කර ගත්හ. ඒවා අනාගත පරපුරට වඩාත් පහසුවෙන් වටහා ගැනීමට විහාර බිතුසිතුවම්වල ඇඳ තැබූහ. එසේම ගද්‍ය, පද්‍ය සාහිත්‍ය කෘති නිර්මාණය කර තැබූහ.

පේතවත්ථුවල දැක්වෙන අප්‍රසන්න චරිතවලට සමාන ලක්ෂණ ඇති දෙබිඩි හා විකෘති දරුවෝ මිනිසුන් අතර ද උපදිති. සිරුරින් මුවින් දුගඳ වහනය වන ප්‍රේතාත්ම බඳු ස්ත්‍රී පුරුෂයෝ, දරු ගැබ් විනාශ කරන්නෝ, අත් පා නැති යාචකයෝ, අසාමාන්‍ය දේහධාරී ස්ත්‍රී පුරුෂයෝ ඒ අතර වෙති.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්වැස්සන්ට හඳුන්වා දෙන ලද පේතවත්ථු අතරින් තිරෝකුඩ්ඩ පේතවත්ථුව සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි අත්තිවාරමක් මෙන් බලපා ඇත. සඟ සතු දේපොළ තමන්ගේ පරිහරණයට ගැනීමට, බුද්ධ පූජාව සඳහා තැබූ ආහාරපාන පරිභෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ එදා මෙන් අදත් බිය වෙති. කොටින් ම සඟසතු ඉඩමක ගස්වල හැදෙන මල්, පලතුරු පවා තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ කැමති නැත.