Print this Article


රුහුණේ මහා පුදබිම දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩසිටි සිතුල්පව්ව මහා විහාරය

රුහුණේ මහා පුදබිම දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩසිටි සිතුල්පව්ව මහා විහාරය

රෝහණය ලංකා ඉතිහාසයේ ප්‍රබල හා සමෘද්ධිමත් රාජ්‍යයක් වශයෙන් හැඳීන්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. අනුරාධපුර යුගයේ රාජ්‍ය විචාළ බොහෝ රාජකීයයන් රුහුණේ පාලකයන් සමඟ බොහෝ සම්බන්ධතා පවත්වා ඇත. රෝහණයේ රජ කළ පාලකයන් තම ආධ්‍යාත්මික සංවර්ධනයට සහ රාජ්‍යයේ සමෘද්ධියට අවැසි අනුශාසනාවන් ලබා ගත්තේ තිස්ස මහා විහාරය සහ සිතුල් පව්ව විහාරය යන උභය විහාරවාසී මහා තෙරවරුන්ගෙනි.

තිස්ස මහා විහාරය රෝහණයේ ග්‍රාමවාසී භික්‍ෂූන්ගේ කේන්‍ද්‍රස්ථානය වූ අතර ආරණ්‍යවාසී භික්‍ෂු සම්ප්‍රදාය නියෝජනය කළේ සිතුල් පව්ව විහාරයයි.

පාලි අට්ඨකථා සාහිත්‍යයේ “චිත්තල පබ්බත විහාර” යනුවෙන් ද, මහාවංසයේ “චිත්කල පබ්බත” යන නමින් ද, සෙල්ලිපිවල “චිතල පවත” යන ව්‍යවහාරයෙන් ද හඳුන්වන්නේ වර්තමානයේ සිතුල්පව්ව නමින් ප්‍රකට ඓතිහාසික පුදබිමයි. සිතුල්පව්ව යන වචනයෙහි අර්ථය නම් සිත් ඇද ගන්නා පර්වතය යන්නයි. අද ද මෙම පුදබිම එහි යන සැම දෙනකුගේ ම සිත දැහැන්ගත කරවන ස්වභාව සෞන්දර්යයෙන් අනූන පූජා භූමියකි.

මෙම ඓතිහාසික සිද්ධස්ථානය තිස්සමහාරාමයේ සිට සැතැපුම් 18 කින් හා කතරගම සිට සැතපුම් 11 කින් ද දකුණු දෙස යාල අභය භුමිය මධ්‍යයේ පිහිටා තිබේ.

සිතුල්පව්ව ගැන මුලින්ම සඳහන් වන්නේ මාගම රාජධානිය කොට රෝහණ දේශය පාලනය කළ ප්‍රතාපවත් නරේන්‍ද්‍රයකු වූ කාවන්තිස්ස රජතුමාගේ කාලයේ දී ය. කාවන්තිස්ස රජතුමා ස්තූප, සංඝාවාස, දාන ශාලා, ධර්මශාලා, උපොෂථාගාර, වැව්, පොකුණු ආදී සියලු ම විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කොට මතු ඇතිවන රජ, යුවරජ, මාපා, ඈපා ආදීන් විසින් ද මෙම තපෝ භූමිය ආරක්‍ෂා කළ යුතුයැයි ව්‍යවස්ථා පනවා සහදෙව රහතුන් වහන්සේට දොළොස් දහසක් රහතුන් වහන්සේ ඉදිරිපිට සඟසතු කොට පූජා කළ බව මහාවංසයේ 22, 24 වන පරිච්ඡේදවලින් පැහැදිලි වෙයි.

දුටුගැමුණු සද්ධාතිස්ස යන කුමාරවරුන් දෙදෙනා ඉගෙන ගත්තේ සිතුල්පව්වේ විසූකසුබු හා උපාලි යන හිමිවරුන් දෙදෙනා ගෙනි. දුටුගැමුණු,

වළගම්බා, මහසිළු මහතිස්, භාතිකාභය, මහදැලියා මානා, ආමණ්ඩ ගාමිණී යන රජවරු සිතුල්පව්වේ පිළිසකර කටයුතු කරවූහ. වසභ රජ සිතුල්පව්ව මහ වෙහෙර වටා පරිවාර ස්තූප 10 ක් කරවූහ. එයින් කීපයක් පුරාවිද්‍යා අධිකාරිය මඟින් තහවුරු කර තිබේ.

1 වන ගජබා රජු මහගම විනිශ්චය ශාලාවෙන් ලැබුණු දඩ කහවණු දෙකක් සිතුල්පව්වේ දිනපතා බෙහෙත් වියදමට දෙන ලදී. කණිට්ඨතිස්ස ගෝඨාභය යන රජවරු සිතුල්පව්වේ නවකම් කරවූහ. පළමුවන දප්පුල, පළමුවන විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු යන රජවරු ද සිතුල්පව් මහ වෙහෙර පිළිසකර කරවූහ.

මෙහි එක් අවස්ථාවක බැමිණිටියාසාය කාලයේ භික්‍ෂූන් වහන්සේ දොළොස් දහසක් වැඩ සිටි බව අට්ඨකථා සාහිත්‍යයේ දැක්වේ. කොටපබ්බත, තිස්සමහාරාමය ආදී කොතැනක පැවිදි වුවත් සිතුල්පව්වට පැමිණ එහිදී වතාවත් කිරීමට, බවුන් වැඩීමට භික්‍ෂූන් වහන්සේ අමතක නොකළ බව අටුවා කථාවක සඳහන් වී තිබේ.

මෙහි විදර්ශනා භාවනාව පුහුණු කළ ධර්ම විනයධර භික්‍ෂූන් ගේ කීර්තිය ලක්දිව පමණක් නොව භාරතයේ ද පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස විසාක වෙළඳ පුත්‍රයා ලක්දිවට අවුත් මහණ ව සිතුල්පව්වේ වෙසෙමින් භාවනා කොට රහත් ඵලය ලබා ගත් බව කියැවෙයි.

ක්‍රි.ව. පස්වන සියවසට අයත් සෙල්ලිපියක බුද්ධදාස, මහාසේන, මහානාම යන රජුන් විසින් අභයගිරි විහාරයට ප්‍රධානඝරයක පැවැත්ම සඳහා කිරිය 40000 ක කුඹුරු පූජා කළ බව සඳහන් කරයි. මෙය සිතුල්පව් විහාරය සඳහා විය යුතුයැයි කල්පනා කරති.

සම්මොහවිනොදනියේ ප්‍රධාන ඝරවාසී සුල්ල සුම්ම තෙරුණුවන්ගේ පුවතින් භාවනා කරන ස්ථාන වෙන වෙනම තිබුණු බවත් ඒවා භාරව ආචාර්‍යවරයින් සිටි බවත් සඳහන් වෙයි.

පීත කසිණය වැඩූ චිත්ත ගුත්ත හිමියෝ ද දෙබිඩි ලෙනක විසූ මිත්‍ර තෙරුන් වහන්සේලා දෙනම ද ධෛර්‍යය උපදවා බවුන් වඩා රහත් ඵල ලබාගත් හිමිවරු ය.

තිස්සමහාරාමය ග්‍රාමාන්ත සේනාසනය වූ අතර සිතුල්පව්ව ආරණ්‍ය සේනාසනය විය.යම් යම් අවස්ථාවල කරුණු දැන ගැනීම සඳහා තිස්සමහාරාමයෙන් සිතුල්පව්වටත්, සිතුල්පව්වෙන් තිස්සමහාරාමයටත් භික්‍ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම සිරිතක් ව පැවති බව මූලාශ්‍රය නයින් පැහැදිලි වේ.

තිස්සමහාරාමයේත්, සිතුල්පව්වේත් ත්‍රිපිටකධාරී ප්‍රතිබල සම්පන්න මහතෙරවරු වැඩ සිටි අතර උන්වහන්සේලා විසින් විශාල ධර්ම ශාස්ත්‍රීය සේවාවක් සිදු කොට ඇත. පාලි ත්‍රිපිටක සාහිත්‍යය සංවර්ධනයට ද උන්වහන්සේලාගේ නොමඳ අනුග්‍රහය හිමි විය. බොහෝ අටුවා ග්‍රන්ථවල හමුවන විවිධ බණ කතා ඒ සඳහා සාධක සපයයි.

කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් සිතුල්පව්ව පුදබිමට නවෝදයක් ලබාදීමට මූලිකත්වය ගත්තේ ගාල්ල යටගල රාජමහා විහාරාධිපති ව වැඩසිටි ගාලු පළාතේ උපප්‍රධාන සංඝ නායකව වැඩසිටි කවිකුලතිලක කලෙහේ ශ්‍රී ගුණරතන නාහිමිපාණන් වහන්සේ ය. කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරුවනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් යටතේ අධ්‍යාපනය හදාළ උන්වහන්සේ පොත්පත් කියවා ලද දැනුම ඔස්සේ යටගල දායක පිරිස සමඟ යාල මහ වන මැද සැඟවී ගිය සිතුල්පව්ව මහ වෙහෙර සහ තදනුබද්ධ මඟුල් මහා විහාරය 1918 වර්ෂයේ දී සොයා ගෙන ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසරය පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළහ.

උන්වහන්සේ 1934 වර්ෂයේ අපවත් වීමෙන් පසු ඉලුක්පිටියේ ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් , 1965 වර්ෂයේ සිට වත්තේහේනේ රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් මෙහි විහාරාධිපතීත්වයට පත්ව සංවර්ධන කටයුතු සිදු කළහ. මෙම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත නිබඳ දිරිය සැලසූ අපවත් වී වදාළ පණ්ඩිත වත්තේහේනේ පියරතන මාහිමියන් සහ උණවටුණේ රතනජෝති හිමියන්ගෙන් සිදු වූ මෙහෙය ද අගය කළ යුතු ය.

සිතුල්පව්ව මහ සෑ රදුන් වහන්සේ, බෝධි රාජයන් වහන්සේ, කුඩා සිතුල්පව්ව සෑ රදුන් වහන්සේ, ලෙන් විහාරය, මඟුල් මහා විහාරය, මහ රහතන් වහන්සේලා බවුන් වැඩූ ලෙන්, සෙල්ලිපි, උපෝෂථාගාර සංඝාරාම ආදියෙහි නටබුන් ඇතුළු විහාරාංග රාශියක් පුදබිම සහ ඒ අවට පැතිරී ඇත.

සිතුල්පව්ව රජමහා විහාරය සහ තදනුබද්ධ මගුල් මහා විහාරයෙහි නූතන නවෝදයෙහි සුවිශේෂීතම සංධිස්ථානයක් නම් සිතුල්පව්ව මඟුල් මහාවිහාර දායක සභාවෙහි සභාපති පදවිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාර ගැනීමයි. අමාත්‍යවරයකු ව සිටි අවධියේ සිට අද දක්වා ම අඛන්ඩ ව විහාරස්ථ දායක සභාවෙහි සභාපතීත්වය හොබවමින් ගරු අග්‍රාමාත්‍යතුමා විහාරස්ථානයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. දායක සභාවෙහි ගරු අනුශාසක පදවිය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා විසින් හොබවයි.

දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩ සිටි සිතුල්පව් පින් බිමෙහි අසිරිමත් පොසොන් පින්කම් මාලාවක් පවත්වා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කොට ශ්‍රී ලංකාද්වීපයත් පොදුවේ මුළු ලෝකයමත් මේ පැතිරයන දරුණු කොරෝනා වසංගත තත්වයෙන් මුදවාලීමට හැකි වේවායි ප්‍රාර්ථනා කොට සිටිමු.