Print this Article


අනුබුදු මිහිඳු මාහිමියන් සිහිපත් කරමින් පොසොන් පෝදා සෑම නිවෙසකම බෞද්ධ කොඩියක් ඔසවන්න - වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

අනුබුදු මිහිඳු මාහිමියන් සිහිපත් කරමින් පොසොන් පෝදා සෑම නිවෙසකම බෞද්ධ කොඩියක් ඔසවන්න - වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

සමස්ත ලෝකයටම බලපා ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ජූනි 23, 24 හා 25 තෙදින සංචරණ සීමා යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් හා ඩයලොග් සමාගමේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන මේ පින්කමට පසුගිය වසරටත් වඩා සංචරණ සීමා බලපැවැත්වෙන හෙයින් මේ වසරේ ආලෝක පූජාව හා අනුබුදු මිහිඳු මා හිමියන් උදෙසා පින්කම් මාලාව සිදු කරන ආකාරය පිළිබඳව මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයට ඇත්තේ අඩ සියවසකටත් වැඩි ඉතිහාසයක්. මෙවර කොවිඩ් 19 වසංගතය හමුවේ වුවද එම පින්බර කටයුත්ත සිදු කෙරෙන ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද අපේ හාමුදුරුවනේ?

පෙර කවදාටත් වඩා සෞඛ්‍යාරක්ෂිත ව අපට මෙවර ආලෝක පූජාව පවත්වන්නට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම අප මෙහිදී පැවසිය යුතුයි මේ සියලු කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව පවත්වන බව. කිසිදු ලෙසකින් එහි අඩුවක් වන්නට අප ඉඩ තබා නැහැ.

නිරෝධායන නීතිවලට අනුවයි අප කටයුතු කරන්නේ. ජනතා සහභාගිත්වයෙන් තොරව මේ කටයුතු කිරීමේ සීමාවකට පමණයි අප යටත්ව ඇත්තේ.

ඒ කියන්නෙ අපේ හාමුදුරුවනේ ආලෝක පූජාවේ සියලු විවෘත කිරීම් ඇතුළු පින්කම් සිදු කෙරෙනවා ද?

ඔව් ඒ සියලු කටයුතු සිදු කෙරෙනවා.

ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්.....

ලේක්හවුස් ආයතනයේ සහ විදුලි බල මණ්ඩලයේ අනුග්‍රාහක දායකත්වයෙන් ආලෝක පූජාව සිදු කෙරෙනවා. එහි විවෘත කිරීම් ද පෙර පරිදිම සිදු කෙරෙනවා. එහෙත් පින්කම සිදු කෙරෙන්නේ අනිවාර්යයෙන්ම නිරෝධායන නීතිවලට අනුකුලව හා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව බව මෙහිදී යළිත් සඳහන් කළ යුතුයි.

ආලෝක පූජාවට සමගාමීව සිදු කෙරෙන අනෙකුත් චාරිත්‍ර, පූජා විධීන් ඒ ආකාරයෙන්ම සිදු කෙරෙනවාද?

ඒ කිසිදු චාරිත්‍ර වාරිත්‍රයක අඩුවක් වන්නේ නැහැ. සියල්ල ඒ ලෙසින්ම සිදු කෙරෙනවා. ධාතූන් වහන්සේ වැඩම කරනවා. ඒ වගේම තේවාවන් පවත්වා කිරි ආහාර පූජා කිරීම් ඒ ලෙසින්ම සිදු කෙරෙනවා.

විශාලා මහනුවර තුන්බිය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රය දේශනා කළා සේ වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයටම බලපා ඇති කොවිඩ් 19 වසංගතය ඉක්මනින් දුරු වී ශ්‍රී ලංකාවාසීන් ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාවට සෙත් පතා අපි රතන සූත්‍ර දේශනාවක් පවත්වනවා.

මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතු කරුණ වන්නේ මේ පිරිත් සජ්ඣායනාවට සහභාගි වන්නේ විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ පමණක් බවයි. එමෙන්ම රතන සූත්‍ර දේශනාවට පෙර මහ පිරිත් පිරීමෙන් අනතුරුවයි ඒ කටයුතු සිදු කෙරෙන්නේ.

පිරිත් පින්කම සතියක් පුරා එනම්, ජූනි 20 වැනිදා සිට 27 දක්වා පවත්වනවා. එහි ආශිර්වාදය ලක්වාසී සැමට ලැබේවි.

වෙනදාට පොසොන් පෝ දා මිහින්තලා පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යනවා. මෙවර ජනතා සහභාගීත්වයක් සිදු වන්නේ නෑ. ශ්‍රද්ධාවත් බොදු ජනතාවට මේ මොහොතේ ඔබ වහන්සේ ලබා දෙන පණිවිඩය කුමක්ද?

රටේ පවත්නා වසංගත තත්ත්වය යටතේ නිවසේ සිට පොසොන් සැමරීම කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ අවස්ථාවේදී සියලු ලක් වාසින්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ අනුබුදු මිහිඳු මා හිමියන් සිහිපත් කරමින් සෑම නිවසක ම බෞද්ධ කොඩියක් ඔසවන ලෙසයි.

එහිදී නිසි ප්‍රමිතියෙන් යුතු බෞද්ධ කොඩියක් භාවිත කරන මෙන්ද බෞද්ධ කොඩිය නිසි ලෙසින් ම ඔසවන ලෙසින් ද ඉල්ලා සිටිනවා. මා දැක තිබෙනවා ඇතැම් බෞද්ධ කොඩි අනෙක් පැත්තට ඔසවා තිබෙනවා. අපි බෞද්ධ කොඩියට නිසි පරිදි සැලකිල්ලක් ගෞරවයක් දැක්විය යුතු වෙනවා.

එමෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන් බුදු හිමියන් පුදන්නට, අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේට ගෞරව කරන්නට කටයුතු කරනවා නම් එය සැබෑ පොසොන් සැමරුමක් බවට පත්වෙනු ඇති.

රාජ්‍ය පොසොන් උත්සවයක් ලෙසින් පවත්වන උත්සවයේ මෙවර ප්‍රභූ සහභාගීත්වය සිදු වෙනවා ද?

ජනාධිපතිතුමාත් , අගමැතිතුමාත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් රැසක් ඒ පින්කම සඳහා සහභාගි වනවා.

වෙනත් වසරවලදී ආලෝක පූජාවට පූර්වයෙන් මිහින්තලා පුදබිමේ සිට විශාල කාර්යයන් රැසක් සිදු කෙරනවා. සුද්ධ පවිත්‍ර කිරීම්, වර්ණ ආලේප කිරීම් ආදිය, මෙවරත් ඒ කටයුතු සිදු කෙරුණාද?

අවශ්‍ය කරන සුද්ද පවිත්‍ර කිරීම් නිසි ලෙසින් සිදු කළා. ඒ වෙනුවෙන් යුද, නාවික හා ගුවන් හමුදාවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු පිරිසක් කටයුතු කළා. ඒ වගේම ආරක්ෂක කටයුතුවලට පොලිසියත් සහභාගි වෙනවා.

ඔබ වහන්සේගේ උපදේශකත්වයෙන් පසුගිය වසරවල මිහින්තලා පුදබිමේ සිදු කෙරුණු විශේෂ සේවාවන් ගැන සඳහන් කළොත්

මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කිරීමටත්, රාජ්‍ය පොසොන් උත්සවය ගැසට් කර මිහින්තලයේ පැවැත්වීමටත් අප කටයුතු කළා.

එමෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ 2280 වැනි අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම් රාජ්‍ය උත්සවය පැවැත්වූවා. එවැනි උත්සවයක් රාජ්‍ය නායකයකුගේ ප්‍රධානත්වය ඇතිව මෙරට පැවැත්වුණේ වසර 1700 කට පසුවයි.

එම උත්සවයට සමගාමී ව මිහින්තලා පුද බිමේ පිහිටි ඓතිහාසික මිහිඳු මහ සෑය, මිහිඳු ලෙන් සෙනසුන, ධාතු මන්දිරය, පියගැට පෙළ ඇතුළු සුවිශේෂි ස්ථාන රැසක් ප්‍රතිසංස්කරණය කිරීමත් ආරම්භ කළා. ඒ වගේම සංවර්ධන කටයුතු ඇණ හිට තිබූ ධර්මශාලාවත් යළි ඉදිකිරීමට පියවර ගත්තා. එය දකුණු ආසියාවේ විශාලතම ධර්ම ශාලාව ලෙස නම් කළ හැකියි. එහි වරකට 5000 කට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි අයුරින් ඉදිවන්නේ.

මිහින්තලා පුදබිමේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද අපේ හාමුදුරුවනේ..

ඒ සියල්ල සෙමෙන් සිදුවනවා. මේ අවස්ථාවේ දී රජයටත් විශාල ප්‍රතිපාදන වෙන් කරන්න බැහැ. ත්‍රිවිධ හමුදාවේ සහායෙන් උපරිම ලෙසින් කටයුතු සිදු වෙනවා. හැකියාවක් ඇති අය හෝ ආයතනවලට පුළුවන් මේ අවස්ථාවේ දී මිහින්තලා පින්බිමේ සංවර්ධන කටයුතු සඳහා දායක වන්න.

විහාරස්ථානයට දාන මාන දුර බැහැරින් සැපයූ අය සිටියා. මේ වනවිට ඒ අයට දානය සැපයීමට හැකියාවක් නොමැති පසුබිමක ඔබ වහන්සේලාට දානමාන කටයුතු බාධාවකින් තොරව සැපයෙනවාද?

දානය ලැබෙන්නේ නැහැ. අප පන්සලේ දානය සකසා ගන්නවා. අඩුපාඩු රැසක් තියෙනවා.

දානමාන කටයුතු සඳහා දායකත්වයක් ලබා දීමට කැමැති පින්වතුන් සිටිනවා. මේ අවස්ථාවේ ඒ අයට කළහැකි දේ ගැන පැවසුවහොත්?

මිහින්තලා රාජමහා විහාරයට ගෙනැවිත් බාර දෙන්න පුළුවන්. එමෙන්ම විහාරවාසී සුරුක්කුලමේ ඉන්දරතන හිමියන්ට 0714601781 අංකයෙන් අමතා ඒ සම්බන්ධ ව වැඩි විස්තර දැන ගන්න පුළුවන්. දානය සම්බන්ධව අපට දායකත්වයක් ලබා දෙන්නේ නම් ඒක ලොකු පිනක්.

මේ වන විට වන්දනාකරුවන් කිසිවකු නැති මිහින්තලා පුදබිම පාලුවට ගිය ස්වභාවයක් පෙනෙනවා නේද අපේ හාමුදුරුවනේ.

ඔව්, වන්දනාකරුවන් විතරක් නෙමෙයි. මිහින්තලේ විහාරය අවට හිටපු සුනඛයන් ඒ වගේම රිලවු වැනි සතුන් පවා අපෙන් ඈත්වෙලා ගිහින්. කන්න බොන්න තියෙන වෙලාවට එනවා. නැති වුණහම එතැනින් යනවා. ඒක ඉතින් ලෝක ස්වභාවයනෙ.