Print this Article


ඓතිහාසික මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහමේ සම්බුද්ධාලෝකය බෙදා දුන් මිහින්තලේ පුණ්‍ය භූමිය ආලෝකවත් කරන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මෙවරත් 59 වැනි වරට පැවැත්වීමට දැන් සියලු කටයුතු යොදා ඇත.

මිහින්තලා රාජමහා විහාරාධිපති භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙවරත් අලෝක පූජාව සිදුකරන්නේ ලේක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අප අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ සංවිධානය හා උපදෙස් මත ය.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ වූයේ 1963 දී ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහසක් පරිදි ය. මෙරට ආයතන දැන් පවත්වන ආලෝක පූජා සියල්ලට ම පරමාදර්ශය වූයේ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවයි. එදා සිටම අද දක්වාම ලේක්හවුස් ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වන්නේ විදුලිබල මණ්ඩලයයි.

රටේ අන් සියලු ආලෝක පූජාවලට පරමාදර්ශ ආලෝක පූජාව වෙමින් ලේක්හවුස් ආලෝක පූජාව 1963 පොසොන් පසළොස්වක දින එවකට ලේක්හවුස්හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන හා ජී.බී.එස්. ගෝමස් යන මහත්වරු මෙම මුල්ම ආලෝක පූජාව සංවිධානය කළහ. එදා ආලෝක පූජාව විවෘත වූ මොහොතේ මිහින්තලයේ සිටි පෙහෙවස් සමාදන් වූ හා වන්දනා කළ බැතිමතුන් මේ පූජාව ඇරඹූ අයට පින් දෙමින් සාධු නාද දුන් බව එකල ආලෝක පූජාවට එක්වූ අප පැරණි නිලධාරිහු පවසති.

මුලින්ම ආලෝක පූජාව සිදු කර ඇත්තේ අගනුවර සිට විශාල ලොරිරථවල මහා විදුලි ජනක යන්ත්‍ර රැගෙන විත් ඒවාට ඉන්ධන දමා ඇන්ජින් පණ ගැන්වීමෙනි.

මේ අයුරින් ආලෝක පූජාව ආරම්භ කළ බව රටපුරා ලේක්හවුස් පුවත්පත් වලින් ප්‍රචාරය වීමත් සමගම මිහින්තලාවේ දන්සැල් පැවැත්වීම ද වැඩිවිය. ජල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් ද වැඩි විය. එය ගිහි ජනතාවට පමණක් නොව මිහින්තලා විහාරස්ථානයේ වැඩවසන හා මිහින්තලාවට පොසොන් පසළොස්වක දින වැඩමවන මහා සංඝ රත්නයට ද ඉමහත් සත්කාරයක් විය.

මිහින්තලා පුද බිමට 1978 දි ස්ථිර විදුලි ආලෝකය ලැබිණි. ලේක්හවුස් ආයතනයේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ මහතාගේ ඉල්ලීම් අනුව හා ලේක්හවුස් ආලෝක පූජාවේ වියදම් සඳහා මිහින්තලා ආලෝක භාරය පිහිටවිය. මිහින්තලේ ප්‍රදේශයේ දහම්පාසල් හා පාසල් සිසු සිසුවියන් සිල් සමාදන් කර ඔවුන්ට සිල්රෙදි ලබාදීම චිත්‍ර හා කථික දහම් තරග පැවැත්වීම ආරම්භ විය. ඊට අමතරව ආලෝක පූජාවට සමගාමීව ලේක්හවුස් ආයතනය මඟිින් මිහින්තලා ප්‍රදේශයට ජාතික ආගමික සාමාජික සේවාවන් ද සැලසී ය.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට ලොකුම තර්ජනය එල්ල වූයේ 1985 දීය. ඊට හේතුව පොසොන් පසළොස්වක දිනයට දින 16 ක් තිබියදී 1985 මැයි 14 වැනිදා අනුරාධපුරය ශ්‍රී මහ බෝධි පරිශ්‍රයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ඒ නිසා එහි සිටි උවැසි උවැසියෝ 140 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ ප්‍රහාරය නිසා මුළු රජරටම පමණක් නොව මුළු ලංකාවේම බෞද්ධ ජනතාව තැති ගත්හ.

කෙසේ වුවත් ලේක්හවුස් එවකට සිටි පාලනාධිකාරිය, තීරණය කළේ අනුරාධපුරයට මිහින්තලාව අවට ගම්වලට කොටි ප්‍රහාර එල්ල කළත් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව කෙසේ හෝ සිදු කළ යුතු බවයි.

ඒ අනුව පාලනාධිකාරිය එවකට බුදුසරණ පත්‍රයේ කර්තෘ ලෙස සේවය කළ ප්‍රේමසිරි අබේසිංහ මහතාටත් පිරිස් කළමනාකාර ටිරල් ප්‍රනාන්දු මහතාටත් උපදෙස් දී ඇත්තේ මිහින්තලාවට ගොස් ආලෝක පූජාව සංවිධානය කරන ලෙසයි.

ඒ අනුව බුදුදහම අපේ රටට පැතිරූ සුවිශේෂ ස්ථානය පොසොන් පසළොස්වක දිනයේම කළුවරේ තැබීමට නොහැකි නිසාත් , ලේක්හවුස් ආලෝක පූජාව නොකඩවා පැවැත්විය යුතු නිසාත් , ලේක්හවුස් හි මේ රාජකාරිය දේවකාරියක් ලෙස කළ යුතු නිසාත් ඉහත නිලධාරිහු තවත් සේවක පිරිසක් සමඟ ගොස් 1985 මිහින්තලා ලේක්හවුස් අලෝක පූජාව සාර්ථක ලෙස දින තුනක් තිස්සේ සිදු කළහ.

ආලෝක පූජාවට සමගාමීව ලේක්හවුස් ආයතනය විසින් මිහින්තලා ආසන්නයේ පාසල් තුනක් සඳහා විද්‍යාගාර, දන්ත ශල්‍යාගාරයක් හා පුස්තකාලයක් ලබාදෙන ලදි. ඊට පසු කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු මධ්‍යස්ථානයක් ද මිහින්තලා මහ විද්‍යාලයට පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ද ලබාදී ඇත.

විදුලිබල මණ්ඩලය විසින් 2002 වසරේදී මිහින්තලේ තිබූ පැරැණි විදුලිබල පද්ධතිය ඉවත් කොට භූගත විදුලිබල පද්ධතියක් සවි කළේ ය. ඒ නිසා ආලෝක පූජාවට තවත් උදව්වක් පහසුවක් ලැබී ඇත.

ඉහත දැක්වූ තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද අප ආයතනයේ සේවකයන්ගේ කැපවීම නිසා මිහින්තලා ආලෝක පූජාව නොකඩවා වසර 58 ක් පවත්වාගෙන ආ අයුරින් මෙවරත් කොරෝනා තර්ජන මධ්‍යයේ වුවද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කිරීම ලේක්හවුස් හි පැරණි සේවකයන් ලෙස අපි අගය කරමු.

රෝග පීඩාදිය මධ්‍යයේ වුව ද මෙවරත් පොසොන් පසළොස්වක දින දහස් ගණන් විදුලි බුබුළු වලින් ඒ්කාලෝක වන මිහින්තලය පූජා භූමිය රටටම කියා පාන්නේ ලේක්හවුස් ආයතනයේ බොදු මෙහෙවරේ ප්‍රෞඪත්වයයි. එමෙන්ම ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මේ උතුම් ආලෝක පූජාවේ සියලුම කටයුතුවලට පූර්ණ සහයෝගය දක්වන බව කෘතවේදී ව මතක් කළ යුතුය.