Print this Article


සොබා දහමේ අයිතිකරුවකු නොවී භාරකරුවෙක් වෙන්න

සොබා දහමේ අයිතිකරුවකු නොවී භාරකරුවෙක් වෙන්න

උතුම් පොසොන් පුන් පොහෝ දිනය සමස්ථ ශ්‍රී ලාංකේය ජනයාටම ෙඓතිහාසිකව මෙන්ම ආගමික වශයෙන් ද ඉතා වැදගත් වේ. අනුබුඳු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු වීම එයට ප්‍රධාන හේතුවයි.

විවිධ වන්දනාවන් සහ ඇදහිලි ක්‍රම සිදු කරමින් සොබා දහම කෙරෙහි ආකල්පයකින් තොරව රටේ රජුන් පවා සත්ව ඝාතනය කරමින් විවිධ වූ සැනකෙළි පවත්වමින් ජීවිතය පිළිබඳ අර්ථ විරහිත ව කටයුතු කළ අවධියක් ලාංකේය ඉතිහාසයේ දැක ගත හැකි ය.

එලෙස කල් ගත වූ අවධියක ආගමික, සාමාජික, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික, ආදි සියල්ලෙන් සුපෝෂිත දර්ශනයක් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය ලක් දිවට හඳුන්වා දීමේ බලාපොරොත්තුවෙන් අනුබුඳු මිහිදු මහරහතන් වහන්සේ අද වැනි වූ දිනයක ලක් දිවට වැඩම කළහ.

මෙවර පොසොන් පොහොය උදාවත් සමඟ අප නැවත වරක් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සමඟ මානසික ව ඒකාත්මික වී ප්‍රතිපත්තීන් තුළ පිහිටීමට කාලය උදා වී ඇත.

එනම් එදා මිහිඳු හිමියන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුන්වා දීමේ දී දේවානම් පියතිස්ස රජු ඇතුලු පිරිසට දේශනා කරන ලද මූලික ධර්ම දේශනාවන් දෙස බැලීමෙන් එහි මූලික පරමාර්ථ කිහිපයක් පෙනී ය යි.

මානව හිතවාදී බව හා සබැඳී ගුණාංග වූ පංච සීල ප්‍රතිපදාව පිළිබඳ හඳුන්වා පාපයට ලජ්ජා බය ඇති කොට පුද්ගලයා කුසලයෙහි පිහිටුවා ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා යොමු කර වීම මෙහිදී ප්‍රධාන විය. ලෞකික මෙන් ම ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ දේශනාවන් ගෙන හැර පාමින් අකුසල ක්‍රියාවන්හි නිරතව සිටි අය මහරහත් තත්වයට ගෙන එමින් ලක්දිවම ධර්ම රාජ්‍යයක් බවට පත් කළහ. ඒ ලද ධර්මයේ සැනසීම අද වන විට පුද්ගල කායික හා මානසික යන දෙයංශයෙන් ම ඈත් වී ඇති බව සමාජය දෙස බැලීමෙන් පැහැදිලි වේ.

එසේ වීමට හේතු කාරණා මෙහිදී ඉදිරිපත් කරීමට වඩා එම සැනසීම නැවත ඇති කරගැනීම විෂයෙහි කටයුතු කළ යුත්තේ කෙසේද යන වග සාකාච්ඡා කිරීම වැදගත් වේ.

ලෝකය පුරාම පැතිර යන ගෝලීය වසංගතය හමුවේ අපට ද එයින් බේරීමට හැකියාවක් නොමැති විය. ලෝකයේ පාලකයා මිනිසා නොව සොබාදහම බව මැනවින් ප්‍රකට වන තවත් සුවිශේෂි අවස්ථාවක් බවට පත් වී ඇත.

සොබා දහමේ විශිෂ්ටතම නිර්මාණය වන මිනිසා කාලයාගේ ඇවෑමෙන් තමන් සොබා දහමේ කොටස් කරුවකු ය යන්න අමතක කොට වැඩ කිරීමට යුහුසුලු විය. මිනිසා යනු සොබා දහමේ අයිති කරු නොව සොබා දහමේ භාරකරු පමණි.

එහෙත් පෘථිවිය ජය ගෙන නිම වී ඇතැයි සිතූ මිනිසා අභ්‍යවකාශ තරණය කරමින් එක් රටක මිනිසුන්ට වඩා අප සාර්ථකයි හෝ අප දියුණු යැයි පවසමින් කටයුතු කරන්නට පටන් ගත්තේ තමන් ආර්ථික හා තාක්‍ෂණික දියුණුවේ උපරිමයේ සිටින වග දැක් වීමට පමණක් නොව සොබා දහමේ නියමයන් තමා ජය ගත්තේ යැයි සිතමිනි. මේ වන විට මෙම සියලු රටවල් වල උගත් නූගත්, ධනවත් දුප්පත්, ලස්සන අවලස්සන, යන සෑම අයකුම උත්සාහ කරන්නේ තම ජීවීතය බේරා ගැනීමට ය.

මෙම ඇති වී තිබෙන ගෝලීය වසංගතය හමුවේ මිනිසාගේ සියලු ශක්‍යතාවන් පරයා ගොස් සොබා දහමට අනුව මිනිසා පාලනය කරමින් සිටි.

සොබා දහමේ අනික් සියලුම ප්‍රාණවත් වූ තිරිසන් ගත සතුන් බෝහෝම සුවෙන් ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමින් සිටි. ඔවුන් කිසිවෙක් මෙම රෝගයෙන් පීඩා නොවෙති. මිනිසා නිවසට කොටු කර ඔවුන් නිදහසේ ඇවිද යති. නිදහසේ ජීවත් වෙති. ගස් වැල් සුපුරුදු පරිදි මල් දරති, පල දරති, යහමින් වැඩෙති. සූර්යයා වෙනදා මෙන්ම දිලෙයි. චන්ද්‍රයාගේ සිසිල වෙනදා මෙන්ම ලෝකය වෙත ලබා දෙයි. වැස්ස සුළඟ තමාට අවැසි පරිදිම ලෝකය හසුරුවයි. මිනිසා පමණක් සොබා දහමෙන් හුදකලා කොට මිනිසාට අමතකව ගිය කුමක් හෝ යහපත් පණිවිඩයක් නැවත සිහිපත් කරවීමට මෙවැනි රෝගයක් සමඟ මිනිසා හුදකලා කළා දෝ යන්න නැවත සිතා බැලීමට කාලය උදා වී ඇත.

අනුබුඳු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට හඳුන්වා දුන් බුදු දහම වනාහි යථා වාදී තථා කාරී, තථා කාරී යථා වාදී දහමකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එය ගිලිහි යන බව සමාජය තුළින් පෙනී යන්නට විය.

සෑම අවස්ථාවක ම බුදු දහම මුල්කොට පංච ශීලය සමාදන්ව සියලු කටයුතු ආරම්භ කිරීම චාරිත්‍රයක් කොට ගත් අපේ පැරණි ශ්‍රි ලාංකේය බෞද්ධ ජනයා එය දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට ද කැප වී ක්‍රියා කරනු දක්නට ලැබීය. එහෙත් වර්තමාන සමාජය තුළ පංච ශීල ප්‍රතිපදාව කෙරෙහි පුද්ගලයාගේ ආකල්පය බෙහෝ දුරට වෙනස් වී ඇත.

වර්තමාන පුද්ගලයා තමා ප්‍රකාශ කරන වචනය තුළ ශක්තිමත් ව පිහිටා කටයුතු කිරීමට අපොහොසත් ව සිටින බවක් සහ තම ක්‍රියාවන් තමා ප්‍රකාශ කරන වචන හා ඒකාත්මික නොවන බව පැහැදිලි වේ. මේ සියලු දේ මූලික වන්නේ තම සිත නිවැරැදිව ධර්මානූකූල ලෙස පුහුණු කිරීමක් නොමැති බව නිසාය.

සෑම අවස්ථාවක ම පුද්ගලයා තාවකාලික ලෞකික සතුටක් පසු පස අසීමාන්තික ආශාවෙන් යුතුව අසීමාන්තික ව තම පංච ඉන්ද්‍රියයන් පිනවීම කෙරෙහි යොමු වී ඕනෑම ක්‍රමයක් මඟින් එය සම්පූර්ණ කරවීමට උත්සාහ දරයි.

මිනිසාට අමතක වූ කාරණාව නම් තම ආශාවන් අසීමිත බවත්, සම්පත් සීමිත බවත්, අසීමිත ආශාවන් පසු පස හඹා යාමෙන් වනුයේ තම ජීවිතය කිසිවිටෙක තෘප්තිමත් නොවී ජීවිත කණස්සල්ලට පත් වීම පමණක් තමාට හිමි වන බවත් ය.

දේවානම් පියතිස්ස රජු තම උයන් ක්‍රීඩා පසෙක ලා බුදු දහමේ සැබෑ සැනසීම ලැබී ය. විනෝදය පිණිස සත්ව ඝාතනය රාජ නීතියෙන් ම තහනම් කොට දිවි හිමියෙන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටා මාර්ගඵලාවබෝධයට පත් විය. රජකම මෙන්ම තමන් ලැබූ මිනිසත් බව ද උතුම් ලෙස ප්‍රයෝජනයට ගෙන පරම සැනසීම ලබා ගන්නට තරම් භාග්‍යවන්ත විය.

සොබා දහමෙන් මේ ලද විවේකය තුළ ඔබද සැබෑ ලෙස බොදුනුවකු වීමට අධිෂ්ඨාන කොට පංච ශිල ප්‍රතිපදාව තුළ හදවතින්ම පිහිටා සොබා දහමට ආදරය කරුණාව පතුරවමින් සොබා දහමෙන් ලැබෙන ආශිර්වාදය ගෙන ජීවිතය සුරක්‍ෂා කර ගනිමින් ධර්මානුකූල සැනසීම, ප්‍රිතීය ළඟා කර ගැනීමට උත්සාහවත් වන්න.