Print this Article


මහින්දාගමනයෙන් උදා වූ කාන්තා විමුක්තිය

මහින්දාගමනයෙන් උදා වූ කාන්තා විමුක්තිය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය නිසා ලාංකිකයන් තුළ ඇති වූ චින්තන පෙරළිය අසාමාන්‍ය එකකි. මෙවැනි සමාජ විප්ලවයක් ලක් ඉතිහාසයේ අන් කවර කලෙකවත් ඇති නොවූ බව අවිවාදයෙන් පිළිගැනේ.

මෙම ඓතිහාසික සිදුවීම ආගමික, සාමාජික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ලාංකික සමාජය කෙරෙහි ඇති කළ බලපෑම සුළුපටු නොවන බව ද නො රහසකි. විශේෂ වශයෙන් එතෙක් මෙහි පැවති බ්‍රාහ්මණ, ජෛන වැනි පාරම්පරික ආගමික චින්තන සහ ඒ හා බැඳුණු මිථ්‍යා ඇදහිලි, මතවාද, ආකල්ප වෙනුවට සමානාත්මතාව අගයන නැවුම් දර්ශනයක ආශිර්වාදය අපට ලැබුණේ මහින්දාගමනය නිසාවෙනි.

වර්තමානයේ ප්‍රබල මානව අයිතිවාසිකම් ප්‍රකාශනයක් බවට පත්ව ඇති කාන්තා විමුක්තිය පිළිබඳ විමසා බැලීමේ දී ප්‍රාග් බෞද්ධ යුගයේ භාරතයේ පැවතුණු බ්‍රාහ්මණ ආගම අනුව යමින් මහින්දාගමනයට පෙර ලාංකික කාන්තාව දාසියක සේ සලකා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඇයගේ ආගමික නිදහස පමණක් නොව තීරණ ගැනීමේ හා ක්‍රියා කිරීමේ අයිතිය පවා අහිමි කොට ඇය වහලියකගේ තත්ත්වයට පත් කර තිබුණි. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව පුරුෂාධිපත්‍ය තහවුරු කළ සමාජයක කාන්තාවට සිදුවුයේ පිරිමි පාර්ශ්වයේ අණසකට යටත්ව සියලු බැල මෙහෙවර කරමින් අසරණියක මෙන් ක්‍රියා කිරීමට යි. ස්වාධීනව කටයුතු කිරීම කාන්තාවට තහනම් විය. භාරත දේශයේ පැවති මෙම තත්ත්වය ලංකාවේ ද මහින්දාගමනයට පෙර පැවති බවට අපේ වංශ කථා ද සාක්‍ෂි දරයි.

මිහිඳු මාහිමියන් ඇතුළු ධර්මදූත පිරිස පැමිණීමත් සමඟ කාන්තාව කෙරෙහි පැවති මෙම තත්ත්වය සපුරාම වෙනස් විය. ස්ත්‍රී පුරුෂ භේදයක් නොසලකා පොදුවේ දහම් දෙසූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ කාන්තාවට හිමි සමතැන තහවුරු කරනු පිණිස සංඝමිත්තා මහරහත් තෙරණිය දඹදිව සිට වැඩම කරවා ගත්හ.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවත් රැගෙන මෙහි වැඩම කළ සංඝමිත්තා තෙරණිය ඒ වන විට තිසරණ ගතව පැවිදිවීමේ අරමුණෙන් සිටි අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවා භික්‍ෂුණී ශාසනය ආරම්භ කළා ය. මිහිඳු මාහිමියන්ගේ අවවාද අනුශාසනා යටතේ සිදුවූ මෙම ඓතිහාසික සිදුවීම ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාන්තා පරපුර ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. මේ නිසා අලුතින් ලැබුණු බුදු දහමත්, එහි ආභාෂය හා ආශිර්වාදයත් හේතු කොට ගෙන නැවුම් ආරකට ගොඩනැඟුණු සමාජය තුළ ස්ත්‍රිය ද පුරුෂයා හා සම තත්ත්වයේ ලා සැලකීමත් නිසා සුවිශේෂ සමාජ පෙරළියක් සිදු විය.

අනුලා බිසව ඇතුළු පැවිදි වූ පන්සියයක් දෙනා වහන්සේලා කෙටි කලකින් බවුන් වඩා උතුම් අර්හත් ඵලයට පිළිපන්හ. එම තෙරණින් වහන්සේලා අනුව යමින් තවත් බොහෝ කාන්තාවෝ පැවිදි දිවියට පත් වුහ. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමා කරවූ මිරිසවැටි දාගැබ විවෘත කළ අවස්ථාවට භික්‍ෂුණීන් වහන්සේලා අනූදහසක් සහභාගී වී තිබේ.

රුවන්වැලි මහ දාගැබේ ඉදිකිරිම් ආරම්භ කළ දිනයේ පියදස්සී නම් තෙරුන් වහන්සේගේ බණ අසා රහත් වූ පිරිස අතරේ භික්‍ෂුණීන් වහන්සේලා දාහතර දහසක් සිටියහ. මහිලා සමන්තා, ගිරිකාලි, දාසි, කාලි යන භික්‍ෂුණීන් වහන්සේලා පස් නම ප්‍රධාන විසි දහසක් භික්‍ෂුණීන් වහන්සේලා රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන්වූ බව දිපවංශයේ සඳහන් වේ.

මේ තොරතුරු වලින් පැහැදිලි වන්නේ එවක ශ්‍රී ලංකාවේ භික්‍ෂුණී ශාසනය ඉතා උසස් තත්ත්වයකින් පැවතුණු බවයි.

මේ අනුව ලක්වැසි කාන්තාවට ද සම අයිතීන් ලබා දෙමින් කාන්තා නිදහස වෙනුවෙන් තැබූ ප්‍රථම ඓතිහාසික පියවර වශයෙන් භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහන් කළ හැකි ය. ආගමික නිදහස මෙන්ම සාමාජීය වශයෙන් ලද ස්වාධීනත්වය නිසා ලාංකීය කාන්තාවට පැවිද්ද පමණක් නොව අධ්‍යාපන අවස්ථා හිමි කර ගැනීමෙන් පෙරමුණට ඒමට අවස්ථාව සැලසුනේ ද මිහිඳු සංස්කෘතිය නිසාවෙනි. විහාරමහා දේවිය, සෝමා දේවිය වැනි ජාතියේ වීරෝදාර කාන්තාවන් බිහි වූයේ ද, සුගලා දේවිය වැනි රණකාමී වීර කාන්තාවන් බිහි වූයේ ද මහින්දාගමනය නිසා උදා වූ සංස්කෘතික පෙරළිය නිසාවෙනි.

අප රටේ බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවයට හා පූජනීයත්වයට භාජනය වන ශ්‍රී මහා බෝධිය හා උතුම් දළදාව මෙරටට වැඩම කරවන ලද්දේ කාන්තාවන් දෙදනකු විසින් බව අමතක කළ යුතු නොවේ. ඒ වාසනා මහිමය කාන්තාවට ලැබුණේ මහින්දාගමනයෙන් උදා වූ කාන්තා නිදහස නිසාවෙනි. ස්ත්‍රී පුරුෂ දෙදෙනාම ආධ්‍යාත්මික ශක්තියෙන් අනූන බව සංයුක්ත නිකායේ කෝසල ධීතු සූත්‍රය, භික්ඛුණී සංයුක්තයේ එන සෝමා සූත්‍රය, සංයුක්තයේ එන ආවේණික දුක්ඛ සූත්‍රය, දීඝ නිකායේ සක්ක පඤ්හ සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදල්ල සුත්‍රය ආදී දේශනාවලින් පැහැදිලි වෙයි.

ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම අතින් විශිෂ්ට කුසලතා පෙන්වු ගිහි කාන්තාවෝ ද සමාජයේ ඉදිරියට ම පැමිණියහ. මේ බව සනාථ කළ හැකි තොරතුරු රැසක් වංශකථාවල සටහන් වී ඇත. පළමුවන උපතිස්ස රජුගේ බිසව මැනවින් අභිධර්මය හදාළ කාන්තාවකි. පළමු අග්බෝ රජුගේ රාජ සභාවෙහි දොළෙස් මහ කවීන් අතරින් ‘දළබිසෝ ’ කිවිඳීයක වු බව මහාචාර්‍ය එස්. හෙට්ටිආරච්චිගේ අදහස යි. සීගිරි ගී අතර කාන්තාවන් විසින් ලියන ලද කවි හමුවේ. අනුලා, ලීලා ආදී රාජිණියන් ගැන වංශකථාවල දැක්වෙයි.

රාජ්‍ය පාලනයට සහාය වූ කාන්තාවන් රැසක් ගැන තොරතුරු ඉතිහාසයෙන් අපට හමු වෙයි. තම ආත්ම ගරුත්වය රැක ගනිමින් ක්‍රියා කළ විහාර මහාදේවිය, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ මව, උපතිස්ස රජතුමාගේ බිසව, තම ස්වාමියා වු වළගම්බා රජු සතුරන්ගෙන් බේරා ගැනීමට ජීවිතය පූජා කළ සෝමාදේවිය එයින් කිහිප දෙනෙකු පමණි. මෙසේ සිංහල කාන්තා පරපුරේ අභිමානය රැක ගැනීමෙහි ලා පෙරට පැමිණි දිරිය කාන්තාවන් රාශියක් අපට හමුවෙයි.

මෙම කරුණු විමර්ශනය කරන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වර්ෂයේ දී සිදු වූ මහින්දාගමනය නිසා මෙරට ජනතාව තුළ ඇති වූ චින්තන විප්ලවය අසමසම එකක් බව පෙනේ.

ඊට සමගාමී ව සිදු වූ දුමින්දාගමනය එනම් සංඝමිත්තා මහරහත් තෙරණිය සහ පිරිවර විසින් ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම නිසා ලක්වැසි කාන්තා පරපුර කෙරෙහි ප්‍රායෝගික ව ඇති කළ බලපෑම ඉතා විශිෂ්ට එකකි. එය එතෙක් බ්‍රාහ්මණ දහමින් බැඳ දමා තිබුණු අන්ධානුකරණ සමාජ වහල් බැමි හා පවුරු බිඳ දැමීමට තදබල ලෙස ඉවහල් විය. මහින්දාගමනය මෙරට කාන්තාවට සැබෑ විමුක්තිය ලබා දෙමින් ආගමික, අධ්‍යාපනික, සාමාජික හා ආර්ථික වශයෙන් ඇයගේ පූර්ණ නිදහස ලබාදීමට ගත් ඓතිහාසික පියවරකි. ලොව ප්‍රථම අගමැතිවරිය බිහි කර ගැනීමේ ගෞරවය අප රටට ලැබෙන්නේ ද මිහිඳු මාහිමියන් ගෙනා බුදු දහමේ ආශිර්වාදයක් වශයෙනි.

කෙසේ වෙතත් වර්තමානයේ දී කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනි සිටින සංවිධාන රාශියක් ලොව පුරා බිහි වී ඇති බවක් පෙනේ. කාන්තාවන් වෙනුවෙන් දිනයක් ද වෙන් කර ඇතත්, පිරිමි පක්‍ෂය වෙනුවෙන් දිනයක් වෙන් කර නො තිබීමෙන් වැටහෙන්නේ කාන්තාවගේ නිදහස මෙන්ම අයිතිවාසිකම් පිළිබඳ ගැටලුකාරී ස්වභාවයක් තවමත් පවත්නා බවයි. සමාජයේ නිදන්ගත ව ඇති සංස්කෘතික මතවාද සංකේතමය කාර්‍යයක් ඉටු කරමින් ‘ස්ත්‍රී චිත්තය’ පාලනය කරන්නට හේතු වන බවක් පෙනේ. මෙය විග්‍රහ කරනු පිණිස බුද්ධිමය සංවාදයක් අවැසි කාලය එළඹ තිබේ. එය අනුබුදු මිහිඳු මාහිමියන්ගේ හා සංඝමිත්තාවගේ උදාර නාමයට කරන අත්‍යන්ත පූජාවක් වනු ඇත. කාන්තාව තුළ පැවති නිසර්ග බුද්ධිය කුසලතාව හා නුවණ ද මනාලෙස සමාජගත කරවමින් මිහින්තලාවෙන් පෑයූ පූර්ණ චන්ද්‍රයා බඳු මිහිඳු මහ රහතන් වහන්සේට ලක්වැසි කාන්තා පරපුර සදාකල් නමස්කාරය කරනු ඇත.