Print this Article


දික්විජය පැරද වූ ධර්ම විජය ප්‍රතිපත්තිය

දික්විජය පැරද වූ ධර්ම විජය ප්‍රතිපත්තිය

බුදුරජාණන් වහන්සේ හැරුණු විට ශී‍්‍ර ලාංකේය ‍‍‍බෞද්ධයින් දෙවැනි බුදුන් ලෙස සලකන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ දඹදිව රාජ්‍ය හෙබ වූ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙකි. ධර්මාශෝක රජු ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව හෙළදිවට වැඩම වූ සංඝමිත්තා තෙරණියගේ පියතුමා ය. තම ලෙයින් උපන් පුත්‍ර රත්නය සහ දියණිය සම්බුද්ධ ශාසනයට පූජා කර ධර්මයෙන් ලොව සුවපත් කිරීමට වෙහෙස ගත් රජ කෙනෙකි.

ධාර්මික රජ කෙනකු වූයේ චණ්ඩ ගතිවලින් පිරුණු අයෙකි. ධර්මාශෝක රජතුමාගේ දික්විජය සහ ධර්මවිජය ප්‍රතිපත්ති විමසීමෙන් එය තහවුරු වෙයි.

උපතින් බෞද්ධයකු නොවූ රජතුමා රණ ශූර මෞර්ය වංශයට අයත් වෙයි. බින්දුසාර අධිරාජයා පිය රජතුමා ය. චන්ද්‍රගුප්ත අධිරාජයා මුත්තණුවන් ය. බින්දුසාර රජතුමාගේ බිසෝවරු දහසය දෙනාගෙන් ධර්මා නම් බිසව මව් තොමෝ ය.

පූර්ණ රාජ සම්පත් සහ යුද ශක්තියෙන් හෙබි රාජ වංශයෙහි උපන් කුමරු කුඩා අවධියේ සිට යුද්ධයට දක්ෂකම් දැක්වීය. බින්දුසාර රජතුමාගේ දරුවන් එකසිය එක්දෙනා අතුරින් රජුගේ සිත් ගැනීමට සමත් කුමරු බවට පත් වෙයි. උදේනි රාජ්‍යට එරහිව යුද්ධ කර එය ජය ගෙන පාලනය කිරීමට ද පවරන්නේ එබැවිනි.

පිය රජතුමාගේ ඇවෑමෙන් පාඨලීපුත්‍රයේ රාජාභිශේෂකයට පැමිණියේ නමුත් සෙසු සහෝදරයින් අනූ නව දෙනා තිස්ස කුමරුට සහ අශෝක කුමරුට එරෙහි වෙයි. එබැවින් යුද්ධයකට අවතීර්ණ වී සොහොයුරන් අනූනව දෙනා මරණයට පත් කර රාජ්‍ය බලය ලබා ගනියි. වසර හතරක් යුද්ධය පැවතුණු බව පැවසේ. එයින් දික්විජය ප්‍රතිපත්තිය ආරම්භ වෙයි.

දික්විජය ප්‍රතිපත්තිය යනු යුද්ධයෙන් රාජ්‍යයන් අල්ලා ගැනීම සහ පාලනය මෙහෙයවීමයි. එහෙත් ප්‍රබල වූ කාලිංඝ දේශයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ ද, පහසුවෙන් ජය ගැනීමට නො හැකි වෙයි. යුද්ධයෙන් ලක්ෂයක් මරණයට ද, එක්ලක්ෂ පනස් දහසක් ආබාධිත තත්ත්වයට ද, තවත් ලක්ෂයක් සිරකරුවන් බවට ද, තවත් විශාල පිරිසක් තුවාලකරුවන් බවට ද පත් වෙයි. කාලිංඝ දේශයම එකම ලේ විලක් බවට පත් වෙයි.

දරුවන්ට දෙමාපියන් අහිමිවීම, දෙමාපියන්ට දරුවන් අහිමිවීම, ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් මරණයට පත්වීම, ආහාරපාන නොමැතිවීම, වගාකටයුතු විනාශවීම, ශ්‍රේෂ්ඨ ගුරුවරුන් මරණයට පත්වීම වැනි විපත් කෙරෙහි රජුගේ නෙත ගැටෙයි. එයින් දැඩි සිත් වේදනාවට පත් වෙයි. රජතුමා යුද්ධය ජයගෙන එන ගමනේ දී උපගුප්ත නම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හමුවී උන්වහන්සේ වෙතින් ධර්මය අසා තමන්ගේ සිත් තැවුල් පහකරගෙන ධර්මය කෙරෙහි පැහැදුණු බව දිව්‍යදානය පවසයි.

සිංහල වංශකථා දක්වන්නේ නිග්‍රෝධ නම් සත්හැවිරිදි සාමණේරයන් වහන්සේගේ සංසුන් ගමනට පැහැදී උන්වහන්සේ රාජ මාලිගයට වැඩමවා රාජ ආසනයේ වඩා හිඳුවා

'අප්පමාදෝ අමත පදං-පමාදෝ මච්චුනෝපදං, අප්පමත්තාන මීයන්ති-යෙ පමත්තා යථා මථා' යන ධම්මපද ගාථාවෙන් දේශනා කළ ධර්මය අසා පැහැදී උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ වෙතින් තවදුරටත් ධර්මය ඉගෙනගෙන බෞද්ධාගම වැළඳගත් බවකි.

ඉන්දියාවේ ප්‍රචළිත ජනප්‍රවාදයක් අනුව දැක්වෙන්නේ රජතුමා බුදුරුවක් දැක එයට පැහැදී භික්ෂූන් වෙත එළැඹ ධර්මය අධ්‍යනය කර බෞද්ධාගම වැළද ගත් බවකි.

කෙසේ හෝ රජතුමා බෞද්ධයකුවීමට බලපා ඇත්තේ කාලිංඝ යුද්ධයෙන් ඇති වූ සිත්තැවුල බව නම් පැහැදිලි ය. භික්ෂූන් වහන්සේලාගේ ඇසුර ලබාගත් රජතුමා තමන් බෞද්ධ දර්ශනයට අනුව රාජ්‍ය මෙහෙය විය යුතු ආකාරය ද ඉගෙන ගනියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජතුමාට දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රය, මහාසුදස්සන සූත්‍රය, කූටදන්ත සූත්‍රය වැනි සූත්‍රධර්මත්, ධම්මපදය, විමානවත්ථු, සුත්ත නිපාතය සහ අංගුත්තර නිකාය වැනි ධර්ම ග්‍රන්ථත් අධ්‍යයනය කිරීමට ලැබෙයි.

එයින් දැහැමි රාජ්‍ය පාලනයත්, රටවැසියා අනුගමනය කළ යුතු සාරධර්ම ආදියත් හොඳින් අවබෝධ කර ගනියි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මවිජය ප්‍රතිපත්තිය ලොවට දායාද වෙයි. ගුරුවරුන්ට සැලකීම, සතුන්ට කරුණාව දක්වමින් ඔවුන් රැකබලා ගැනීම, ඔවුන් වෙනුවෙන් ළිං සහ පොකුණු ඉදිකිරීම, ආරෝග්‍යශාලා සහ ඔසු උයන් පිහිටුවීම, මාර්ග දෙපස මිනිසුන්ට සහ සතුන්ට ආහාරයට ගත හැකි පලතුරු ගස් රෝපණය කරවීම, සතුන් වෙනුවෙන් උයන්වතු තැනවීම, ආගමික පූජකයින්ට දන්දීම සහ ඔවුන් රැකබලා ගැනීම, සතුන්මරා යාග කිරීම් තහනම් කිරීම, සෑම අයකුටම කරුණාව දැක්වීම, රජගෙදර රාජ භෝජනවලට සතුන් මැරීම නවතා දැමීම, අවැඩදායි විනෝදජනක කී‍්‍රඩා නවතා දැමීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම වැනි සාරධර්ම ඇතුළත් ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි, සහ සෙල්ලිපි මඟිින් එම ධර්ම කොටස් දඹදිව සෑම තැනම ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සලසයි.

එය ධර්ම විජය ප්‍රතිපත්තිය වූ අතර ඒ අනුව රටවැසියාගේ සාරධර්ම ගොඩනැඟීම සිදු කරයි. තමන්ගේ පාලන කටයුතු සතර සංග්‍රහවස්තු, සතර බඹවිහරණ, දස සක්විතිවත්, දස රාජධර්ම, සප්ත අපරිහානි ධර්ම සහ පංචසීල ප්‍රතිපදාව අනුව කි‍්‍රයාත්මක කිරීමටත් කටයුතු යොදයි.

රජතුමාගේ කරුණාව ජීවී අජීවි සියලු දෙනා වෙතම එක සමාන ව දැක්වීමට කටයුතු යොදයි. සියලු රටවැසියෝ මාගේ දරුවෝය යන අදහසින් පාලනය ගෙන ගිය බව පැවසේ. රජතුමා සතු කරුණාව සෙනෙහස කොපමණ ද යන්න

‘‘මම ආහාර ගනිද්දී හෝ අන්ත:පුරයේ සිටිද්දී හෝ ඇතුළු මාලිගාවේ සිටිද්දී හෝ උද්‍යානයේ සිටිද්දී හෝ වෙනත් කවර කටයුත්තක යෙදී සිටියේ නමුත් ජනතාවගේ පණිවුඩ මා වෙත ගෙන ආ යුතු ය. මම සෑම තැනකදී ම ජනතාවගේ කටයුතු කරමි. සියලු ලෝකයාගේ යහපත උදෙසා කටයුතු කිරීම මාගේ පරම යුතුකම වන්නේ ය. ලෝකයාට සේවය කිරීම හැර වෙනත් උතුම් සතුටක් මට නැත.“

යනුවෙන් පවසා තිබීමෙන් ම පැහැදිලි වෙයි. චණ්ඩාශෝක බවට පත්වී යුද්ධයෙන් රාජ්‍යයන් ආක්‍රමණය කර ජය ගත්තේ ය. ධර්මය අසා පැහැදීමෙන් පසු එය ඉවත දමා ධර්මයෙන් රාජ්‍යයන් අල්ලා ගැනීමට කටයුතු යෙදී ය. එය රාජ්‍යන් අල්ලා ගැනීමක් පමණක් නොව එම රටවල මිනිසුන්ගේ හදවත් සියල්ල ද අල්ලා ගැනීමක් හා සමාන ය.

රජතුමාගේ ධාර්මික ප්‍රතිපත්තිවලට ජනතාව පි‍්‍රය කළහ. රජතුමාට ගෞරව දැක්වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් තෙවැනි ධර්ම සංගායනාව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් පාඨලීපුත්‍රයේ අශෝකාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදයි.

රජතුමාගේ ඉල්ලීම සහ අනුග්‍රහය සහිතව මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව රටවල් නවයකට ධර්ම ප්‍රචාරය සිදුකරයි.

හෙළදිව වංස කථා තොරතුරු අනුව කාශ්මීර ගන්ධාර, මහිස මණ්ඩලය, වනවාස දේශය, අපරන්තදේශය, මහාරට්ඨය, යෝනක දේශය, සුවණ්ණභූමිය, හිමවන්ත ප්‍රදේශය සහ තම්බපණ්ණි දීපය යන රටවලට ධර්ම දූත පිරිස් පිටත් කර ඇත.

දහතුන් වැනි ගිරිලිපිය අනුව ධර්මාශෝක රජතුමාගේ රාජාභිෂේකයෙන් විසිහත් වැනි වර්ෂයේ දී ‘‘හිද, අතෙෂු, අතියොග, තුලමයේ, අංතෙකිනෙ, චකා, අලික්යුෂුදලෙ, චෝඩ, පංඩියා, තංබපණ්ණි, යෝන, කාංබෝජ, අධ, පාලද, තාභක, නාග පංති, භෝජ, පිතිනිත්යධ යන ස්ථාන දහ අටට ධර්මදූතයන් වහන්සේලා යැවූ බව සඳහන් වෙයි.

රජතුමා ධර්ම ප්‍රචාරය පමණක් සිදු කර නතර නොවෙයි. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසූහාරදහසක් ඇති බව අසා දඹදිව පුරා වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළ බව ද පැවසේ. රජතුමාගේ අපමණ බෞද්ධ හැඟීම සහ ධර්ම විජය ප්‍රතිපත්තිය ලොවක් සනසාලීමට අදත් හේතු වී ඇත.

මතු වසර දහස් ගණනක් එය රැඳී තිබෙනු ඇත. සියලුම බෞද්ධයින් ධර්මාශෝක නාමයට සැමදා ගරු කළ යුතු ය. ලොව මෙතෙක් කලක් බුද්ධ දේශනාව පවතින්නේ එතුමාගේ ශාසනික සේවයේ මහත් වූ ප්‍රතිඵල නිසයි.