Print this Article


කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි

කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි

විසල් ගල් පරුවත මඟින් මහා කරුණා ගුණ වෑහෙන සෙල් පිළිම නෙළීමට හෙළ කලා කරුවාට කෙතරම් නම් ඥානයක් ශික්ෂණයක් තිබිය යුතු ද? මුළු මහත් ලෝකයා ම විශ්මයට පත් කරන මේ ප්‍රශස්ත කලා නිර්මාණ අපට කියා පාන්නේ මහින්දා ගමනයේ ඇති සාතිශය විශිෂ්ටතාවයි.

සම්මා සම්බුදු දහම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාවාසී ජනතාවට හඳුන්වාදීම පොසොන් පුර පසළොස්වක පොහෝ දා සිදු වූ අසිරිමත් සිදුවීමයි. ජාතික, ආගමික දේශපාලනික, සාමාජික හා ශාසනික ආදි සකලවිධ කාරණාවන්ගේ අභිවෘද්ධිය අතින් විමසා බැලීමේ දී මහින්දාගමනය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය ය.

එදා මෙදා තුර ශත වර්ෂ විසිතුනකට අධික කාලයක් බුදු දහමේ ගැඹුරු අර්ථ විමසමින් සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමට සාහිත්‍යකරුවන් ගත් උත්සාහය වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත.

නූතන ගීත සාහිත්‍යයේ වස්තු විෂයය තෝරා ගැනීමේ දී ගීත රචකයින්ගේ වැඩි අවධානයක් බුදු දහමේ ආභාසයෙන් බිහි වූ සාධුසම්මත මාවත කෙරෙහි යොමු වී ඇත.

පොසොන් පුර පසළොස්වක පොහෝ දින සිදු වූ මහින්දාගමනය ලක් වැසියන්ගේ ජීවිතවලට ලබා දුන් ආස්වාදනීය වින්දනය කෙබඳු ද යන්න නිහාල් එල් ජයසිංහයන් විසින් රචිත පදවැල බුදු දහම කෙරෙහි අසීමිත භක්තියකින් කටයුතු කළ මොහිදින් බෙග් හා සුජාතා අත්තනායක නමැති විශිෂ්ට ගායක ගායිකා දෙපළගේ මුවින් ගැයෙන විට ලක්වැසියන්ට අමුතුම ජීවයක් ගෙන දීමට සමත් වෙයි.

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනා
මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි
රත්නමාලී සෑ රදුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි

බොදු පිළිවෙත්වලට අනුගතව ලක්වැසියන් තම ජීවිත ගමන් මඟ සරසා ගැනීමෙන් අනතුරුව ලක්දිව පුරා හමන සිසිල් සුළඟ, මල්වල සුවඳත් දහමේ නැවුම් සුවඳත් රැගෙන හමා යන විට ගතටත් සිතටත් දැනෙන්නේ ආනන්දනීය සුවයකි.

එකී සුවදායක මඳ නල මිහින්තලා පව්ව ස්පර්ශ කරමින් හමායන විට තුරුලතාදිය සෙමෙන් සෙලවෙමින් නැළවෙමින් පරිසරය ද ඉමහත් වූ ප්‍රසාදයට පත් වී ඇති බව ජන හදවත් තුළ තැම්පත් කිරීමට ගේය පද රචකයා ගත් උත්සාහය අතිශයින් ප්‍රශංසා කටයුතු ය.

රැල් නඟා හෝ ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි

ගීත රචකයා වැඩි අවධානයක් පොළොන්නරු දේශය කෙරෙහි යොමු කරන්නේ සුවිශේෂී කරුණක් මුල් කොට ගෙන බව පහැදිලි ය. එයට හේතුව මහා පරාක්‍රම සමුද්‍රය පිහිටා තිබෙන්නේ පොළොන්නරු ප්‍රදේශයේ නිසා ය. ලාංකිකයන් කෘෂි ආර්ථිකයට හැඩ ගැසී දැහැමි දිවි පෙවෙතක් ගත කළ ලොව අභිමානවත් ජාතියකි. පරාක්‍රම සමුද්‍රය රැලි පිට රැලි නඟමින් පතුරන්නේ ජාතියේ ජය ඝෝෂාවයි. හෙළයන්ගේ වීර වික්‍රමයයි. සත්‍ය වශයෙන්ම එහි ඇත්තේ හෙළයන්ගේ ජය පානයයි.

දාගැබයි මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ

අනුරාධපුර පොළොන්නරු පූජනීය පෙදෙස්වල මහා දැගැබ්වල කොත් කැරලි අහස සිප ගෙන නිල්වන් මහා මේඝ වලාකුළු ඇසුරු කරන බව කවියා පවසන්නේ ශ්‍රාවක හදවත්වල චිත්ත රූප මවමිනි. වරෙක වැවයි දාගැබයි ගමයි පන්සලයි යන හෙළයන්ගේ තේමා පාඨය එයින් අපිට සිහිගන්වමින් සාඩම්බර හැඟීම් ජනිත කරවයි.

ලක් පොළොවේ දාගැබින් ලැබුණු ආශිර්වාදයත්, මේඝ වලාවන්ගෙන් ලැබුණු වැසි දිය දහරින් ලැබුණු ශක්තියත් පිළිබඳ මෙම සඳහන පොළොන්නරු යුගයේ පෙරදිග මහා ධාන්‍යාගාරය නම් අප ලැබූ විරුදාවලිය නැවත ලක් වැසියන්ට සිහි ගන්වයි.

මහින්දාගමනයෙන් පසුව ලක්වැසියන් ඥානයෙන් , ශික්ෂණයෙන් ලොව අන් කිසි වකුටත් සම කළ නොහැක. විසල් ගල් පරුවත මඟින් මහා කරුණා ගුණ වෑහෙන සෙල් පිළිම නෙළීමට හෙළ කලා කරුවාට කෙතරම් නම් ඥානයක් ශික්ෂණයක් තිබිය යුතු ද? මුළු මහත් ලෝකයා ම විශ්මයට පත් කරන මේ ප්‍රශස්ත කලා නිර්මාණ අපට කියා පාන්නේ මහින්දා ගමනයේ ඇති සාතිශය විශිෂ්ටතාවයි. කෘෂි ආර්ථිකය නිසා දැහැමි දිවි පෙවෙතකට හුරුපුරුදු වුණ හෙළයින් තැන්පත් හික්මුණ මනසකින් හා පැසුණු බුද්ධියකින් යුතුව කළ ප්‍රාතිහාර්යය රචකයා මෙම ගීතයෙන් සහෘද මනස ස්පන්දනය කරයි.

මහා රජුන් තුන් සිංහලේ එහෙමයි
එදා දස්කම් කළේ
ඒ උතුම් දහමින් තමා ලේ මස් පවා
විස්කම් කළේ
ධීර වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ

රුහුණු පිහිටි මායා ත්‍රී සිංහලය ආරක්ෂක ස්ථම්භ ලෙස පිළිගැනේ. ලංකා ඉතිහාසයේ මෙම ත්‍රී සිංහලයේ රජ කළ හෙළ රජ දරුවන් ලක් දෙරණ ආරක්ෂා කිරීමට දිවි දෙවෙනි කොට කටයුතු කළ බව ඉතිහාසය මධ්‍යස්ථව විමසීමේ දී පෙනීයන කරුණකි.

මහා දාඨික මහානාග වැනි රජවරු වෙස්වළාගෙන ගොවිතැන් කළහ. ඒ රට ස්වයං පෝෂිත කිරීමේ උදාර අරමුණ උදෙසා ය. තවත් රජවරු වෙස්වළාගෙන රටේ දුක් විඳීන ජනතාව සොයා ගම් දනව් සැරූහ. ඒ ලක්වාසීන්ගේ සුබ සිද්ධිය උදෙසා ය. පර සතුරන්ගෙන් දේශය බේරා ගනිමින් ලක් දෙරණ ආරක්ෂා කිරීමට ශක්තියත්, ධෛර්යයත් ලැබුණේ එදා පොසොන් පුර පසළොස්වක දා දහමින් ලද දායාදයක් ලෙසිනි.

ලේ මස් නහර ඇට මිදුළු පසු කරමින් මනසේ ගැඹුරුම තැන තැම්පත් වූ මෙම අසිරිමත් දහම අතු පතර විහිදී ගිය දැවැන්ත මහ ගහක් ලෙස ජන හදවත් තුළ රෝපණය වූයේ ලක්වැසියන් දහමට දැක් වූ අසීමිත හිතවත්කම හේතු කොට ගෙනයි. එම නිසා එකී අභිමානවත් ඉතිහාසය අනුස්මරණය කරන හැම විටම ලක්වැසියන්ගේ සිතට නැවුම් ජීවයක් ගලා එයි.

හෙළයන්ගේ සූර වීර ධීර විකුමන් , නිමක් නැති මානව ගුණයන් නිසා ලෝ වැසියන්ගේ පවා අතිශය පූජනීයත්වයට පත් වී ඇති බව රචකයා ඉදිරිපත් කරන්නේ සාඩම්බර ලීලාවෙනි.

අවසාන වශයෙන් කවියා සතරවරම් මහ දෙවිවරුන් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව පවසයි. නිර්මල බුද්ධ ශාසනය ලක් දෙරන තුළ පැවතුණහොත් එහි ආනුභාවයෙන් අන් සියලුම දෑ ආරක්ෂා වන බව ව්‍යංගයෙන් පැවසීමට නිර්මාණකරුවා උත්සාහ දරා ඇත.