Print this Article


වැලිවිට අසරණ සරණ සරණංකර සිරි සංඝරාජ මා හිමි - 01

වැලිවිට අසරණ සරණ සරණංකර සිරි සංඝරාජ මා හිමි - 01

323 වන ජන්ම සංවත්සරය, 243 වන අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර 268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

මහනුවර යුගයේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ පහළ වීම උදාරතර සිද්ධියක්ම විය. ජාතියත්, රටත්, සම්බුද්ධ ශාසනයත්, ධර්ම ශාස්ත්‍රත් අන්තයට ම පිරිහීි එක ද උපසම්පදා භික්‍ෂුවක්වත් නොසිටි මේ යුගය අතිශයින් ම ශෝක ජනක අන්ධකාර කාලයක් විය.

උන්වහන්සේ දුක සේ උගත් ධර්ම ශාස්ත්‍ර දෙක තමන් වෙත පැමිණි ශිෂ්‍ය බාලාදීන්ට උගන්වා විශාල අන්තේවාසික සද්ධිවිහාරික භික්‍ෂු පිරිසකුත් ගිහි පඩිවරු කිහිප පළකුත් ඇති කළහ. ලංකාවේ උඩරට පහතරට දෙපසින් ම පැමිණි මහා සංඝරත්නය උපසම්පදාව ලබා ගැනීම මුඛ්‍යාර්ථය කොට ගෙන සෙංකඩගල නුවරට සම්ප්‍රාප්ත වූහ.

සිල්වතුන් වශයෙනුත් ගණින්වහන්සේලා වශයෙනුත් සිටි සාමණේර පිරිස දීර්ඝ කාලයක සිට ප්‍රාර්ථනා කරමින් සිටි මේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගැනීම ජීවිතයේ උත්කෘෂ්ඨ අවස්ථාවක් ලෙස හැම දෙනාම සැලකූහ. (විද්‍යෝදය පරිවෙණාධිපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත අකුරැටියේ ශ්‍රී අමරවංශාභිධාන දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණෝ, වැලිවිට සංඝරාජ ප්‍රණාමය, 52 පිටුව. 1985.)

සොළොස් වැනි සියවස පටන් කෙමෙන් විවිධ අන්තරායන්ට ගොදුරු වූ මෙරට දේශපාලන ස්ථාවරත්වය, දේශීය බෞද්ධ අධ්‍යාපනය හා සංස්කෘතිය ද, භික්‍ෂු සමාජය ද අටළොස් වැනි සියවස පමණ වන විට බෙහෙවින් ම කනගාටුදායක වූ පරිහාණියක ලකුණු නොයෙක් අයුරින් ප්‍රකට කළේ ය.

ලක්දිව මුහුදුබඩ ප්‍රදේශ ප්‍රතිකාල් හා ලන්දේසි ආධිපත්‍යයට යටත් වූ අවධියේ පටන් ම බෞද්ධ සංස්කෘතික තත්ත්වයන් පිරිහී තිබිණ. සසුන ප්‍රමාණවත් රාජානුග්‍රහයක් නොලැබූ අතර, ගිහි බෞද්ධයෝ ද අන්‍යාගම් වෙත හැරෙමින් දේශීය සංස්කෘතිය අවම කොට සලකන්නට වූහ.

මේ අතර උඩරට තත්ත්වය ද ක්‍රමයෙන් පිරිහිණ. එහි රජ කළ නායක්කාර වංශිකයෝ ද සසුනත්, ඒ හා බැඳීගත් සංස්කෘතියත් මැනවින් රක්‍ෂණය, පෝෂණය නො කළෝ ය. එහි ප්‍රතිඵලය වූයේ වසර දහස් ගණනක් මුළුල්ලේ අඛණ්ඩ ව සරුසාර ලෙස වැඩී ආ මෙරට භාෂා සාහිත්‍යය, ධර්ම ශාස්ත්‍රය, ශාසනික ප්‍රබෝධය, අධ්‍යාපනය, සමාජ චාරිත්‍රාදි විශිෂ්ට සංස්කෘතික බලවේගයන් දරුණු ලෙස පිරිහී යාම ය.

භික්‍ෂූන් වහන්සේගේ පිරිහීම මේ සියල්ලෙහි නිධානය වූයේ ය. මෙරට මල්වතු, අස්ගිරි යන බෞද්ධ මූලස්ථාන පවා උපසපන් භික්‍ෂූන්ගෙන් හිස් වී තිබිණ. වෙහෙර විහාර පැවති නමුදු ධර්ම විනයධර සිල්වත් පැවිද්දෝ නො වුණහ. ශ්‍රමණ සාරුප්‍යය නොවූ විවිධ විෂමාචාරයන් නිසා භික්‍ෂුවගේ තත්ත්වය පිරිහීි තිබිණ.

මෙම දුර්භාග්‍ය සම්පන්න අඳුරු කාල පරිච්ඡේදය අවසන් කරමින් පෙර පැවති ශාසනික හා සංස්කෘතික උද්දීප්තිය යළි උදා කළ යුගකාරක මහා පුරුෂයාණන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සිරි සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ය. (විද්‍යාලංකාර පරිවෙණාධිපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණෝ, වැලිවිට සංඝරාජ ප්‍රණාමය, 102 පිටුව, 1985.)

මේ නයින් බලනවිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවන බව දැනගෙන තුන් වතාවක් වැඩමවමින් සිරි ලක්දිව අති පාරිශුද්ධත්වයට පත් කළේ යැයි මහාවංශ, දීපවංශ, ජිනකාලමාලිය ආදි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 237කට පසුව ය, ධර්මාශෝක මහරජතුමා බෞද්ධයකු බවට පත්වූයේ. බුදුරජාණන් වහන්සේ සියැසින් ම දැක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියට පත් ව අසූහාරදහසක් වෙහෙර විහාර ඉදි කොට රටවල් නවයකට පස් නම බැගින් ධර්ම දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට සැලැස්වීය.

යුවරජ තනතුරට පත් වීමට සිටි ධර්මාශෝක රජතුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයාත් , සංඝමිත්තා දියණියත් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයට එවා දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදර අරිට්ඨ කුමාරයා ඇතුළු රාජකීයයන් පනස්හය දෙනකු පැවිදි උපසම්පදා කොට භික්‍ෂුණී ශාසනයත් සමාජගත චාරිත්‍රාදි විශිෂ්ට සංස්කෘතියත් ශ්‍රී ලංකාවේ පිහිටු වීමට කටයුතු කරමින් අනුරාධපුරය මහමෙව්නාව මුල්කොට තිස්සාරාමය ආදි වෙහෙර විහාර ඉදිකරමින් සම්බුද්ධ ශාසනය ස්ථිරව පැවැත්වීමට අදාළ වූ භික්‍ෂූන් වහන්සේගේ සිව්පසය සම්පාදනය කරමින් උන්වහන්සේලාට වැඩ සිටීමට ආරාම, කුටි (කාලප්‍රසාද පිරිවෙන) ලෝවාමහාප්‍රාසාදය, සුනහාත, දීඝ චංකමණ, පලග්ග, මරුගන, දික්සන සෙනවියා ආදි පිරිවෙන් සමඟ විහාර කරවීය.

සෑගිරියේ ලෙන් හැට අටක් හා සීමාබන්ධන තිස් තුනක් සෑදවීමත්, සැදැහවතුන් ද තමන්ගේ නමින් ම ලෙන් සාදා පූජා කළ බවත් මහාවංශාදි ග්‍රන්ථයන්හි මෙන් ම ශිලා ලේඛනවලින් මැනවින් පැහැදිලි වේ.

එමෙන් ම අකුධාතූන් වහන්සේ වැඩමවා ථූපාරාම දාගැබ හා විහාරයත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමත්, හත්තාල්හක විහාරය, ඉසුරුමුණිය, වෙස්සගිරිය, නාගදීපයේ දඹකොල වෙහෙර, තිස්සමහාවිහාරය, ප්‍රාචීනාරාමය ආදි විහාර සාදා සම්බුද්ධ ශාසනයත් චිරස්ථායී කිරීමේ පටන් දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, මහාදාඨික මහානාග, ගජබා, කණිට්ඨතිස්ස, මහසෙන්, කිත්සිරිමෙවන්, දෙවන උපතිස්ස, මහානාම, ධාතුසේන ආදි අග්‍රබෝධි රජු දක්වා ම (ක්‍රි.ව. 843 තෙක්) අනුරාධපුර යුගයේ වෙහෙර විහාර දාගැබ් ආදි ආගමික ගොඩනැඟිලි භික්‍ෂූන් වහන්සේගේ නඩත්තුව සඳහා ඉඩකඩම් වැව් අමුණු ඇළ දොළ ආදිය සාදා පූජාකොට සම්බුද්ධ ශාසනය සංරක්‍ෂණය, පෝෂණයකොට වැඩි දියුණු කළ ආකාරය මැනවින් පැහැදිලි වේ.

නොයෙක් යුද කෝලාහල මධ්‍යයේ වුව ද පොළොන්නරු යුගයේ දී පළමුවන සේන රජුගේ පටන් මහාවිජයබාහු, මහාපරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල, ලීලාවතී රැජින (ක්‍රි.ව. 1222 දක්වා) දක්වා ම උක්ත අයුරින් ම වෙහෙර විහාර දාගැබ් ආදිය ඉදිකරමින් සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කළ අතර 1225 දී පමණ කාලිංග මාඝ පැමිණීමෙන් ඇති වූ ශාසනික, ජාතික, සංස්කෘතික විලෝපනය නිසාම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් දහස් ගණන් භික්‍ෂූන් වහන්සේ ද විනාශයට පත් කරමින් වෙහෙර විහාර ආදි ආගමික සිද්ධස්ථාන, රජමාලිගා ආදිය විනාශ කරලීම නිසා සිංහල රජවරු දඹදෙණියට පැන ගියහ.

මහා මිනිස් සංහාරයක් හා වෙහෙර විහාර දේපළ විනාශ විය. භික්‍ෂූන් වහන්සේ ද සුවිශාල වශයෙන් ඝාතනය කිරීමත් රට හැරදමා යාමත් සිදු වූ අතර වාම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැගෙන කොත්මලේට පැන ගිය භික්‍ෂූන් වහන්සේ එම ධාතූන් වහන්සේලා හපුගහක බෙනයක සඟවා බුරුමයට පැන ගොස් ජීවිත බේරා ගත්හ.