Print this Article


ධනපාල ප්‍රේත වස්තුව: වැරැදි සිතිවිලි නිවැරැදි නොකිරීමේ විපාකය

ධනපාල ප්‍රේත වස්තුව:

වැරැදි සිතිවිලි නිවැරැදි නොකිරීමේ විපාකය

දන් දීමෙන් කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති වැඩේ මොකක් ද? කියලයි මම කිව්වේ. පැන් හල් වගේම පොදු යහපතට කළ උයන් වතු තිබුණා. පාපී සිතින් යුතුව ම ඒවා වනසලා දැම්මා. ඒදඬුත් වැනසුවා. මම පින්දහම් නො කර පව් ම රැස්කරගෙන මනුස්ස ලෝකයෙන් චුත වුණා. ඉතින් මම ප්‍රේත ලෝකයේ ඉපදුණා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳීන්නේ.

තුන් ලොවට ම එකම ශාස්තෘන් වහන්සේ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි ධනපාල නම් ප්‍රේතයා අරභයා මේ දේශනාව වදාළ සේක.

උන්වහන්සේ ලොව පහළ වීමට පෙර දසන්න නම් රටෙහි ඒරකච්ඡ නම් නුවර ධනපාල නම් සිටුවරයෙක් ජිවත් වුණා. ඔහු සැදැහැයෙන් තොර යි. තෙරුන් වහන්සේ කෙරෙහි පින් සිතක් ඇතිකර ගත්තේ නැහැ. ඉතා මසුරු යි. නැවත ඉපදීම හෝ කර්ම විපාක ඇතැයි විශ්වාසයක් ඔහුට තිබුණේ නැහැ. කුහක සිතින් වාසය කළ ඔහු කාලයා‍ගේ ඇවෑමෙන් මරණයට පත්වුණා.

ඔහු මියගොස් වැලිකතරේ ප්‍රේතයකු ව උපන්නා. ඔහුට තල් කඳක් පමණ වූ සිරුරක් තිබුණේ. ඉපිල්ලී ගිය සම රළු යි. කෙස් විරූපි යි. බියකරු යි. දුර්වර්ණ යි. බෙහෙවින් විරූපි යි. බියකරු පෙනුමක් තිබුණේ. මේ ‍ප්‍රේතයා සා පිපාසයෙන් දිය බිඳක් නො මැතිව කුසට අහරක් නැතිව බඩගින්නේ එහේ මෙහේ ඇවිදිමින් සිටියා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී මහා කරුණාවෙන් තුන් ලොවට දහම් දෙසමින් සැවැත්නුවර වැඩ වාසය කරන කල්හී සැවැත් නුවරවාසී වෙළෙන්දෝ ගැල් සියයක් බඩු පටවාගෙන උත්තර ප්‍ර‍දේශයේ වෙළෙඳාමේ යන අතරේ එක්තරා වියළීගිය ගඟක් අසලදී ගැල් මුදා හැර විවේක සුවයෙන් පසුවුණා. සා පිපාසයෙන් ඇවිදිමින් සිටි ඒ ප්‍රේතයා මෙතැනට පැමිණ මේ වෙළෙඳුන්ට පෙනෙන ලෙස ඔවුන් ඉදිරියේ සිටියා.

ඒ වෙළෙන්දෝ මේ ප්‍රේතයා දැක පුදුම වුණා. ඔවුන් අසනවා

“ඔබේ ශරීරයේ නූල් පොටක් නැහැ. හරිම විරූපි යි. කෙට්ටු යි. නහරවැල් පෑදිලා තිබෙන්නේ. ඉලඇට ඉලිප්පිලා තිබෙනවා. මෙතැන සිටින ඔබ කවුද?”

“අනේ පින්වත්නි, මම මේ දුකේ වැටිලා ඉන්නේ මම ප්‍රේතයෙක්. මගේ අතින් පව් කෙරිලා තමයි මනුස්ස ලෝකයෙන් ප්‍රේත ලෝකයට ආවේ.”

“දසන්න රට වැසියන්ගේ ඒරකච්ඡ කියලා ප්‍රසිද්ධ නගරයක් තිබෙනවා. මම කලින් ජීවිතයේ මනුස්ස ලෝකයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා සිටියා. මා කවුරුත් දැන ගත්තේ ධනපාල සිටුවරයා කියල යි. මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා. රන් , රිදී තව සෑහෙන තරම් තිබුණා. වෛරෝඩි, මුතු, මැණික් ආදියත් හරියට තිබුණා. ඉතින් ඒ වගේ මහ ධනස්කන්ධයක් තිබුණ මට දන් දෙන්ට කැමැත්තක් ඇතිවුණේ ම නැහැ.

මම ආහාර අනුභව කළේ දොරවල් වසාගෙන. අහළපහළ යාචකයන්ට මා දකින්න ලැබෙන්න එපා කියලා. මට ශ්‍රද්ධාවක් තිබුණේ ම නැහැ. මම මසුරු යි. කෑදර යි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන අයට බොරු කරුණු කියලා බො‍හෝ දෙනෙක් එයින් වළක්වලා තිබෙනවා.

දන් දීමෙන් කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති වැඩේ මොකක් ද? කියලයි මම කිව්වේ. පැන් හල් වගේම පොදු යහපතට කළ උයන් වතු තිබුණා. පාපී සිතින් යුතුව ම ඒවා වනසලා දැම්මා. ඒදඬුත් වැනසුවා. මම පින්දහම් නො කර පව් ම රැස්කරගෙන මනුස්ස ලෝකයෙන් චුත වුණා.

ඉතින් මම පේ‍්‍රත ලෝකයේ ඉපදුණා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳීන්නේ. දැනට මම මි‍යගොස් අවුරුදු පනස්පහක් වෙනවා මම මේ දක්වාම කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන දන්නෙවත් නැහැ. යමෙක් දන් නොදී වැළකී සිටීමෙන් වෙන්නේ විනාශය යි. යම් විනාශයක් ඇද්ද? ඒකයි දන් ‍නොදී වැළකී සිටීම.

යමෙක් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකයි විනාශය කියන ඔය කාරණය පෙරේතයන් දන්නවා. මම ඉස්සර හොඳට දේපළ වස්තුව තිබෙද්දී දීමෙන් වැළකිලා හිටියා. දන් දුන්නෙම නැහැ. දන් පැන් පූජාකර ගන්න ඕන කරන දේ මම ළඟ තිබෙද්දී මට පිහිටක් සලසා ගත්තේ නැහැ. දැන් මම පසුතැවි තැවී ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා.

තව මාස හතරයි මට තිබෙන්නේ. ඊට පස්සේ මම මේ ප්‍රේත ලෝකෙන් චුත වෙනවා. එවිට භයානක වූ කටුක වූ අවීචි මහා නිරයට තමයි මම වැටෙන්නේ.

ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක් තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදිලයි තිබෙන්නේ. වටේට ම තිබෙන්නේ යකඩ පවුරක්. වහලට තිබෙන්නේත් යකඩ පියනක්.

ඒ අවිචී මහා නරකයේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමි‍යේ හැම තිස්සෙම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තිබෙනවා. මට එහෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳීන්නට වෙනවා. කරපු ‍පවෙහි විපාක තමයි. ඒ නිසා මම බොහෝ ශෝකයෙන් ඉන්නේ.”

“පින්වත්ති, දැන් මෙතැන රැස් වූ ඔබ සියලු දෙනාට මම කියන්නේ ඔබට යහපතක් වේවා! හොර රහසේවත් එළිපිටවත් පව් කියන ජාතිය නම් කරන්න එපා. යම් හෙයකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්නට නම් ලැබෙන්නේ නැහැ. අහසට නැඟ පලා ගියත් විපාකවලින් ගැලවෙන්නට බැහැ.

අම්මාට හොඳට සලකන්න. පියාටත් හොඳට සලකන්න. කුල දෙටුවන්ට හොඳට සලක්නන. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටත් හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතියේ උපදින්න.”

ඒ වෙළෙන්දෝ ප්‍රේතයාගේ කතාව අසා බොහෝ සේ සංවේගයට පත්වුණා. ඔහුට අනුකම්පාවෙන් බඳුන්වලින් පැන් ගෙන ඔහුගේ මුවට වත්කළා. ඔවුන් මෙසේ බොහෝ වෙලාවක් පැන් වත් කළ ද ප්‍රේතයාගේ පාප කර්මය හේතුවෙන් පැන් යටි උගුරට බැස්‍සේ නැහැ. එවිට ප්‍රේතයා “ඔබලා මෙපමණ වේලාවක් වත්කරන ලද පැනින් එක් බිඳුවක්වත් ගිලුණේ නැහැ. මේ ප්‍රේත ලෝකයෙන් මිදීමක් නැහැ” යි කීවා.

ඒ වෙළෙන්දෝ තවත් සංවේගයට පත්ව “පිපාසය සංසිඳීමට කිසියම් මාර්ගයක් තිබේදැයි” අසා සිටියා.

මේ පාප කර්මය ගෙවීමට නම් තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හෝ දන් දී මට පින් අනුමෝදන් කරන්නැයි ඉල්ලා සිටියා.

වෙළෙන්දෝ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ඒ පුවත දන්වා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සත් දිනක් දන් දී ප්‍රේතයාට ඒ සියලු පින අනුමෝදන් කළා.

තථාගතයන් වහන්සේ මේ කතාව මුල්කරගෙන ධර්මය දේශනා කොට වදාළා.