Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 35: කාවන්තිස්ස රජතුමාට අසාධ්‍යයි

දුටුගැමුණු මහ රජතුමා - 35:

කාවන්තිස්ස රජතුමාට අසාධ්‍යයි

“අපගේ දේශ සීමා පුළුල් කරගන්නට අපට තිබුණු ලොකුම බාධාව දීඝාභය කුමාරයා. දැන් සටනක් නැතුවම උතුරු රාජධානියේ සීමාව පුළුල් කරගෙන තිබෙනවා. මේ නිසා ගැමුණු කුමාරයාට යුද්ධ කිරීමේ අදහස නවතා දමන්නට සිදුවේවි.

අපට තවත් ඇත්තේ එක් අභියෝගයක් පමණයි. ඒ තිස්ස කුමාරයා අපට නතුකර ගැනීමයි. එය කරගත හැකිනම් දිගාමඩුලු රාජධානිය අපේ ප්‍රධාන රාජ්‍යයක් කරගත හැකියි. “

“දීඝාභය කුමාරයා කියන ආකාරයට ගිරිනුවර රජකම් කරන්නේ ගැමුණු කුමාරයා නම් ඔහුට සෝමනුවර, කැලණිපුර සේරුනුවර, රජවරුන්ගේ සහය නොලැබෙන බව ස්ථිරයි. මේ තත්ත්වය අපට විශාල වාසියක්. ගිරිඅබා රජුගේත් එම ඥාතීන්ගේත් සහය ලබාගත හැකිද ?”

“සිරිනාග තොපගේ අදහස අද පැවැත්වෙන යුද්ධ සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කරන්න. ඒවා අපගේ ඉදිරි සැලසුම්වලට වැදගත් වේවි .” කියමින් නැඟී සිටි එළාර රජු තම රාජධානියට මහත් ශක්තියක් වූ දීඝාභය කුමාරයාටත් අලුත් රහස් තොරතුරු රැසක් ගෙන ආ සිරිනාග සෙනෙවිතුමාටත් ස්තුති කළේය.

මහාසිව මාහිමිපාණන් වහන්සේ උදැසන තමන්ගේ සිසුන්ට සුත්‍ර පිටකයේ කොටස් කිහිපයක් උගන්වා ඒවා කටපාඩම් කිරීමට ඉඩ හැර එළියට පැමිණියේ බෝ ගස් සෙවනේ සිසිල විඳගන්නට ය. එම පරිසරයේ ශාන්ත බව මහා ස්වාමින් වහන්සේට ආධ්‍යාත්මික සුවයක් ගෙනදෙයි.

විහාරමහා දේවිය ගිලන්පස ගෙන එන්නටත් උපාසක උපාසිකාවන් වන්දනාමාන කිරීම සඳහා එන්නටත් තවත් පැයකටත් වඩා වැඩි කාලයක් ඇති නිසා මාහිමිපාණන් වහන්සේගේ විවේකයට බාධාවක් නොවීය. උන්වහන්සේ බෝගස් සෙවණට පැමිණ ගතවුයේ ස්වල්ප වේලාවකි. පරෙවියකු පැමිණ උන්වහන්සේගේ උරහිසේ වසා සිටියේ ය. උගේ පාදයේ හසුන්පතක් බැඳ තිබෙනු මාහිමිපාණෝ දුටුහ. ඌ තම උකුලට ගත් මාහිමියෝ හසුන්පත ලිහාගෙන තටු පිරිමැද ආදරය දක්වා බෝගස් පාමුල තැබුහ. සේවකයකුට කතා කර විළඳ මීපැණි තලියක් ගෙන්වා ඌ ඉදිරියෙන් තබන්නට කටයුතු කළේ ය. අනතුරුව වටපිට බලා කිසිවකු ළඟපාතක නැතිබව දැන තල්පත කියවන්නට වුහ.

තල්පත සිරිනාගගෙනි. විශේෂ රහස් තොරතුරු ඇතුළත් තල්පතක් එහි විය. ඔහු මුලින්ම එළාර රජු, මිත්‍ර සෙනෙවි, දීඝජන්තු ඇතුළු පිරිස විසින් තමන් පිළිගත් ආකාරයත් තමා ගැන විශ්වාසය තබා සෙනෙවි තනතුරක් පිරිනැමූ ආකාරයත් කෙටියෙන් සඳහන් කර තිබිණි. අනතුරුව රජරට රහස් තොරතුරු කිහිපයක් ද සඳහන් කර තිබිණි.

“දිඝාභය කුමාරයා දැන් එළාර රජුගේ මහා සෙනෙවියෙක්. විජිතපුර බලකොටුව භාර මහා සෙනෙවි ඔහුයි. මහවැලි දකුණු තිරයේ සෑම බලකොටුවකම සෙබළු තුන්දහසක් බැගින් රඳවා ටිකෙන් ටික දකුණු බිම අල්ලා ගන්නටත් තීරණය කර තිබෙනවා.”

“දිඝාභය මහා සෙනෙවි මගින් තිස්ස කුමාරයා අවනත කර ගැනීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. තිස්ස කුමාරයා අවනත කරගෙන ඔහුගේ පාලන ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමටත් එහි පාලකයා ලෙස තිස්ස කුමාරයා පත් කරන්නටත් රහසිගත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ තුළින් යුද්ධය පවතින අවස්ථාවක දී කැලණි, සේරු රාජ්‍යයන්ගෙන් දුටුගැමුණු කුමාරයාට සහාය නොලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. කැලණි රාජ්‍ය අවනත කර ගැනීමට නොහැකි වුවහොත් හදිසි ආක්‍රමණයක් සිදුකර එම රාජ්‍යය යටත් කර ගැනීමට සැලසුම් කරනවා.”

“දුටුගැමුණු කුමාරයා සටන් ආරම්භ කිරීමට පෙර රුහුණ ආක්‍රමණය කිරීමට එළාර රජුගේ කැමැත්තක් නැහැ. නමුත් දීඝාභය කුමරු පරිත්‍යාග කළ කඳවුරුවල බලය තහවුරු කර රුහුණේ ගම්මාන අල්ලාගනිමින් ක්‍රම ක්‍රමයෙන් මාගම රාජධානියට ළංවීමට සැලසුම් කර තිබෙනවා.”

මාහිමියෝ දිගු තල්පත් තීරුව කියවා එය රෝල්කර සිය දබරැඟිල්ලෙහි රඳවා ගත්හ. පරෙවියාට මදක් රැඳෙන ලෙස සංඥා කරමින් සිරිනාගට පිළිතුරු තල්පතක් යවන අදහසින් කුටිය වෙතට ගියහ. සේවකයකු අමතා හැකි ඉක්මනින් වේළුසුමන, සුරනිමල සහ නන්දිමිත්‍ර මහා සෙනෙවිවරුන්ට තමා හමුවන ලෙසට දන්වන්නැයි පැවසුහ.

“තොප දන්වා එවූ කරුණු ඉතා වැදගත්. ඒ සෑම එකක් පිළිබඳවම මා සොයා බලනවා. කාවන්තිස්ස රජතුමාට ඉතා අසාද්‍යයි. තිස්ස කුමාරයා මෙහි පැමිණ සිටිනවා. ඉතා පරිස්සමින් කටයුතු කරන්න. මිත්‍ර සෙනෙවි සමග භේද ඇති කරගන්නට එපා. අවස්ථාවක් ලැබුණු විගස අපට තොරතුරු දන්වන්න.”

තල්පත පරෙවියාගේ පයෙහි බැඳ ඌ අහසට යැවූ මාහිමියෝ සක්මනෙහි යෙදෙන්නට වුහ. මද වේලාවකට පසු ඈතින් අසරුවන් දෙදෙනෙක් එන හඬ ඇසිණි. ඒ සුරනිමල හා නන්දිමිත්‍ර බව හඳුනා ගැනිණි. වේළුසුමන නොපැමිණියේ ඇයිදැයි මාහිමියෝ සිතුහ. විහාර මලුව අබියස අසුන් මුදාහළ සෙනෙවිවරු මාහිමිපාණන් වහන්සේ වෙත පැමිණ දෙපා වැඳ බලා සිටියහ.

“තොපට කැඳවීමක් යැවුයේ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනුම් දෙන්නටයි. මේ දැන් සිරිනාගගෙන් රහස් තල්පතක් ලැබුණා. වේළුසුමනත් පැමිණියා නම් හොඳයි. “

“වේළුසුමන හදිසියේම ගිරිනුවර ගිහින්. සමහරවිට ගැමුණු කුමාරයා හමුවන්නට ගිය ගමනක් වෙන්නට පුළුවන්. රජතුමාට අසාධ්‍යයි. “

“මමත් ත්‍රිපිටක තිස්ස මහා තෙරුන් වහන්සේත් අද පෙරවරුවේ රජ මාලිගයට ගියා. විහාරමහා දේවිය සමඟ කතා බස් කළා. ඇය මහත් වේදනාවකින් භයකින් පසුවන බව පෙනෙනවා. ඇයගේ මහා ප්‍රතාපවත් පෞරුෂය බිඳ වැටී ඇති බවක් පෙනෙනවා. සමහරවිට රජතුමා රෝගී වීමට තමාගේ ඇතැම් ක්‍රියාකලාපයන් මුල් වන්නට ඇතැයි පසුතැවෙනවා විය හැකියි.”

රජතුමාගේ රෝගය සුව වෙන බවක් පෙනෙන්නේ නැහැ. එන්න එන්නම අසාධ්‍යය වන බවයි වෛද්‍යවරු පවසන්නේ. රජතුමාට අප හඳුනා ගන්නට තරම්වත් පියවි සිහියක් තිබුණේ නැහැ. අපේ සිත්වලට මහත් දුකක් දැනුණා. තිස්ස කුමාරයා මාලිගයේ සිටියේ නැහැ.”

“ඊයේ හිමිදිරියේ ම තිස්ස කුමාරයා දිගාමඩුලු ගිහින්. අද එන බව දැන ගන්නට ලැබුණා. රජතුමා එතරම් අසාද්‍යය තත්වයක සිටියදී හදිසියේ ම ගියේ ඇයිද යන්න අපටත් ගැටලුවක්. “

“ඒ ගැටලුවට පිළිතුර සිරිනාගගේ රහස් පතේ තියෙනවා. තිස්ස කුමාරයා පැමිණි විගසම මටත් ත්‍රිපිටක තිස්ස මාහිමිපාණන් වහන්සේටත් හමුවීමට සලස්වන්න. ඔහු නොමඟට යන්නට පෙර නිසි මඟට ගැනීමට වැඩපිළිවෙලක් යොදන්නට අවශ්‍යයයි.”